ජිම්නාස්ටික් උපකරණ මිලදී ගැනීම සම්බන්ධව පළවන සාවද්‍ය මත ප්‍රතික්ෂේප කිරීම.
Posted on June 24th, 2021

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම මේ වනතුරුත් සිදුකර නොමැති අතර, ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන අක්‍රමිකතා සිදුව ඇති බවට විවිධ වෙබ් අඩවි හරහා පළවන සාවද්‍ය පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඒ පිළිබඳව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මෙසේ  අදහස් දැක්වීය.

අපේ රටේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්  රට වෙනුවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ අපේක්ෂා කරන බැවින් ඊට අනුකූල වන පරිදි ජාත්‍යන්තර පහසුකම් හා අන්තර්ජාතික මට්ටමෙන් උසස් ගුණාත්මකභාවයෙන් යුතු ක්‍රීඩා උපකරණ හා ක්‍රීඩා පහසුකම් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය ලෙස  අප කටයුතු කරනවා.

ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ජාත්‍යන්තර තරග සඳහා සුදුසුකම් ලැබීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා තාක්ෂණික මාර්ගෝපදේශවලට අනුව තාක්ෂණයෙන් උසස් අන්තර්ජාතික මට්ටමේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ ලබාදීම අත්‍යාවශ්‍ය වෙනවා.

ඒ අනුව ජිම්නාස්ටික් ක්‍රීඩා පුහුණුව ලැබීම සඳහා දෙපාර්තමේන්තුවේ ජිම්නාස්ටික් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ජිම්නාස්ටික් උපකරණ මිලදීගැනීම සම්බන්ධව  මිළ ගණන් කැඳවීම සිදු කර තිබෙන අතර  මිලදී ගන්නා ක්‍රීඩා භාණ්ඩවල අන්තර්ජාතික ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය පිළිබඳව අප වඩාත් සැලකිලිමත් වෙනවා.

මේ සම්බන්ධව තාක්ෂණ ඇගයීම් කමිටුවක් මගින් ඇගයීමක් සිදුකර ඇති අතර තවදුරටත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ තාක්ෂණික කමිටු නිලධාරීන්ගේ විශේෂඥ මතය විමසා මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට අප අදහස් කර තිබෙනවා.

ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සම්බන්ධව අවසන් තීරණයක් මේ වනතුරුත් අරගෙන නැහැ.

මේ සම්බන්ධව පළවන පුවත් සාවද්‍ය වන බවත් ජාතික තලයේ ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය වන ජිම්නාස්ටික් උපකරණ මිලදී ගැනීම ඉතාමත් විනිවිදභායකින් යුතුව රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress