FAKE ජෝශප් ස්ටාලින්
Posted on July 16th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

වර්ෂ 1967-68 වසර අපට වැඩ අධිකම යුගයක් විය. අපි ඒ වනවිට අපොස උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුවන් වීමු..අපි ඒ දිනවලදී කල වැඩ කන්දරාව සම්බන්ධව සිහිකරන විට අප එතරම් විශාල වැඩ කොටසක් කලේ කොහොමදැයි යන්න අපටම සිතා ගත නොහැක.අපි

1.පාසල් ගොස් උසස් පෙළ හදාරුවෙමු.
2.හවසට මුදලක් සොයා ගැනීම සඳහා අපොස (සාමාන්‍ය පෙළ ) සිසුන්ට ටියුෂන් දුන්නෙමු.
3.කොමියුනිස්ට් පක්ෂයේ ජාතික ශිෂ්‍ය සංවිධානය හා බැදී කටයුතු කළෙමු.
4.මෙරට නව දේශපාලන පක්ෂයක් ගොඩනැංවීම සඳහා වූ කාර්යය වේගවත්ව කරමින් සිටියෙමු.
5.වාමාංශික තානාපති සේවාවන් සමග සම්බන්ධවී ඒ ඒ රටවල තත්වයන් අධ්‍යනය කරමින් හොඳ සම්බන්ධතාවයන් ඇතිව සිටියෙමු.
6.ලංකා ගුරු සංගමය ගොඩනගමින් සිටි ඒ ගුරු පියවරුන් සමග බද්ධවී ලංකා ගුරු සංගමයේ හැම කටයුත්තකටම අත ගැසූ ශිෂ්‍ය පිරිසක්ද වීමු.

අප දේශපාලනය ඉගෙනගත්  තවත් මධ්‍යස්ථානයක් වුයේ ලංකා ගුරු සංගමයයි. එවකට එහි සභාපතිත්වය ගරු ඒ.බී.සි. ද සිල්වා මහතා දරු අතර, ඔහු නිහතමානි නිහඬ චරිතයක් විය. ඔහු කතා කලාට වඩා කලේ නිහඬව සිතීමයි. ඔහු කතාකල වචන ස්වල්පය තුල ඉතා ගැඹුරු අර්ථ රාශියක් විය. එහි ප්‍රධාන ලේකම් වුයේ, අපගේ ගුරුවරයෙකු වූ එච්.එන්.ප්‍රනාන්දු මහතායි. ඔහු සිනාව පිරි මුහුණකින් යුතු නිතරම කතා කරන චරිතයක් විය. භාණ්ඩාගාරික පරාක්‍රම රණසිංහ මහතා දැරු අතර උප භාණ්ඩාගාරික චිත්‍රාල් ද සිල්වා මහතා දරණ ලදී. මේ ගුරුවරු නිතර රැස්වී, සාකච්චාකර තීරණ ගැනීමට පුරුදුව සිටියහ. අපි සිසුන් වශයෙන් ඔවුන්ගේ සංගමයේ පසුපෙළ සහයකයිසේ කටයුතු කළෙමු.

අපි මේ සංගමයේ කටයුතු වලට සහය දෙමින් එකවිට වැඩකටයුතු දෙකක් කළෙමු. එකක් වුයේ එදා ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය සම්බන්ධව අපට මුණගැසෙන ගුරුවරු සමග සාකච්චා කිරීමයි. දෙවැන්න වුයේ ලංකා ගුරු සංගමය මෙරට ප්‍රභල ගුරු සංගමයක් බවට  ඒ  සහය දීමයි.අපි මේ කරුණු දෙකම සාර්ථකව ඉටුකළ මිනිසුන් වීමු.ලංකා ගුරු සංගමය අපට අපේ දේශපාලනය මුවහත් කිරීමට උපකාර කල එක අධ්‍යාපන මධ්‍යස්ථානයක් යයි කීවද එහි කිසිදු වරදක් නැත.

මම මේ කතා කරන දිනවල මෙරට අධ්‍යාපන ඇමතිවරයා වුයේ,අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතාය. ඔහු හා මේ ගුරු සංගමය අතර දේශපාලන ගැටුමක් නිර්මාණයවී තිබුණි. රාජ්‍ය  මර්ධනයද මේ ගුරු සංගම් ප්‍රධානින්මත මුදා හැර තිබුණි. ප්‍රධාන ඉලක්කය වුයේ  ලංකා ගුරු සංගමයේ ලේකම් වූ එච්.එන්.ප්‍රනාන්දු මහතාය. ඒ දිනවල එක දඬුවම් දීමේ ක්‍රමයක් වුයේ,ඈත පළාතකට මාරු කිරීමය. එච්.එන්ට මේ මාරුවීම් නිසා ගුරු සංගමයේ වැඩකටයුතු වලට මහත් බාධා ඇති විය.

එදා අපි ගුරුවරු නොවුනද මේ සම්බන්ධව අපේ මතත් එච්.එන්. හා චිත්‍රාල් වැනි ගුරුවරුන් වෙත ඉදිරිපත් කළෙමු.

“ඇයි සර්ලට බැරි ස්ට්‍රයික් කරන්න?” දේශපාලනිකව නොමේරු අපි එසේ පැවසුවේ, ඉල්ලීම දිනා ගන්නට හැම තැනකදීම සිදුකරන වැඩ වර්ජන මෙතනද කල හැකි නේද යන විශ්වාසය ඇතිවය. එවිට එදා ගුරු සංගමයේ ලේකම්වූ එච්.එන්. ප්‍රනාන්දු මහතා පැවසුවේ,


“චන්ද්‍රේ ඔයා හිතන්නේ ගුරුවරුනුත් ෆැක්ටරියක වැඩ කරන කම්කරුවෝ වගේ කියලද?” යන ප්‍රශ්නයයි.
“ඕගොල්ලෝ අපි හැමෝම කතා කරන්නේ පන්ති සටන ගැන! අපි ගුරුවරු, අපි ලබාදෙන්නේ නිදහස් අධ්‍යාපනයයි. අපි කාටද මේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නේ? අපේම පන්තියේ අයටයි. අප අපේ ඉල්ලීම ඉල්ලලා ස්ට්‍රයික් කලොත් අපි පහර දෙන්නේ කාටද? අපේම පන්තියේ අපේම දරුවන්ටයි. යකෝ අපි ධනපති පන්ති විරෝධී අරගලය කරමින් අපේ පන්තියේ,දරුවන්ට පහර දෙනකොට ධනපති පන්තිය, දුක හිතිලා අපේ ඉල්ලීම් ලබා දේවිද? නැහැ උන් මුකුත් කරන්නේ නැහැ. හැබැයි දන්නවද මොකක්ද වෙන්නේ කියලා? අපිට පාසල දරුවොයි, ළමයින්ගේ අම්මලා, තාත්තලයි එකතුවෙලා බුලත්දිලා වදිනවා වෙනුවට පොල්පිති පහරදීලා අපිව ගුරු වෘත්තියෙන් එලියට ඇදලා දමයි. එක තමයි ඊරියගොල්ල උන්නැහැටත් දකින්න ඕනි.”

මේ කියමන එදාට මෙන්ම අදටත් වලංගුය.ඔවුන් කිසිදාක දරුවන් ඇපයට තබා වර්ජනය කලේ නැත. නමුත් අරගලයද අත්හළේ නැත. 1977 බලය ලබාගත් එක්සත් ජාතික පක්ෂය ඔහුව මරා දැමීම සඳහා ඉලක්ක ගත කලේ එම රජයේ ආරම්භයේදීම වන අතර,ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඔහුට යාපනයට පලාගොස් ද්‍රවිඩ ජනතාවගේ රැකවරණය යටතේ ජිවත්විමටද සිදුවිය. කෙසේ නමුත් පසුව යම් විෂක් ශ්රිරගත්විම හේතුවෙන් ඔහුට සිය දිවි නිම කිරීමට සිදුවිය.

එදා ලංකා ගුරු සංගමයේ,උදාර ලේකම්තුමා වර්තමාන ලංකා ගුරු සංගමයට ලබාදුන්නාවූ පණිවුඩය වන්නේ,

“අද ඔබ අධ්‍යාපන කටයුතුවලින් බැහැරවී මේ පහර ගසන්නේ නුඹලාගේ පන්තියෙමවූ ආදරණිය දෙමව්පියන්ගේ දු දරුවන්ටය. දරුවන් සංඛ්‍යාව ලක්ෂ 40ක් නම් පවුලක දරුවන් දෙදෙනෙක් ඉන්නවා යයි සලකා ගණනය කළහොත්,දෙමව්පියන්ද තව ලක්ෂ 40ක් මෙයට එකතුවේ. ඔවුන්ගේ අනිකුත් ඥාතින්ද ගෙන බලන විට නුඹලා මේ සටන් කරන්නේ,ආසන්න වශයෙන් කෝටියක් පමණවූ පිරිසකට එරෙහිවය. නුඹලාගේ මේ අරගලය පොහොට්ටුවටත්, එක්සත් ජාතික පක්ෂයටත්, සජබට අයත් පිරිසටත් ජවිපෙ යටත් එකසේ බලපායි. නුඹලා ඇත්ත වශයෙන්ම මේ සිදුකරන්නේ, “මට ඌ ගැහුවා: ඌ මට ගැහුවා” සෙල්ලමයි. අවසානයේදී ගුටි කා ඇත්තේ ඔබත් ඔබේ පන්තියේ උනුත් පමණි.”

One Response to “FAKE ජෝශප් ස්ටාලින්”

  1. Priyan Wijeyeratne Says:

    How did Sri Lankan Josef Stalin get great Josef Stalin’s name? Can anyone please tell me?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress