මෙවර පොසොන් පුන් පොහෝ දින යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන සිතුල්පව්ව රජ මහා විහාරස්ථානයේදී.
Posted on June 24th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උදාර සංකල්පයක් අනුව ක්‍රියාත්මක යොවුන් ශීල සමාධි වැඩසටහන් මාලාවේ හයවැනි වැඩසටහන මෙවර පොසොන් පුන් පොහොය යෙදුණු අද (24) දින සිතුල්පව්ව රජ මහා විහාරස්ථානයේදී පැවත්විණි.

තරුණ පරපුර සුගතිගාමී කරවීම පෙරදැරි කරගනිමින් රට පුරා සියලු විහාරස්ථානවල සෑම පසොලොස්වක පොහොය දිනයන්හීදීම තරුණ තරුණියන් ශීල සමාධියෙහි පිහිටුවීම හා දාන ශීල භාවනා වැඩසටහන්වලට යොමු කිරීමට යොවුන් ශීල සමාධි  ජාතික වැඩසටහනේ අභිමතාර්ථයයි.

ඒ අනුව තරුණ පිරිස ශීල සමාධියෙහි පිහිටුවීම අද පෙරවරු 06.00ට යටගල රජමහා විහාරය, සිතුල්පව්ව රජ මහා විහාරය, ප්‍රධාන අෂ්ඨ මහා විහාරාධිපති ගාල්ල හෙට්ඨාවල පරිවෙනාධ්‍යක්ෂ පණ්ඩිත ශාස්ත්‍රපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මැටරඹ හේමරතන නාහිමිගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

පෙ.ව.06.45 සිට පෙ.ව.07.30 දක්වා සිල් සමාදන් පිරිස සමග සිතුල්පව්ව විහාරවාසී පූජ්‍ය බෝපාගොඩ නාගිත හිමියන් විසින් බුද්ධ පූජාව තැබූහ.

අනතුරුව පෙ.ව.07.30සිට පෙ.ව. 08.00 දක්වා ‘අපේ විහාරය’ වාර්තාමය වැඩසටහනෙන් පසු සිල් සමාදන් වූ පිරිසට බොදු පුවත් සඳහා සවන්දීමේ අවස්ථාව ද හිමි වූහ.

ඉන් අනතුරුව ශාසනාලෝක වැඩසටහන හා ස්වදේශී අනුග්‍රහයෙන් පැලසිටුවීමේ වැඩසටහන ද පැවැත්විණි.

කොවිඩ් – 19 මාර්ගෝපදේශවලට සහ පවතින සංචරණ සීමාවලට යටත්ව පැවති යොවුන් ශීල සමාධි වැඩසටහන වෙනුවෙන් දැහැමි සමාජයකට මං පෙත් විවර කරමින් ධර්ම දේශනාමය, භාවනාමය දායකත්වය කොලොන්නාව පුරාණ විහාරවාසී, කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය, ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමි, හක්මන ගම්මැද්දපිටිය ශ්‍රී විජය බිම්බාරාම විහාරවාසී මහාචාර්ය පූජ්‍ය බෙලිගල්ලේ ධම්මජෝති හිමි, පිරිවෙන් අධ්‍යාපන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි, කැබිලියපොල පුරාණ මහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කළුපහන පියරතන  හිමි, කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ අධිපති අමරපුර සිරි සද්ධම්ම වංශ පාර්ශවයේ අනුනායක ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බොරැල්ලේ අතුල හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ලේල්වල සමිත හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඉද්දමල්ගොඩ වජිරඥාණ හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල සුමංගල යන හිමිවරුන් විසින් දරණු ලැබූහ.

මෙම යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහනේ ධර්ම සාකච්ඡාව සඳහා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති හා රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති එම්.කේ.බී.දිසානායක මහතා ද සහභාගි විය.

ප.ව.06.30ට පැවති ආලෝක පූජාවෙන් පසු ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල සුමංගල හිමියන් විසින් සිල් සමාදන් වූ පිරිස  සිල් පවාරණය කරවීමෙන් අනතුරුව මෙවර පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් පැවති යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන නිමාවට පත්විය.

මෙම වැඩසටහන සදහා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන් හා සංවි‍ධායකත්වයෙන්, රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණය, ජාතික වෙළඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ හා පහන්සිත් පදනමේ ක්‍රියාකාරී දායකත්වයයෙන් සිදු විය.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress