බෞද්ධ ජනරජ ප්‍රවාදය – 27 වැනි කොටස – එකතුකිරීමේ කලාව
Posted on July 19th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

එකමුතුකම ශක්තිය වේ” යන අදහස අපි සැවොම පිළිගනිමු. තනි තනිව සිටින කල මහා ශක්තියක් නිර්මාණය කළ නො හැකි ය. ඉරටු මිටි වැනි දේ ආදර්ශයට ගෙන පවා මෙම අදහස පැහැදිළි කෙරෙයි. තනි ඉරටුවක් ඉතා පහසුවෙන් බිඳ දැමිය හැකි ය. එහෙත් ඉරටු විශාල ප්‍රමාණයක් එක්ව තබා මිටියක් බැඳි විට එය බිඳ දැමිය නො හැකි ය. සම්මෝදමාන ජාතකයෙන් කියැවෙන මස් වැද්දා සහ වටු කුරුල්ලන් පිළිබඳ කතාවෙන් ද කියැවෙනුයේ මෙම සත්‍යයයි. සම්මෝදමාන” යන වදනෙහි අර්ථය වන්නේ ද එකමුතුව සිටීම යන්න ය.

මෙය ආර්ථික කාර්යයට ද අදාළ සත්‍යයකි. සතයෙන් සතය වෙන වෙන ම එක්රැස් කර මහා ප්‍රාග්ධනයක් නිර්මාණය කළ නො හැකි ය. විශාල ප්‍රාග්ධනයක් ඇති කර ගැනීමට නම් තනි තනිව ඉතිරි කරන මුදල් ඒකරාශී කළ යුතු වේ. සැබැවින් ම, මෙය මූල්‍ය ප්‍රාග්ධනයට පමණක් නොව ඉඩම්, යන්ත්‍ර සූත්‍ර ආදිය සඳහා ද අදාළ වේ.

මේ වන විට අප රටෙහි කුඹුරු බිම් විශාල ප්‍රමාණයක් පරම්පරාවෙන් පරම්පරාවට බෙදෙමින් ඇවිත් ඉතා කුඩා ලියැදි මට්ටමේ පුද්ගලික අයිතියක් ඇති වී තිබේ. මෙම කුඩා කුඹුරුවලින් ආර්ථික ප්‍රතිලාභයක් නො ලැබෙයි. කුඹුරු යායක් වෙනුවෙන් හවුලේ ශ්‍රමය යෙදීමත් ඉතා කුඩා ලියැදි තුළ තනි තනිව වැඩකිරීමත් එකම අයුරින් මැන දැක්විය නො හැකි ය. ශ්‍රමය එක්රැස් වන විට එයින් විශාල කාර්යයක් කළ හැකි ය. තනි තනිව වැඩ කරන විට එම ප්‍රතිඵලය අත්පත් කරගත නො හැකි ය.

මුළු කුඹුරු යාය ම එක්ව වගා කරන විට එක කාලයක් තුළ සියලු කටයුතු සිදුවෙයි. එහෙයින් ශ්‍රමයට අමතරව ට්‍රැක්ටර් ආදී වෙනත් යන්ත්‍ර සූත්‍ර භාවිතය ද පහසු ය. එවැනි වාතාවරණයක් තුළ, සෑම ගොවියකු විසින් ම අදාළ යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම හෝ ඒවා කුලියට ගැනීම හෝ කළ යුතු නොවේ. එහෙයින් එම යන්ත්‍ර සූත්‍ර සඳහා වැය කරන මුදල් ද ඉතිරි වේ. බීජ, ජලය, පොහොර වැනි අනෙකුත් යෙදවුම් සඳහා ද මෙම කාරණය අදාළ ය. අවසානයේ දී අස්වනු නෙළීම ද එකට ම කළ හැකි ය. එබැවින් ඒ සඳහා යෙදවිය යුතු ශ්‍රමය සහ යන්ත්‍ර සූත්‍ර ද ඉතා කාර්යක්‍ෂම අයුරින් කළමනාකරණය කරගත හැකි වේ.

නෙලාගත් අස්වැන්න විකුණන්නේ නම් ඒ සඳහා ද මෙම එකමුතුකමේ ශක්තිය උපකාර කරගත හැකි ය. තනි තනිව කුඩා ප්‍රමාණයේ අස්වැන්නක් විකුණන විට ඒ සඳහා කේවල්කිරීමට අවස්ථාවක් හිමි නොවේ. එහෙත් එකමුතු වී තනි තොගයක් ලෙසින් අස්වැන්න වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා මිල නියම කිරීමේ වරම විකුණන්නා වෙතට ද හිමිවෙයි. තව ද ලබාගත් අස්වැන්න සඳහා අගය එකතුකර (ලබාගත් වී අස්වැන්න සහල් බවට පත්කර) තමන්ගේ ම සන්නාමයක් යටතේ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ද ගොවියන්ට හැකි ය.

එහෙයින් සාමූහික ක්‍රමය යනු පිරිවැය අඩු සහ ආදායම් වැඩි ආර්ථික කාර්යයක් බව පැහැදිළි ය. එහෙත් වගා බිම්වල පුද්ගලික අයිතිය තහවුරු වී පවතින වාතාවරණයක් තුළ සාමූහික ක්‍රමය භාවිතයට එක් කරගත හැක්කේ කෙ ලෙසින් ද? කිසි ලෙසකින් හෝ මේ සඳහා පැරැණි සමාජවාදී වට්ටෝරුව යොදාගත නො හැකි ය. එම ක්‍රමයෙහි අකාර්යක්‍ෂම බව ගැන අපි සැවොම දනිමු. අනෙක් අතින් තමන් සතු පුද්ගලික ඉඩම් එවැනි කාර්යයකට යෙදවීමට එකඟවන්නෝ ද නොමැත.

මෙවැනි වාතාවරණයක් තුළ සාමූහිකත්වය මත පදනම් වූ ආර්ථික ක්‍රමයකට පිවිසීම ඉතාමත් බැරෑරුම් අභියෝගයක් බවට පත්වෙයි. මෙම අභියෝගය ජයගත හැක්කේ පුද්ගලික අයිතිය තහවුරු කෙරෙන අතර ම ඒ තුළින් සාමූහිකත්වය උපදින ක්‍රමයක් හඳුන්වාදීමෙනි. මෙය කළ හැක්කේ සාමූහික සමාගම් ක්‍රමයක් හඳුන්වාදීමෙනි. ගමක හෝ ආශ්‍රිත ප්‍රදේශයක හෝ පවත්නා කුඹුරු යායක් වෙනුවෙන් තනි සාමූහික සමාගමක් පිහිටුවිය හැකි ය. තම පුද්ගලික අයිතිය රැකගන්නා අතර ම එම යාය තුළ වගාකරන කුඹුරු හිමියෝ මෙම සාමූහික සමාගමෙහි කොටස්හිමියන් බවට පත්වෙති. ඉඩමෙහි ප්‍රමාණය සහ අනෙකුත් සාධක සළකා ඒ ඒ ගොවියාට ලැබිය යුතු කොටස් හිමිකම තීරණය කළ හැකි ය. අස්වනු නෙලාගත් පසු ඒ ඒ ගොවියාගේ කොටස් හිමිකම අනුව ලාභාංශ බෙදාගත හැකි වේ.

මෙම ක්‍රමය අදාළ කරගත හැක්කේ කුඹුරු වගාව සඳහා පමණක් නොවේ. වෙනත් ඉඩම් වගාවට, සත්ත්ව පාලනයට සහ කර්මාන්ත සඳහා ද මෙම සාමූහික සමාගම් ක්‍රමය අනුගමනය කළ හැකි ය. මෙවැනි කාර්යයන් සඳහා අවශ්‍ය නීති සම්පාදනය රජය විසින් ද, ව්‍යාපාරික ආකෘති සහ කළමනාකරණ ක්‍රම හඳුන්වාදීම උත්තරීතර උපදේශක සභාව යටතේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල වැනි ආයතන විසින් ද සිදුකළ යුතු වෙයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress