බෞද්ධ ජනරජ ප්‍රවාදය – 20 වැනි කොටස – පිළිවෙළට පාලනය
Posted on May 31st, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

වර්තමානයේ දී අප රටෙහි පවතින බොහෝ වියවුල් සහ ගැටලුවලට හේතු වී ඇත්තේ පාලනයේ පවතින අපිළිවෙළ ය. විද්‍යාත්මක ක්‍රමයට” අමාත්‍යංශ බෙදන බව ප්‍රකාශ කළ ද, යම් විෂයයක් අයත් අමාත්‍යංශය සොයාගැනීම පහසු නැත. පසුගිය කාලයේ දී උසස් අධ්‍යාපන සහ ජල සම්පාදන” වැනි අමාත්‍යංශ ද ස්ථාපනය කෙරිණි!

පළාත් සභා ක්‍රමය විසින් ඇති කරන ලද වියවුල් ද වෙයි. එහෙයින් ඇතැම් විෂයය කරුණු සම්බන්ධයෙන් වගකියන්නේ කවුරුන් ද යන්න හඳුනාගැනීම ඉතා අපහසු ය. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා සපුරාගැනීම ද ඒ අනුව ගැටලුවක් බවට පත් වී තිබේ.

ප්‍රාදේශීය පාලනය තුළ පවතින්නේ ද මහා ව්‍යාකූල බවකි. බොහෝ ප්‍රාදේශීය පාලන ඒකකවල භූමිය එකිනෙක හා සමපාත නැත. යම් නිශ්චිත ප්‍රදේශයක් වෙනුවෙන් එකම භූමියක් ආවරණය වන පරිදි සීමා ලකුණු කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, ප්‍රාදේශීය සභා, අධ්‍යාපන කොට්ඨාශ, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කොට්ඨාස, පොලිස් බල ප්‍රදේශ නොමැත. ඒ ඒ විෂයය වෙනුවෙන් ආවරණය කරනු ලබන භූමි ප්‍රදේශ එකිනෙකින් වෙනස් ය.

ජනතාවට තම අවශ්‍යතා පහසුවෙන් සපුරාගත හැකි වනුයේ, ගැටලු පහසුවෙන් විසඳාගත හැකි වනුයේ පාලනය ඉතා නිරවුල් ලෙසින් ස්ථාපිත කර ඇත්තේ නම් පමණකි. කෙසේ වුව ද, මේ වන විට අප රටෙහි පවතින පාලනයේ අවුල ඉහත කරුණු කිහිපය සළකා බැලීමෙන් පමණක් වුව ද වටහාගත හැකි ය.

බෞද්ධ ජනරජ ප්‍රවාදය විසින් යෝජනා කරනු ලබන පාලන ව්‍යුහය තුළ මෙවැනි ව්‍යාකූල බවක් නොමැත. මෙම ක්‍රමය තුළින් රාජ්‍යයේ පාලනය ඉතා පැහැදිළිව බිම් මට්ටම, ප්‍රාදේශීය මට්ටම සහ ජාතික මට්ටම ලෙසින් නිරූපණය කෙරෙයි.

ඒ අනුව, බිම් මට්ටමේ ක්‍රියාත්මක වනුයේ ගම් සභා සහ නාගරික සභා ය. එකී පාලන ප්‍රදේශවල වාසය කරන ජනතාවට ස්ව-ශක්තියෙන් තමන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමේ සහ මූලික ගැටලු විසඳාගැනීමේ පාලන ක්‍රමයක් ඒ තුළින් නිර්මාණය වෙයි. මෙම ක්‍රමය නිසා, බිම් මට්ටමේ පිහිටුවනු ලබන ඒ ඒ පාලන ඒකක විසින් ආවරණය කෙරෙන භූමිය සහ අදාළ විෂයය කරුණු හඳුනාගැනීම ඉතා පහසු කාර්යයක් වනු නිසැක ය.

ප්‍රාදේශීය පාලනය පැවරෙනුයේ කෝරළ සභාවලට ය. දැනට ක්‍රියාත්මක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයක් කෝරළයක් ලෙසින් හැඳින්වෙන බැවින් එම භූමි ප්‍රදේශය පිළිබඳ පැහැදිළි අවබෝධයක් එහි වසන ජනතාවට ලැබෙයි. තව ද කෝරළ මට්ටමේ සියලු ආයතන එම නිශ්චිත භූමිය ආවරණය වන පරිදි ස්ථාපනය කෙරෙයි. ද්විතීයික මට්ටමේ පරිපාලනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, වාරිමාර්ග, වෙළෙඳාම, ආර්ථික සංවර්ධනය, ප්‍රවාහනය, ප්‍රාදේශීය මාර්ග, පරිසර සංරක්‍ෂණය, ආපදා කළමනාකරණය, නීතිය සහ සාමය සුරැකීම වැනි සියලු ප්‍රාදේශීය කාර්යයන් මෙම නිශ්චිත කුඩා භූමි සීමා තුළ ක්‍රියාත්මක වෙයි. මේ අනුව ඉතාමත් පැහැදිළි පාලන ක්‍රමයක් කෝරළ මට්ටමේ ද ස්ථාපනය වෙයි.

තව ද කෝරළ සභා තුන් සියයකට වැඩි ප්‍රමාණයක් පිහිටුවිය හැකි බැවින් මෙම ක්‍රමය තුළින් බිහිවන්නේ ජනතාවගෙන් ඈත් වූ ප්‍රාදේශීය බල කඳවුරු නොවේ. මෙම ආයතන එක් පසෙකින් ජනතාවට සෘජුව ම වගකියන අතර අනිත් පසින් ජාතික මට්ටමේ පාලනයට ද දායක වෙයි. එ මෙන් ම, මධ්‍යයේ පැනවෙන නීති සහ ව්‍යවස්ථාවලින් ඒවා පාලනය කෙරෙයි.

බිම් මට්ටමේ දී සහ කෝරළ මට්ටමේ දී සපුරාගත නොහැකි අවශ්‍යතා සහ විසඳාගත නොහැකි ගැටලු ඇති වූ විට පමණක් ජනතාව ජාතික මට්ටමේ සහය පතයි. මෙම ප්‍රවාදයෙන් ජාතික මට්ටම වෙනුවෙන් ද යෝජනා කර ඇත්තේ ඉතා පැහැදිළි පාලන ව්‍යුහයකි. ඒ තුළ ඉතාමත් පැහැදිළිව ව්‍යවස්ථාදායකය සහ විධායකය එකිනෙකින් වෙන් කෙරී තිබේ. විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලයකින් සහ දිස්ත්‍රික් නායක මණ්ඩලයකින් සමන්විත ජාතික විධායක සභාවක් පත්වෙන බැවින් විෂයය පිළිබඳ ප්‍රවීණයන්ට සහ භූමියේ නායකයන්ට ජනතාවගේ විධායක බලය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවෙයි.

එයට අමතරව, ජනතාවගේ උපදේශන බලය ක්‍රියාත්මක කිරීමට පත් කෙරෙන උත්තරීතර උපදේශක සභාව නිසා ජනරජයේ ප්‍රතිපත්තිමය නිරවුල් බව ද සහතික කෙරෙයි. මැතිවරණ මාර්ගයෙන් විධායකය වෙනස් වන විට ජාතික ප්‍රතිපත්ති වෙනස්කිරීමේ ඉඩ එයින් වළක්වයි. තව ද, ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික නියෝජන ක්‍රමයක් හඳුන්වාදීම ද මෙම ප්‍රවාදය විසින් යෝජනා කරනු ලබයි.

මෙයින් යෝජිත රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් පාලනයේ ප්‍රාදේශීය මට්ටම සහ ජාතික මට්ටම සම්බන්ධ කරන්නකි. එ මඟින් විධායකයේ නිවැරැදි චර්යාව තහවුරු වෙයි. රාජ්‍ය මන්ත්‍රණ සභාව කෝරළ සභා සභාපතිවරුන්ගේ නියෝජනත්වයෙන් සැකසෙන හෙයින් ද ගම් සභා සහ නාගරික සභාවල සෘජු විමර්ශනයට ඔවුන් ලක්වන හෙයින් ද ජනතාවගේ ඡන්ද බලයට නිසි වටිනාකමක් ද හිමිවෙයි.

ඒ අනුව, මෙම යෝජනාවලින් බිහි කෙරෙන්නේ නිරවුල් පාලනයක් බව පැහැදිළි ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress