බෞද්ධ ජනරජ ප්‍රවාදය – 30 වැනි කොටස- ‍ආයෝජන සමානාත්මතාව
Posted on August 9th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

බෞද්ධ දේශපාලන න්‍යාය තුළ සමානාත්මතාවට ප්‍රමුඛ තැනක් ලබා දී තිබේ. සෑම කෙනකු ම සමාන ලෙසින් සැළකිය යුතු බවක් මෙයින් අදහස් නො කෙරෙයි. දක්‍ෂ, හැකියාවෙන් පිරුණු අය සහ අදක්‍ෂ, කම්මැලි අය එක හා සමානව සැළැකිය හැකි නොවේ. බුදුදහම තුළ උට්ඨාන සම්පදාව අගය කෙරී ඇත්තේ සසර කෙළවර කරගැනීම වෙනුවෙන් කළ යුතු දෑ සම්බන්ධයෙන් පමණක් නොවේ. ලෞකික කාර්යය සාධනය වෙනුවෙන් ද එහි අගය පෙන්වා දී තිබේ.

අංගුත්තර නිකායේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය තුළ එය විස්තර කෙරී ඇත්තේ මෙ ලෙසිනි. ව්‍යාඝ්‍ර‍පද්‍යය, උට්ඨාන සම්පත් යනු මෙයයි. ව්‍යාඝ්‍ර‍පද්‍යය, මෙම ලෝකයෙහි යම් කුල පුත්‍රයකු කෘෂිකර්මයෙන් වේවා, වානිජකර්මයෙන් වේවා, ගව පාලනයෙන් වේවා, දුනුවාකමින් වේවා, රාජපුරුෂභාවයෙන් වේවා, අන්‍යතර ශිල්පයෙකින් වේවා, එවන් කර්මාන්තයෙකින් ජීවිකාව කෙරෙයි නම්, හෙතෙම එහි දක්‍ෂවෙයි. අලස නොවෙයි. එහි උපාය විමසා කළමනාකරණය කරයි. අන්‍යයන්ගේ දායකත්වය ද ඒ සඳහා ලබාගනියි. ව්‍යාඝ්‍ර‍පද්‍යය, උට්ඨාන සම්පත යනු මෙයයි”.

එහෙයින්, හැකියාව සහ කැපැවීම ඇති අය හට සමාජයේ ඉහළට යෑමේ අවස්ථාව ලබාදීම බෞද්ධ ජනරජයේ යුතුකමක් වෙයි. මෙවැනි වාතාවරණයක් තුළ දිළිඳු අයට අත්වන ඉරණම කුමක් ද? එවැනි අය නො සළකා හැරෙන්නේ ද? නැත. ලෞකික කාර්යය සාධනය සඳහා ලබාදෙන සම අවස්ථා තුළින් එවැන්නන් හට සෙත සැළකිය හැකි ය. ඒ, සැම දෙනෙක් හට ම සම අවස්ථා සැළසීමෙනි.

බෞද්ධ ජනරජය තුළ සමානාත්මතාව ක්‍රියාත්මක කරනුයේ සෑම අයකු සඳහා ම සම අවස්ථා ලබාදීම තුළිනි. ලබාදෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සාර්ථකත්වය අත්පත් කරගැනීම අනලස් දක්‍ෂයාගේ කාර්යයකි. කෙසේ වුව ද, මෙම කාර්යය තුළ දී අනෙක් අයට හිමි අවස්ථා ද සම අයුරින් ආරක්‍ෂා විය යුතු ය. මෙය සිදුකරන ආකාරය ආයෝජන සමානාත්මතාව” පිළිබඳ මෙම අදහස ඔස්සේ පැහැදිළි කර දිය හැකි ය.

මෙම ප්‍රවාදයෙන් යෝජනා කෙරෙන පාලන ක්‍රමය තුළ ගම් සභාවට (සහ නාගරික සභාවට) මූලික තැනක් හිමිවෙයි. ඒ ඒ ගම් සභාව විසින් ග්‍රාමීය අරමුදලක් පවත්වා ගෙන යා යුතු බවක් ද මෙයින් යෝජනා කෙරිණි. මෙකී ග්‍රාමීය අරමුදල තුළින්  ආයෝජන සමානාත්මතාව ක්‍රියාත්මක කළ හැකි ය.

යම් ගම් සභා බල ප්‍රදේශයක වසන සියලු දෙනා වෙනුවෙන් ග්‍රාමීය අරමුදල තුළ ගිණුම් විවෘතව පැවැතිය යුතු වේ. ඒ අනුව, මෙම ගිණුම් හරහා විවිධ ආර්ථික කටයුතුවල මුදල් ආයෝජනය කිරීමේ සම අවස්ථාවක් සැම කෙනකුට ම හිමිවෙයි. කෙසේ වුව ද, මෙම සෑම ගිණුමක ම මුදල් පවතින බවක් මෙයින් අදහස් නො කෙරෙයි. ධනවත් අයගේ ගිණුම් තුළ මුදල් තිබුණ ද කිසිවකුත් නැති දුප්පතුන්ගේ ගිණුම් හිස්ව පැවැතිය හැකි ය. එසේ වුව ද, මෙම ගිණුම් ඔස්සේ එම දුප්පතුන්ට ද සම ආයෝජන අවස්ථාවක් හිමිවෙයි.

බෞද්ධ ජනරජයේ යම් පොදු ආයෝජන කාර්යයකට විශාල පිරිසක් දායක කරගත හැක්කේ ඒ වෙනුවෙන් එක් අයකුට තම ගිණුම ඔස්සේ ආයෝජනය කළ හැකි මුදල යම් උපරිමයකට යටත්කිරීමෙනි. තමන් හට ලබා දී ඇති අවස්ථාවේ උපරිමයට ළඟා වූ විට ධනවත් අයකුගේ ආයෝජන දායකත්වය එයින් සීමා කෙරෙයි. එහෙත් හැකියාව ඇති, ඒ ඔස්සේ මුදල් උපයාගත් අයකු එවන් සීමාවකට කොටු කළ යුතු නොවේ. එසේ නම් එවැන්නෙකුට වැඩි ආයෝජන අවස්ථාවක් සළසාදිය හැක්කේ කෙ ලෙසින් ද?

මුදල් නැති, එ මෙන් ම ඉතා සීමිත මුදලක් ඇති අයගේ ගිණුම් හරහා ආයෝජනය සඳහා අවස්ථාවක් ධනය ඇති, අනලස් අයට ලබාදීමෙන් මෙම කාර්යය සිදුකළ හැකි ය. මෙම අවස්ථාව වෙනුවෙන් අදාළ ධනවත් පුද්ගලයා විසින් ගිණුම හිමි දිළින්දාට ගෙවිය යුතු මිලක් වෙයි. දිළිඳු අයගේ ගිණුම භාවිතයට ගැනීම වෙනුවෙන් කරනු ලබන ගෙවීමක් ලෙසින් මෙය සිදුවෙයි. කිසියම් ගිවිසුම්ගත කාලයක් සඳහා එවැනි ගිණුම් භාවිතාකිරීම වෙනුවෙන් ධනවත් පාර්ශ්වය විසින් දිළිඳු පාර්ශ්වයට මෙම මුදල් ලබාදෙයි. ආයෝජන කාර්යයෙන් ලබන ලාභයෙන් කොටසක් (නිශ්චිත සියයට ගණනක්) ලබාදීමක ආකාරයෙන් මෙම ගෙවීම සිදු කළ හැකි ය.

මේ අනුව, ආයෝජන හැකියාව ඇති අය සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය වෙයි. එසේ වූ පමණින් දිළින්දන් නො සළකා හැරීමක් ද සිදු නොවෙයි. මෙම ක්‍රමය යටතේ ග්‍රාමීය අරමුදල තුළ තමන් සතු ගිණුම තුළින් මුදලක් උපයාගැනීමේ අවස්ථාව ද එය මනාව කළමනාකරණය කරගැනීමෙන් අනාගත ආයෝජකයකු බවට පත්වීමේ ඉඩ ද දිළින්දන් හට ද හිමිවෙයි.

ගම් සභා පාලනය යටතේ වගකීම් සහගත අයුරින් අදාළ ගිණුම් කටයුතු සිදු කරදීම තුළින් මෙම කාර්යය යථාර්ථයක් බවට පත් කළ හැකි වෙයි. පෙර ලිපියකින් කී පරිදි, සෑම ගම් සභාවක් වෙනුවෙන් ම පත්කරනු ලබන ගිණුම්කරුවන් හට මෙම වගකීම පැවැරෙයි.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress