ඕස්ට්‍රේලියානු රජය සෞඛ්‍ය ආධාර තොගයක් මත්තල දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට භාරදෙයි
Posted on June 4th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

ගෝලීය වසංගත අභියෝගය ජය ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙරටට පිරිනමන සෞඛ්‍ය ආධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා විසින් අද (04) දින මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට භාර දෙන ලදි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙම සද්කාර්යය ක්‍රියාත්මක කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයට සෘජුව පරිත්‍යාග කෙරෙන මෙම සෞඛ්‍ය ආධාර තොගය එම අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා විසින් භාර ගන්නා ලදි.

ඔස්ට්‍රේලියානු C-17 ගුවන් යානය මගින් මෙරටට ගෙන එනු ලැබූ ටොන් 2.3ක් වන මෙම සෞඛ්‍ය ආධාර තොගයට මුව ආවරණ සහ PPE Kit දහස් ගණනක් අන්තර්ගතය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ සෞඛ්‍ය ආධාර තොගය එම අවස්ථාවේ දීම සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට භාර කළේය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියානු රජය අතර පවතින දිගුකාලීන සබඳතාවල ශක්තිමත් බව මෙමගින් පෙන්නුම් කරන අතර පුරා දින තුනක් මත්තල නවතා තැබෙන මෙම ඕස්ට්‍රේලියානු යානය ඉන්දියාව සහ නේපාලයට අවශ්‍ය සෞඛ්‍ය ආධාර තොගයන් ද මෙහි සිට බෙදා හැරීමට නියමිතය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක්  සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress