‘‘ජාතික ක්‍රීඩා දිනය” ක්‍රීඩාශීලීව සැමරීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙරමුණ ගනියි.
Posted on July 31st, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.

නිරෝගිමත් පරපුරක් ඇති කරලමින් කාර්යක්ෂම හා ඵලදායි මානව සම්පතක් බිහි කිරීමේ අරමුණ ඇතිව ජූලි මස 31 වනදාට යෙදෙන ජාතික ක්‍රීඩා දිනය නිමිත්තෙන් සංවිධානය කළ සැමරුම් වැඩසටහන් මාලාව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දිනය පුරා පැවැත්විණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන එක්ව මෙම වැඩසටහන්  මාලාව දියත් කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට ඔලිම්පික් ජයග්‍රණයක් මව් රටට රැගෙන එමින්  1948 ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් උළෙලේ දී ඩන්කන් වයිට් මහතා  මීටර 400 කඩුලු මතින් දීවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ජූලි මස 31 වන දිනය මෙරට ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.

ක්‍රීඩකයන්ට මෙන්ම සමස්ත ජනතාවටම ක්‍රීඩා පිළිබඳ අවබෝධයක් ඇති කිරිම, ක්‍රීඩාව කෙරෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම හා උනන්දුව ඇති කිරීම මෙන්ම ක්‍රීඩාවන් නගා සිටුවීමේ අරමුණ ද ඇතිව 2021 වර්ෂයේ සිට සෑම වර්ෂයකම ජූලි මස 31 වනදා ජාතික ක්‍රීඩා දිනය” සමරනු ලැබේ.

ජාතික ක්‍රීඩා දින සැමරුම් උත්සවය අවසානයේදී පෙ.ව.8.30 සිට පෙ.ව 9.30 දක්වා ශරීර සුවතා වැඩසටහනක් ද තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැති අතර, මීට සමගාමීව වැඩසටහන් රැසක් කොළඹ 07 නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය, ටොරිංටන් ක්‍රීඩාංගණය හා ගම්පහ කිරිඳිවැල පිළිකුත්තුව රජමහා විහාරය කේන්ද්‍රකරගනිමින් සංවිධානය කර තිබුණේ කොවිඩ් 19 මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රීඩාශීලි ජනතාව අවදි කිරීම වෙනුවෙනි.

ඒ අනුව,

  • ජාතික ක්‍රීඩා දින සැමරුම් උත්සවයට සමගාමීව  ජාතික ක්‍රීඩා සභාව මගින් ගීතයක්  එළිදැක්වීම –  ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රය
  • පාපැදි තරගාවලිය  – කොළඹ 07 නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය (ජය සංකේත හා සහතිකපත් ප්‍රදානය)
  • ජාතික ක්‍රීඩා සංගම් 20ක් ඔවුන්ගේ ක්‍රීඩා සංගම්වලට අදාළ ක්‍රීඩාවන් හඳුන්වාදීම වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම  – නිදහස් චතුරශ්‍රය හා ටොරිංටන් ක්‍රීඩාංගණය
  • සාම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධනය කරමින් අංගම් සටන් සංදර්ශනයක් පැවැත්වීම –  ගම්පහ කිරිඳිවැල පිළිකුත්තුව රජමහා විහාරය.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය මගින් සාම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම උදෙසා අතීතයේ සිට පැවත එන අංගම් සටන් කලාව ක්‍රීඩාවක් වශයෙන් ප්‍රවර්ධනය කොට නැවත ජනගත කිරිමේ අරමුණින් මෙම අංගම් සටන් සංදර්ශනය සංවිධානය කර තිබිණි.

ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකොන්, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන්, ජාතික ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව  ක්‍රීඩාශීලි බොහෝ පිරිසක් මෙම අවස්ථාවන් සඳහා සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress