බෞද්ධ ජනරජ ප්‍රවාදය – 22 වැනි කොටස – සාමුහිකත්වයේ ආර්ථිකය
Posted on June 14th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සෑම මිනිසකු ම සමාන ය” යන අදහස අර්ථවත් වනුයේ සාමාන්‍ය, පොදු ඇසකින් ලෝකය දෙස බැලීමේ දී විනා ප්‍රායෝගික භාවිත අර්ථයකින් නොවේ. ස්වභාවයෙන් ම මිනිසුන් අසමාන ය. විවිධ වූ නියාම ධර්ම කරණ කොට ගෙන මෙම අසමානතා ඇතිවෙයි. මේ සඳහා හේතුවන ධර්ම – කර්මාදී නියාම ධර්ම ගැන බෞද්ධ අපි හොඳින් ම දනිමු. ආර්ථික අරමුණු ජයගැනීමට නම් පළමුවෙන් ම මෙම ධර්මතාව (මිනිසුන්ගේ අසමාන බව) අප විසින් මැනැවින් වටහාගත යුතු වෙයි.

වැඩ කරන, වැඩ නො කරන, හැකියාව ඇති, හැකියාව නැති සෑම කෙනකුට ම එක හා සමානව ආර්ථිකයේ ඵල භුක්ති විඳිය නො හැකි ය. මෙම විසමතා නො සළකා සෑම කෙනකුට ම එක හා සමානව සැළැකීමෙන් සිදුවනුයේ අලසයා තව තවත් අලසවීම සහ වැඩ කරන්නා අධෛර්යමත්වීම ය.

මිනිසුන් දෙස මෙ ලෙසින් බැලීම බෞද්ධ දේශපාලනයට අදාළ සතර සංග්‍රහ වස්තු තුළින් දේශිත සමානාත්මතාව නො සළකා හැරීමක් ද? නැත. සතර සංග්‍රහ වස්තු මඟින් කියැවෙන්නේ පාලකයා විසින් පාලිතයා හට සංග්‍රහ කළ යුතු ආකාරය ය. ජාති – කුලමල, උස් – පහත් භේද නො සළකා සැමට සමානව සැළැකිය යුතු බව එයින් කියැවෙයි. මිනිසුන් විසින් කරනු ලබන නිෂ්පාදන කාර්යය සම්බන්ධයෙන් එය අදාළ කරගත නො හැකි ය.

ආර්ථික සාධනය සඳහා අවැසි අනුදැනුම සහ සහයෝගය ලබාදීම රාජ්‍ය පාලනයේ වගකීමකි. ආර්ථික සාධනයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, නීතිමය රැකවරණය, ආරක්‍ෂාව සැළැසීම ආදී වගකීම් විශාල ප්‍රමාණයක් රාජ්‍ය පාලනයට පැවරෙයි. මෙම ප්‍රවාදයෙන් කෙරෙනුයේ එකී කාර්යයන් සඳහා අවැසි මගපෙන්වීමක් සිදුකිරීම ය.

ශක්තිමත් සහ විධිමත් අයුරින් ආර්ථික අපේක්‍ෂා සාක්‍ෂාත් කරගැනීම උදෙසා මිනිසුන් සහ ඔවුනගේ ශක්තිය විවිධ වූ අයුරින් ඒකරාශී කිරීම සඳහා රාජ්‍ය පාලනයට මැදිහත් විය හැක්කේ ය. නිෂ්පාදනය සඳහා අවැසි සියලු සාධක (භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය) මෙ ලෙසින් ඒකරාශි කළ හැකි ය. ශක්තිය ඇත්තේ එකමුතු බව තුළ බැව් කුඩා දරුවෝ පවා දනිති. එහෙයින් පුළුල් ආර්ථික සාධනයක් වෙනුවෙන් ඒ සඳහා යොදාගත හැකි සියලු සාධක විධිමත් අයුරින් ඒකරාශී කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි.

ආර්ථික සාධනය සඳහා අවැසි නිෂ්පාදන සාධක ඒකරාශී කළ යුත්තේ ඒවා තුළ පවතින විවිධත්වය අවබෝධ කරගනිමිනි. යම් නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් භූමිය එකතු කරන්නේ නම් එය කළ යුත්තේ අදාළ දායකත්වයට හිමි ප්‍රතිලාභය ඒවායෙහි හිමිකරුවන්ට ලැබෙන අයුරිනි. එසේ ම, යම් නිෂ්පාදන කාර්යයක් උදෙසා ප්‍රාග්ධනය එක්රැස් කරන්නේ නම් ඒ සඳහා දායක වන අයට හිමිවිය යුතු නියමිත ප්‍රතිලාභය ලැබෙන අයුරින් එය කළ යුතු වෙයි. ශ්‍රමයට ද ව්‍යවසායකත්වයට ද මෙකී ඇගැයීම නිසි පරිදි ලබාදිය යුත්තේ ය.

මෙවැනි ඒකරාශී කිරීමක දී විශාල විසමතාවක් නිර්මාණය වීම වැළැක්වීම රාජ්‍ය පාලනයේ වගකීම වෙයි. විශාල පරිමාණයේ ආර්ථික කාර්යයක් සඳහා අවශ්‍ය ප්‍රාග්ධන දායකත්වය පුද්ගලික මට්ටමින් ලබාදීම දිළිඳු අයට කළ නො හැකි ය. එම දායකත්වය ගම් මට්ටමින් සාමූහිකව ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමෙන් මෙවැනි ගැටලු විසඳිය හැකි ය. මෙවැනි කාර්යයන් වෙනුවෙන් බිම් මට්ටමේ ආයෝජන අරමුදල් ඇති කිරීමේ ක්‍රමයක් මෙම ප්‍රවාදයෙන් හඳුන්වා දෙනු ලැබෙයි. (ග්‍රාමීය ආයෝජන අරමුදල්” සහ නාගරික ආයෝජන අරමුදල්” ලෙසින් හැඳින්වෙන එම ක්‍රමය ඉදිරි ලිපියකින් විස්තර කෙරෙයි).

දැනට ක්‍රියාත්මක ක්‍රමය තුළ භූමිය ඉකා කුඩා කොටස්වලට බෙදී ගොස් කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් අත්පත් කරගත නොහැකි වාතාවරණයක් නිර්මාණය වී තිබේ. ඒ ඒ බිම් කොටස්වල පුද්ගලික අයිතිය එ ලෙසින් ම පවතිද්දී ඒවා ඒකරාශී කිරීම අපහසු කාර්යයක් නොවේ. ඒ සඳහා කළ යුත්තේ නිවැරිදි ඇගැයීමක් ඔස්සේ ඒ ඒ බිම් කොටස සඳහා හිමි ප්‍රතිලාභය අදාළ හිමිකරුවන් වෙත බෙදී යන ක්‍රමයක් හඳුන්වා දීම පමණකි. (මෙයට අදාළ ක්‍රම කිහිපයක් ද මෙම ප්‍රවාදයෙහි ඉදිරි ලිපිවලින් විස්තර කෙරෙයි).

මෙහි දී අප විසින් සළකා බැලිය යුතු ඉතා වැදගත් මූලික කාරණයක් ද වෙයි. ආර්ථික සාධනය උදෙසා අවැසි නිෂ්පාදන සාධක ඒකරාශි කිරීමේ දී අප විසින් එය කළ යුත්තේ කුමක් පදනම් කරගෙන ද යන්න එම කාරණයයි. මේ උදෙසා අප විසින් අනිවාර්යයෙන් ම සැළකිය යුත්තේ මෙයට අදාළ සංස්කෘතික ඇගැයීම් ය. අදාළ සංස්කෘතික ඇගැයීම් නො සළකා මෙය කිරීමට උත්සාහ කළ හොත් ඒ සඳහා අවැසි සහයෝගය මිනිසුන් වෙතින් නො ලැබෙනු ඇත. යමක හරි වැරැද්ද, යෝග්‍ය – අයෝග්‍ය බව, හොඳ – නරක මිනිසුන් තීරණය කරන්නේ තමන් විසින් පිළිගන්නා පොදු සංස්කෘතික ඇගැයීම්වලිනි.

එහෙයින් සාමූහිකත්වයේ ශක්තිය ආර්ථික සාධනය සාක්‍ෂාත් කරගත හැක්කේ සංස්කෘතිය මත පදනම්වීමෙන් බව පැහැදිළි ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress