ලෝක ළමා ශ්‍රම විරෝධී දින පණිවුඩය
Posted on June 11th, 2021

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ   අග්‍රාමාත්‍ය

ගෝලීය වශයෙන් ළමා ශ්‍රමය තුරන් කිරීමට අන්තර්ජාතික කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෝක ප්‍රජාව පෙළගසමින් සිටින කාලයක ළමා ශ්‍රමය තුරන් කිරීමට සාධනීය කාර්යය භාරයක් ඉටුකර තිබෙන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අදට යෙදී තිබෙන      ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.

ළමා ශ්‍රමය තුරන් කරන්න – දැන්ම ක්‍රියාත්මක වන්න” තේමාවෙන් ලෝකයම අද පෙළගැසෙන්නේ 2021 වසර ළමා ශ්‍රමය තුරන් කිරීමේ අන්තර්ජාතික වර්ෂය ලෙස ද නම් කරමින් බව මම ඔබට සිහිපත් කරමි.

අන්තර්ජාතික කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ගෝලීය තිරසර ඉලක්කයක් ලෙස 2025 වසරවනවිට ළමා ශ්‍රමය ලොවෙන් තුරන් කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළකට මුලපුරා තිබේ.

දරුවන්ගේ අනාගතය සුබවාදී මාවතකට ගෙනඒම වෙනුවෙන් අතීතයේ කැපවීම් කළ අප අදත් ඒ වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.

රජයක් ලෙස ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා මේ දක්වා ගෙන ඇති වැදගත් තීන්දු තීරණ හේතුවෙන් ඉතා නුදුරේදීම ගෝලීය තිරසර ඉලක්ක සපුරමින් ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය තුරන් කිරීමට හැකිවනු ඇති බව මාගේ විශ්වාසයයි.

අනර්ථකාරී රැකියා සඳහා ළමුන් යොදා ගැනීම ද ඇතුළුව සියලුම ආකාරයේ කටයුතු සඳහා ළමා ශ්‍රමය යොදා ගැනීම්  වැළැක්වීමට අනපනත් කිහිපයක්ම මේ වන විටත් රජයක් ලෙස අපි  සංශෝධනය කර තිබේ.

1956 අංක 47 දරණ වසර 65 ක් පැරණි  කාන්තාවන් තරුණ අය හා ළමුන් සේවයේ යෙදවීමේ පනත” සංශෝධනය කරමින් මෙතෙක් වයස අවුරුදු 14ක්ව පැවැති අවම සේවයේ යෙදවිය හැකි වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දැමීමට ද අපි පියවර ගත්තෙමු.

ඒ අනුව දැන් වයස අවුරුදු 16 ට අඩු ළමුන් ශ්‍රී ලංකාව තුළ සේවයේ යෙදවීම තහනම්ය. එය සැළකෙන්නේ ඳඩුවම් ලැබිය හැකි වරදක් ලෙසිනි.

කම්කරු දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කැපවීමකින් කටයුතු කරන අතර, ළමුන් සේවයට යෙදවීම් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවත්, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියත්, පරිවාස දෙපාර්තමේන්තුවත් , ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයත් ප්‍රසංශනීය සේවයක් ඉටුකරයි.

ළමයාගේ ළමා කාලය අපි ලබාදිය යුත්තේ ළමුන්ටමය. විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබීමේ අයිතියද ඔවුන්ට ලබාදිය යුතුය. නිසි ගෞරවයද හිමිවිය යුතුය. මෙම නව වෙනසින් ඒ සියල්ල ළමයාට හිමිව ඇත්තේ අවුරුදු 16 දක්වා  අනිවාර්ය විධිමත් පාසල්  අධ්‍යාපනයක් ලැබීමේ අයිතියද තහවුරුකරමිනි.

ඒ අනුව පාසල් නොයන වයස අවුරුදු 16 ට අඩු ළමුන්  හදුනාගනිමින්  පාසල් වෙත යොමුකිරීමේ විධිමත් වැඩපිළිවෙලක්ද කම්කරු දෙපාර්තමේන්තුව  ඇතුළුව ආයතන කිහිපයක් එක්ව ක්‍රියාවට නංවා තිබේ.

මෙරට යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ.ය සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා ළමුන් යොදාගැනීම් බහුලව සිදුවිය. ඒ හේතුවෙන්  ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පැවැතියේ ලොව නම් දැරූ රටක් ලෙසිනි. වසර 12 කට පෙර ඊටද අපි නැවතීමේ තිත තැබු නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල දරුවන්ට ද ළමයින්ට හිමි සියලුම අයිතීන් හිමිකර දීමට අපි කැපවී ඇත්තෙමු.

ඒ අනුව ළමා ශ්‍රමය පමණක් නොව, ළමයින්ට එරෙහිව සිදුවන සියලුම ආකාරයේ හිංසන වැළැක්වීම සඳහා අන්තර්ජාතික ප්‍රඥප්ති හා බැඳීම්වලට අනුගතව අපි රටක් ලෙස කටයුතු කරමින් සිටියි.

අද අප ළමුන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ වර්තමාන ළමා පරපුර පමණක් නොව අනාගත ළමා පරපුර ගැන ද කල්පනා කරමිනි.

එබැවින් ළමා ශ්‍රමයට පමණක් නොව, ළමයාට සිදුවන සියලුම හිංසන සහ අපරාධ පිටුදකිමින් ඊට එරෙහිව  නැගී සිටීමට කිසිවිටකත් පසුබට නොවන මෙන් ශ්‍රී ලංකාවේ ආදරණීය ජනතාවගෙන් මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  මහින්ද රාජපක්ෂ

  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

  අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress