අනුරාධපුර උතුර පානීය ජල ව්‍යාපෘතියට කිසිදු ගොවියකුගේ විරෝධයක් නැති බව මහ කනදරාව ඒ්කාබද්ධ ගොවි සංවිධානය පවසයි.
Posted on July 25th, 2021

තිසර සමල් – අනුරාධපුර

අනුරාධපුර උතුර පානීය ජල ව්‍යාපෘතියට අවශ්‍යය ජල ප්‍රමාණය ස්ථිර ඇළ මාර්ගයක් හරහා මහ කනදරාව ජලාශයට ලබා දී, පානීය ජල  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහකනදරාව ජලාශය යටතේ ගොවිතැන් කරන කිසිදු ගොවියකුගේ විරෝධයක් නැති බව මහ කනදරාව ඒ්කාබද්ධ ගොවි සංවිධානය පවසයි.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජල සම්පාදන හා වාරී මාර්ග දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ හා කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් රඹෑව විහාරස්ථානයේ පැවති රැස්වීමකදී ගොවි සංවිධාන නියෝජිතයින්  සමඟ පැවති සාකච්ජාවකදී මේ බව පැවසීය.

කනදරාව ජලාශයේ ජලය උපයෝගී කර ගෙන ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් කනදරාව ජලාශය යටතේ වගා කටයුතු කරන ගොවීන්ගේ ගොවිතැන් කටයුතු වලට ජල හිඟයක් ඇති වෙතැයි ගොවි ජනතාව තුළ සැකයක් මතු වීම හේතුවෙන් මෙම ජල ව්‍යෘපෘතියේ වැඩ නිම වූවත්, ජල ව්‍යෘපෘතියට ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් ගොවි ජනතාව තුළ විරෝධයක් මතුව ඇත.ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මෙම සාකච්ජාව පැවැත්විණි.

2024 වර්ෂය වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වත්මන් ආණ්ඩුවේ වැඩසටහන යටතේ  අනුරාධපුර මහකනදරාව ජලාශය කේන්ද්‍ර කර ගනිමින් නිදන්ගත වකුගඩු රෝගීන් බහුලව වෙසෙන මැදවච්චිය හා රඹෑව ප්‍රදේශයන් වෙත සුරක්ෂිත පානීය ජලය සැපයීම වෙනුවෙන්  අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියෙහි ජල පිරිපහදු සංකිරණය මිහින්තලය, කනදරාව වැව් බැම්ම පාමුල ඉදි  කර අවසන්ව ඇත, එහි ඉදි කිරීම් කටයුතු හා නල එලීම් කටයුතු හා යන්ත්‍ර සූත්‍ර සවි කිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

රුපියල් බිලියන 11.5 ක පමණ වියදමින්  මෙම ජල යෝජනාක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර, මෙහි විශේෂිත වු ජල පවිත්‍රාගාරය ඉදිකිරීම් කටයුතුද මේ වන විට අවසන් අදියරට පැමිණ  ඇතැයි ජල සම්පාදන නිළධාරීන් පවසයි.මේ ජල යෝජනා ක්‍රමය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය,රඹෑව,ඇතෑකඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් සෘජු ප්‍රතිලාභි පවුල් විසි පන්දහසකට(25000) පමණ සෙත සැලසේ.

මින්නේරි දෙවියන් ලෙසින් හඳුන්වනු ලබන මහසෙන් රජතුමා මහකනදරා ජලාශය නිර්මාණය කළේ මෙම ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළින්ම තබා ගැනීමේ පරම අදිටනින් යුතුව ය. මෙයින් වසර 1700කට පෙර භූගත ජල මට්ටම ඉහළ තබා ගනිමින් මහජනයාට අවශ්‍ය පානීය ජලය ලබා ගැනීමට කුඩා ළිං සදහා ජලය ලබාගැනීම ආධාරකයක් කරගැනීම උදෙසා ය. එකල රජ දවසේ කනදරාව හෙවත් මහකනදරාව ජලාශයේ ජලය, කෙත්බිම් සරු සාර කිරීමට අනතුරුව දියනෑම සදහා පමණක් භාවිතා කළ බවට පෙර අතීත තොරතුරු ගවේෂණයේ දී අනාවරණය වෙති.

විවිධ ‍පරසතුරු උපක්‍රම, කුමන්ත්‍රණවලට නිතර ග්‍රහණයට ලක් වුව ද නොනැසී පැවති මහකනදරාව ජලාශය 1959 දී ප්‍රති සංස්කරණයට ලක්වෙමින් මහා වාරිමාර්ග ජනපදයක් ලෙස අදියර දෙකකින් ගොවි පවුල් පදිංචි කර ඇති අතර ගොවි පවුල් 3100කින් ආරම්භ කළ මෙම මහා ව්‍යාපෘතිය වර්තමානයේ දී තුන්වෙනි පරම්පරාවේ පවුල් 15000කට ආසන්න පිරිසක් මේ මහකනදරාවේ මහ ජල කඳට පින්සිදු වන්නට බඩ වියත රැක ගනිමින් සිටිති. 1959 වර්ෂයේ දී කුඹුරු අක්කර 6100ක් වුව ද වර්තමානය වන විට කුඹුරු අක්කර 7500කට වඩා වැඩි ප්‍රමාණයකින් රටට පත සපයන්නට ඉදිරිපත්ව තිබේ.

අතීතයේ මේ ජලාශයට උපකාර පිණිස ඒරු වැවේ වාන් වතුර සීරාව ගලා එන්නට මගක්ද මහසෙන් රජ්ජුරුවන්ගෙ නුවණින් නිර්මාණය වී තිබුණි. ඒත් රණසිංහ ප්‍රේමදාස ජනපති යුගයේ ගම් උදා වැඩසටහනේ උදාගම්මානයක් එමග වසා ඉදිකිරීමෙන් මහකනදරාව හුදකලා ජලාශයක් බවට පත් වුණේය.එබැවින් මහකනදරාව ජලාශය පෝෂක වැවක් ඇළක් දිය සීරාවක් නැති අහස් වැස්සෙන්ම පමණක් පිරෙන හුදකලා මහා ජලාශයක් වී ඇත.

එබැවින් වසරකට කන්නයක් ගොවිතැන් කර ජීවිකාව සලසා ගන්නා ගොවීන්ට එම කන්නය සඳහාත් මදිවන මහකනදරා ජලය අනුරාධපුර උතුරු පානීය ජල ව්‍යාපෘතියට පවරා පාළු කෙත් බිම් දෙස කුස ගින්නේ බලා සිටින්නට වේදෝයි  කනදරාව යටතේ ගොවිතැන් කරන ගොවීන් බිය වී සිටිති.එබැවින් ගොවීන් තුළ මෙම ව්‍යාපෘතියට විරෝධයක් පැණ නැගී ඇත.

එබැවින්  ජල  ව්‍යාපෘතිය මඟින් කනදරාව ජලාශයට අහිමි වන ජලය මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය මඟින් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වූවද ඒ සඳහා 2024 වර්ෂය දක්වා කල් ගතවන්නේ උමං ඇළ මාර්ගයන් ඉදි කිරීම සඳහායි.නමුත් මේ වන විට ජල පවිත්‍රාගාරයේ ඉදි කිරීම්, යන්ත්‍ර සූත්‍ර සවි කිරීම් හා නළ එලීම් කටයුතු අවසන් කර ඇති බැවින් එය ක්‍රියාත්මක කළ යුතු බව ජල සම්පාදන නිළධාරීන් පවසයි.නමුත් පවතින ජල හිඟය හේතුවෙන් ගොවිතැනට ඇති ජලය පානීය ජල අවශ්‍යතාවන් වෙනුවෙන් සපයා ගත හොත් ජීවිත කාළය පුරා සිදු කළ තම ගොවිතැන් පාලු වී යන බව ගොවීන් පවසති.

මේ සම්බන්ධයෙන් ගොවි නායකයින් හා සාකච්ජා කිරීම සඳහා රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා හා නිළධාරීන් මෙලෙස සාකච්ජාවක නිරත වූහ.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන කොට ගොවි ජනතාව පැත්තෙන් යම් යම් ප්‍රශ්න කීපයක් තියෙනවා, රාජාංගනය වැවෙත් මේ වගේම ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙකම කළමණාකරණය කර ගත්තොත් තමයි විසදුමක් තියෙන්නේ.මේ වතුර දෙන්නෙත් අපිටමනේ,වෙන කාටවත් නෙමෙයිනේ, අපේ ගමට වෙන්න පුලුවන් අල්ලපු ගමට වෙන්න පුලුවන්, අනුරාධපුර හරි කොහේ හරි පිරිසිදු වතුර ටිකක් බොන්න නැති මිනිස්සුන්ට  තමයි  මේ වතුර ටික ආපහු යන්නේ.මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කොට දේශපාලඥයොයි, නිළධාරීනුයි, ගොවි මහත්වරුයි එක එක තැන් වල ඉඳලා තමයි කථා බහ කරලා තියෙන්නේ.

ඒ නිසා ජල සම්පාදන මණ්ඩලය සමඟ අපි සාකච්ජා කළාම ඒ අය එකඟ වුණා ගොවි ජනතාව කියන සාධාරණ ප්‍රශ්න වලට විසදුම් සොයන්න ඒ අයත් සහය දේනම් කියලා.ඒ අනුව තමයි මේ සාකච්ජාව පවත්වන්නේ යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ  අනුරාධපුර ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහකාර සමාන්‍යාධිකාරී සුදත් රත්නායක මහතා,

මේ ව්‍යාපෘතිය සඳහා මූලික වශයෙන්ම වතුර ගන්නවා නම්,ඒ මූලික වශයෙන් වතුර ගන්නා ප්‍රමාණය ඒරූවැව සංවර්ධනය කරලා ඒරූවැවෙන් මහකනදරාවට එන ඇළ කපලා,ඒ ඇලෙන් වතුර අරගෙන, ඊට අමතරව මහකනදරාව වැව සංවර්ධනය කරලා, ගබඩා කරලා ඒ ජලය ජල යෝජනා ක්‍රමයට ගන්න ඔ්න කියන එක තමයි ගොවි ජනතාව අපිට දුන්න මූලික කොන්දේසිය, ඒ සඳහා වාරී මාර්ග දෙපාර්තමේන්තුව මැනුම් කටයූතු කරනවා, ඉන් පසු අදියරෙන් අදියරට ඇළ ඉදි කිරීම් කටයුතු කරනවා.අපි දැනට වතුර ටැංකු හා ජල නල හා ජල පවිත්‍රාගාරය ඉදි කිරීම් අවසන් අදියරේ තියෙන්නේ.තවත් යන්ත්‍ර සූත්‍ර කීපයක් විදේශ රට වලින් ගෙන්වන්න තියෙනවා.තවම ස්ථිර දිනයක් කියන්න බෑ මේක ක්‍රියාත්මක කරන්න යැයි පැවසීය.

අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු එස්.ඩීමැදිවක මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

පසුගිය මාස් කන්නයෙත් වගා නොකරපු වැවකින් තවත් ජල ප්‍රමාණයක් ගන්නවා කිව්වාම මමත් තරමක බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ, අපි කොහොමද මේක කළමණාකරනය කරන්නේ කියන ප්‍රශ්නය තිබුණා.අපි මේකට උත්තර හොයන්න ඔ්න, ප්‍රධාන කාරණය තමයි, 1960 ගණන් වලදී ඒරූවැවේ සිට කනදරාවට ජලය ගේන්න ඇළක් කපලා තියෙනවා.ඒ ඔය ජලය හිඟ කම නිසා තමයි ඒ ඇළ කපලා තියෙන්නේ.කාලීනව ඒ ඇළ වැහිලා ගීහිිින් ඒක දැන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ, පළමු කොටම ඒ ඇළ විවෘත වෙන්න ඔ්න, කෙටි කාලීන විසදුමක් විදිහට අපි ඒකට මැණුම් කරලා ඇඇස්න්තුවක් හදලා තියෙනවා මිලියන 116.5 ක් වෙනවා ඒ ඇළ ප්‍රථිසංස්කරණය කරන්න.මුදල් ලැබුණු වහාම එය ප්‍රථිසංස්කරණය කරන්න අපිට හැකියාව තියෙනවා.

දීර්ඝ කාලීන විසදුමක් ලෙස මොරගහකන්ද ජලාශයේ සිට ජලය ලබා ගැනීමට උතුරු මැද පළාත් මහ ඇළ ඉදි කිරීම් ආරම්භ කරලා තියෙනවා. මේ වන විට යකල්ල දක්වා වැඩ භාර දීලා තියෙනවා, එය ඒරුවැව හරහා මහකනදරාවටත් ලැබෙනවා.2024 වර්ෂය වන විට තමයි එහි ඉදි කිරීම් අවසන් කරන්න සැලසුම් කරලා තියෙන්නේ.එතකොට ඒරූවැවට අමතර ජල ප්‍රවාහයක් ලැබෙනවා.එය මහකනදරාව දක්වා ගේන්න පුලුවන්.අපි තාවකාලිකව ඉදි කරන ඇළ, ඒ අය ස්ථිරවම නැවත ගොඩවෙන්නේ නැති වෙන්න , පොළව යටින බට එළලා හරි ආකාරව හදනවා.ඒත් එක්කම මහ කනදරාවේ ඇළ පද්ධතිය දියුණු කරලා දැනට භාවිතා කරන වාරී ජලය හැකි තරම් ඉතුරු කර ගෙන අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු වෙනවා.ඒ වගේම මහ කනදරාව වැව අඩියකින් උස්සන්න වෙනවා, ඒ වගේම ඒරූ වැවත් අපි යෝජනා කළා අඩි 1 1/2 කින් වාන උස්සලා වැව් දෙකේම ධාරිතාව වැඩි කරන්න යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, 

මේ සේරම ආණ්ඩුවේ මුදල් නේ, මේවා ණය මුදල්, මේවාට අවසානයේ ගෙවන්නෙත් ඔබතුමන්ලා-අපිමනේ,මේවා දානපතියෝ නිකං දීලා නෙමෙයි.මේවා හදලා නිකං තියන් හිටියොත් ඒ පාඩුව ගෙවන්න වෙන්නෙත් අපිටමනේ, හදලා පාවිච්චි කලොත් ඒකේ වාසිය ලබන්නේ අපිමයි. හැබැයි අපේ ගොවි ජනතාවට වගා කරගන්න වතුර ටික නැතිව බොන්න වතුර තිබිලා වැඩක් නෑනේ, සෞඛ්‍ය පැත්තෙන් පිරිසිදු වතුර බොන එක කොච්චර හොඳ වුණත්, ඔබතුමාලා කියනවා වගේ ‌බොන්න වතුර කොහෙන් හරි හොයාගෙන තියෙනවා, දැන් අපිට වගා කර ගත්තොත් අපේ පවුල නඩත්තු කර ගන්න ‌පුලුවන්.ඔ්ක තමයි ප්‍රායෝගික ඇත්ත.හැබැයි අපි ගොවිජනතාවටත් ඇහුම්කම් දීලා, නිළධාරී හා ආණ්ඩුව පැත්තෙන් කොහොමද මේක  කඩිනම් කර ගන්නේ කියන එකට විසදුම් සෙවිය යුතුයි.

මේක හදලා නිකං තිබ්බොත් පාඩුයි, හදලා බීමට වතුර අරන් වගාව පාලු වුණොත් ඒකත් පාඩුයි.ඒ නිසා මේ දෙකම අඩුම කාලයකින් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි නිළධාරී මට්ටමිින් සාකච්ජා කරන්නම්.අපි ගොවීන්ට කියන්නේ අපිට ඔබතුමන්ලාගේ අමාරුකම තේරෙන්නේ නැතිව නෙමෙයි.ඒ නිසා ඔබතුමන්ලා උද්ඝෝෂණ කරන්න යන්න දෙයක් නෑ, කෑකෝ ගහන්න දෙයක් නෑ,මේ රටේ ප්‍රශ්න විසඳන ක්‍රමය උද්ඝෝෂණ කරලා, කෑකෝ ගහලා නෙමෙයිනේ, ඒකත් මේ රැල්ලකට ගියපු දෙයක්.ඒ නිසයි මේ සියලු නිළධාරීන් එක්ක ඔබතුමන්ලා හමුවට ආවේ, අපිට අවංක චේතනාවක් තියෙනවා නම් රට හදන්න අපි කරන්න ඔ්න මේක.ඔබතුමන්ලා කරන්න ඔ්නත් මේක.එහෙම නැත්නම් ඔබතුමන්ලාටත් පුලුවන් විරුද්ධ වෙන්න.අපිටත් පුලුවන් නෑ අපි කරනවාමයි කියලා කියන්න.ඒකෙන් නෙමෙයි ප්‍රථිපල ලැබෙන්නේ.ප්‍රථිපල ලැබෙන්නේ මෙන්න මේ වගේ සියලු දෙනා එකතු වෙලා කරන සාකච්ජාවෙන්, අපි මේවා තේරුම් ගැනීම තුළින් හරි වැඩක් කරන්න තියෙනවා.ඒ නිසා ඔබතුමන්ලා කියන කාරණා පිළිඅරන් කොහොමද මේක වේගවත්ව  කරන්න ඔ්න.වගාවටත් ජලය මදි කොට පානීය ජලයට දෙන එකේ ගැටලුවක් තියෙනවානේ.ඒකට විසදුමක් සෙවීමයි කල යුත්තේ.

එහිදී අදහස් දැක්වූ ගොවි සංවිධාන නියෝජිතයින් කියා සිටියේ,

කනදරාවට ජලය ලබා දෙන්න ක්‍රමයක් හදන්න ඔ්න කිව්වාට ඒ සදහා කිසිම වැඩපිළිවෙලක් නෑනේ, මාර්තු මාසේ 23 වැනිදාත් සැලසුම් හදනවා කිව්වා.නමුත් කෙරුණ දෙයක් නෑ, ඒ නිසා පළමුව ගොවීන්ට විශ්වාසයක් ඇති කරන්න.අපිට විශ්වාසයක් නෑ, අපිව රවට්ටන්න එපා.අවුරුදු 70 ගණනක්ම අපිව රැවැට්ටුවානේ,තවත් රැවැට්ටුවානේ.ඔබතුමා එදත් ඇමතිනම්, අදත් ඇමති නම්, හෙටත් ඇමති නම් ගොවීන්ට විශ්වාසයක් දෙන්න.ඔබතුමන්ව පත් කරන්නේ අපිනේ,ඒ නිසා අපිට විශ්වාසයක් දෙන්න.අපි නිහඩව ඉන්නවා. 

ඔබතුමා වාරීමාර්ග හා කෘෂිකර්ම ඇමතිවරයා බවට පත් වෙන කොට අපිට විශාල ශක්තියක් වෙනවා,මේ අනුරාධපුර දිස්ත්‍රික්කය  බබලන්න පටන් ගන්නේ බර්ටි ප්‍රේමලාල් දිසානායක කියන පුද්ගලයත් එක්ක, ඔබතුමා එතුමාගෙන් පැවත එන නිසා, දුමින්ද දිසානායක කියන චරිතය මෙතන්ට එන කොට අපිට විශ්වාසයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ජා කරන්න ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා විෂ්‍ය භාර ඇමතිතුමන් එක්ක සාකච්ජාවක් ලබා ‌දෙන්න.මේකේ බරපතල ගැටලු තියෙනවා.මේකේ රක්ෂිත සීමාව තියෙනවා හෙක්ටයාර 565 ක් පමණ, මේ රක්ෂිත සීමා කවුරු හරි අල්ලාගෙන ඉන්නවා නම් ඒවා අත්පත් කරගෙන කනදරාව වැවේ අක්කර අඩි 125 යි, මිලියන 75 කින් ඉවත් කර ගන්න පුලුවන් අතිගරු අගමැතිතුමන් එදා ජනාධිපති ඉන්න කොට දුන්න වැඩසටහන එක්ක.

කනදරාව වැව හා අන්තර් වැව් 11 ක් තියෙනවා, බරපතල ලෙස මේ වැව් වල රොන් මඩ පිරිලා තියෙනවා.දැන් වැව් ටික ආප්පයක් වගේ තියෙන්නේ ගැඹුරු වතුර ඇල්ලීමක් නෑ,මේ වැව් වල රොන් මඩ ඉවත් කලොත් අපිට වතුර වැඩි ප්‍රමාණයක් ගබඩා කර ගන්න පුලුවන්.මාරාන්තික උපවාස කළා කියලා  අපිට මේක විසදුමක් නෙමෙයි, මිනිහෙක් දෙන්නෙක් මැරුණා කියලා මේකට විසදුමක් වෙන්නේ නෑ,ඒ නිසා මේක සාකච්ජා කරලා විසදා ගමු.මේකට මැදිහත් වෙන්න ඇමතිතුමා.මහකනදරාව කියන්නේ හද්ද දුගී දුප්පත් අසරණ මිනිස්සු ටිකක් ඉන්නේ,ඒ නිසා මේකට ඔබතුමා මැදිහත් වෙන්න.ඒ නිසා මොරගහකන්ද ජලය කනදරාවට එන ඒක කඩිනම් කරලා දෙන්න.

ඉස්සරලා ගොවියාගේ මනස හදලා, මේ ඇළවේලී හා අන්තර් වැව් ටික ප්‍රථිසංස්කරණය කර ගත්තොත් අපිට අක්කර අඩි 2000 ක් නෙමෙයි අක්කර අඩි 5000 ක් පමණ ඉතුරු කර ගන්න පුලුවන් යැයි ගොවි නියෝජිතයින් පැවසීය.

අනතුරුව අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, 

වාරී මාර්ග අමාත්‍යයතුමන් හා ජල සම්පාදන අමාත්‍යයතුමන් ඇතුළු අමාත්‍යවරුන් හා නිළධාරීන් එක්ක සාකච්ජා කරලා  මොරගහකන්ද ජලය ගේන 2024 එක තව කලින් කර ගන්න පුලුවන්ද බලමු.ඒ පුලුවන් නම් ඒකට උත්සහ කරමු.2024 කලින් මොරගහකන්දෙන් වතුර ගේන්න බැරි නම් අපි කියමු  ජල සම්පත් මණ්ඩලයට අපි වගා කරගෙන ඉන්නම් 2024 වතුර ගෙනාවම ජල ව්‍යාපෘතිය කර ගෙන යන්න කියමු.

ඉස්සරලාම ජල සම්පාදන සල්ලි වලින් ඇළ වේලී ප්‍රථිසංස්කරණය කරනවා වගේම, ඒරූවැවේ ඉඳන් එන ඇළ මාර්ගය ප්‍රථිසංස්කරණය කරගමු, ඊට පස්සේ 2024දී මොරගහකන්ද ජලාශයේ ජලය කනදරාවට එකතු කරන එක ඊට පෙර කරගන්න පුලුවන්ද බලමු.ඒරූවැවෙන් එන වතුර ප්‍රමාණය ජල ව්‍යාපෘතියට ඇති වුණොත් අපි ජල ව්‍යාපෘතිය ආරම්භ කරන්න දෙමු.එතකොට ජල ව්‍යාපෘතියත් ක්‍රියාත්මක වෙනවා , ගොවි තැනත් රැකෙනවා.එතකොට 2024 වෙනකල් බලන් ඉන්න දෙයක් නෑ.

ඒරූවැව හරහා කපන ඇළ මාර්ගයෙන් කනදරාව  වැවට ජලය මුදා හැරීමෙන් අනතුරුව එම ජලය ජල ව්‍යාපෘතියට හා ගොවිතැන් කටයුතු වලට ප්‍රමාණවත් නම්  මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්දයේ විරෝධයක් නොමැති බව එහිදී ගොවීන් පැවසීය.

මෙම අවස්ථාවට ජල සම්පාදන හා වාරී මාර්ග දෙපාර්තමේන්තු නිළධාරීන්, ගොවි නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress