පහළ මල්වතු ඔය ජලාශයේ ඉදි කිරීම් ඇමති දුමින්දගේ නිරීක්ෂණයට
Posted on August 13th, 2021

තිසර සමල්- අනුරාධපුර

මෙරට වී අස්වැන්න, බලශක්ති උත්පාදනය, පානීය ජල හා වාරි ජල සැපයුම වැඩි දියුණු  කරමින් දේශීය ඉංජිනේරු තාක්ෂණයෙන් ඉදිවන රජරට විශාලතම ජලාශය හා මෙරට හයවැනි විශාලම ජලාශය  වන පහළ මල්වතු ඔය ජලාශයේ  ඉදිකිරීම්  කටයුතු රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙරට වැඩිම වී අස්වැන්නක් ලබාගෙන මන්නාරම ‘සහල් නැළියේ’ අස්වැන්න තෙගුණ කිරීම හා අනුරාධපුරය, මන්නාරම හා  වවුනියාව ජනතාවගේ  පානීය ජල අවශ්‍යතාවන්  හා ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම වෙනුවෙන්ක්‍ රියාවට නංවන පහළ මල්වතු ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය වසර ගණනාවකින් ඉටු නොවූ ජනතා පැතුමක් ඉටු කරමින් පසුගිය මාර්තු 31 වැනි දින වාරී මාර්ග අමාත්‍යය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදි කිරීම් කටයුතු සමාරම්භ වූයේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම රට හදන වැඩපිළිවෙළ යටතේයි.

අනුරාධපුර උතුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ දීර්ඝකාලීනව බලපා තිබූ පිරිසිදු පානීය ජල හිගයෙන් මෙන්ම වාරි ජල හිගයෙන් දැඩි පීඩා විදි ජනතාවට සෘජුවම සිය ජල ගැටලු වලට විසඳුම් ලැබෙන, එකී ප්‍රදේශ වල සීඝ්‍රයෙන් පැතිරෙන මාරාන්තිකයක් වකුගඩු රෝග ව්‍යාප්තිය මුලුමනින්ම පාලනය වන පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය රුපියල් මිලියන 22900 ක දේශීය අරමුදල් ආයෝජනය කරමින් ඉදිවන්නකි.

මේ වන විට මල්වතු ඔය හරහා තන්තිරිමලේ බෝගොඩදී  පහළ මල්වතු ඔය ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා විසින් වේල්ලේ ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණය කරනු ලැබීය.උතුරුමැද උතුරු දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණන් හා පහළ මල්වතුඔය  ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු සනත් ගුණසේන මහතා ඇතුළු නිළධාරීන් පිරිසක්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වූහ.එහිදී ව්‍යාපෘති අධ්‍යක්ෂතුමන් එහි ඉදි කිරීම් කටයුතු හා ප්‍රගතිය මෙන්ම ඉදිරියේදී සිදු කරන කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යයතුමන් දැනුම්වත් කරනු ලැබීය.

 රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා වාරී මාර්ග අමාත්‍යවරයාව සිටියදී, වසර ගණනාවකින් ආරම්භ නොවුන පහළමල්වතු ඔය ජලාශය ඉදි කිරීම් කටයුතු සඳහා අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීමත් සමඟින් අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සිහිනය සැබෑවක් බවට මේ වන විට පත්ව ඇත. මෙම ජලාශය ඉදි කිරීම සඳහා උතුරුමැද උතුරු දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණෝද මහත් පරිශ්‍රමයක් යොදමින් දුමින්ද දිසානායක මහතා ඇතුළු අදාළ බළධාරීන්ගෙන් අවස්ථා ගනනාවකදීම ඉල්ලීම් කිරීමේ ප්‍රථිපලයක් ලෙස මෙම ජලාශය ඉදි කිරීම ආරම්භ කෙරිණි.

මෙරට දෙවන විශාලතම ගංගාව වන මල් වතු ඔය හරහා මුහුදට ගලා යන ජලය භාවිත කරමින් , වාරී මාර්ග දෙපාර්තමේන්තුව තුන් වැනි විශාලතම ජලාශය   අනුරාධපුර  තන්තිරිමලේ බෝගොඩදී මහ වේල්ලක් සාදා අක්කර 10 000 ක් පුරා  ඉදිකරන ජලාශයේ ධාරිතාව  අක්කර අඩි 170,000 ක් ගබඩා කර ගත හැකි පරිදී  තන්තිරිමලේ ජලාශය  මේ වන විට ඉදි වෙමින් පවතියි.

මේ ජලාශය අක්කර දස දහසක ප්‍රදේශයක පැතිර යන අතර එහි පරිදිය කිලෝමීටර් 91ක් දිගය. මැදවච්චිය මහවිලච්චිය හා මධ්‍යම නුවර ගම්පළාත හා සෙට්ටිකුලම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පැතිර යන මේ ජලාශය ඉදිකිරීම මඟින් ප්‍රදේශයේ පුද්ගලයන් 10,000කට පමණ නව රැකියා අවස්ථා උදා වේ.

පහළ මල්වතු ඔය ජලාශ වේල්ලේ උස මීටර් 23.5ක් වන අතර මුඳුනත පළල මීටර් 6කි. වේල්ල ඉදිකිරීමට පස් කියුබ් ලක්ෂ 20ක් අවශ්‍ය වන අතර එය තනිකරම පස් වේල්ලක් ලෙස ඉදිකෙරේ. නව තන්තිරිමලේ ජලාශයේ ප්‍රධාන පිටවානේ අරීය ගෙට්ටු 10කි. එක් ගේට්ටුවක උස අඩි 23කි. පළල අඩි 25කි. මෙහි වම් සොරොව්ව වැර ගැන්වූ කොන්ක්‍රීට්වලින් එක් සොරොව් මගක් සහිත එක් කුලුනක් සහිතව ඉදිකරන අතර දකුණු සොරොව්ව ද එලෙසම ඉටු කෙරේ. මෙම සොරොව් දෙකින්ම තත්ත්පරයට ඝන අඩි 35 බැගින් ජල ධාරිතාවක් නිකුත් කළ හැකිය. ජලාශයෙන් ගඟට ජලය නිකුත් කරන ගඟේ ප්‍රධාන වාන් සොරොව්ව මඟින් දින 365 පුරා තත්ත්පරයකට ඝන අඩි 630ක ජල ධාරිතාවක් මල්වතු ඔය පහළ ජලය පාවිච්චි කරන අයගේ හා සත්ව ශාක ප්‍රභේදවල ප්‍රයෝජනයට පහළට යැවීමට යෝජිතය.

මන්නාරම් දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 13 225 වගා ප්‍රදේශ වල වගා තීව්‍රතාවය 1.2 සිට 2 දක්වා ඉහළ නැංවීම, හෙක්ටයාර 1 053වගා ප්‍රදේශය සඳහා යල මහ දෙකන්නයටම වාරී පහසුකම් සැපයීම, පානීය ජල සම්පාදනය සඳහා පිරිසිදු ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, ධාරිතාව ගිගාවොට් පැය 468 ක විදුලි බලය නිපදවීම, ජලය මත පාවෙන සූර්ය බල ශක්ති ව්‍යාපෘති  හදුන්වාදීම, බලපෑමට ලක්වන්නන් සඳහා නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති හා අනෙකුත් ප්‍රතිලාභ , උස්සාන වාරී මාර්ග යටතේ වගා බිම් සංවර්ධනය, ජලාශයට පහළින් වව්නියා හා මන්නාරම් දිස්ත්‍රික්ක වල ගංවතුර පාලනය, ඉදි කිරීම් කාළය තුල රැකියා නිර්මාණය කිරීම, සංචාරක ක්ෂ්‍රේත්‍රය දියුණු කිරීම, මිරිදිය ධිවර කර්මාන්තය සංවර්ධනය කිරීම, වන වගා ඇති කිරීම ආදිය පහළ මල්වතු ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ ලෙස හිමිවේ.

 එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ උතුරුමැද උතුරු දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණෝ,

දුමින්ද දිසානායක  රාජ්‍යය අමාත්‍යයතුමා අද පහළ මල්වතු ඔය ජලාශයේ ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණය කරන්න පැමිණීම ඉතාම වටිනා කාර්යක් හැටියට මම සලකනවා, එතුමා වාරී මාර්ග අමාත්‍යයවරයාව සිටියදී,  දිවුරුම් දීලා ඉස්සරලාම විලච්චියට ඇවිත් මට අද වගේ මතකයි කිව්වා  මගේ ප්‍රධානම කාර්යක් හැටියට පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය කරනවා කියලා කිව්වා.එතුමා යට වෙලා තිබුණ මේ ව්‍යාපෘතිය අරගෙන ක්‍රියාත්මක කරන්න උනන්දු වුණා.මම හිතන්නේ 2015 වර්ෂයේ වගේ, නමුත් පැවති යම් යම් බාධක නිසා අපිට වැඩ පටන් ගන්න බැරි වුණා.නමුත් අතිගරු ජනාධිපතිතුමන්ගේ මෙහෙයවීමෙන් පසුගිය මාර්තු 31 වැනිදා මෙහි වැඩකටයුතු ආරම්භ කෙරුණා. විශේෂයෙන්ම රජරට වැසියෙක් හැටියට, මේ කාර්යයට මුල් වෙච්ච කෙනෙක් හැටියට යටපත් වෙලා තිබුණ මේ මල්වතු ඔය ව්‍යාපාරය ඉහළට අරගෙන මේ රජයේ අවධානයට යොමු කළ කෙනෙක් හැටියට, අමාත්‍යයතුමන්ගේ මේ නිරීක්ෂණය අපි ඉතාම අගයකොට සලකනවා.අමාත්‍යයතුමන් මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ව දැනුම්වත් කරලා මේ කටයුත්ත යෝජනා කරලා තියෙන ආකාරයටම නිම කරලා අපේ රටට දායාද කරන්න.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

මම ඉතාමත් සතුටු වෙනවා 2015/2016 වර්ෂ වල මම අමාත්‍යයවරයා ලෙස වැඩ භාර ගෙන දුන් පොරොන්දුව තමයි මේ පහළ මල්වතු ඔය ජලාශය ක්‍රියාත්මක කරනවා කියලා.මේ ජලාශය හැදුවාම එය උතුරු මැද පළාතේ තියෙන ලොකුම ජලාශය බවට පත් වෙනවා වගේම ලංකාවේ විශාලම ප්‍රධාන ජලාශ 10 න් එකක් බවට මෙය පත් වෙනවා. මෙහි විශේෂත්වය තමයි නිකරුනේ මුහුදට ගලාගෙන ගිය  ජලය තමයි අපි මේ ජලාශය හරහා එකතු කර ගන්නේ.ඒ අනුව අපට පුළුවන්කම තියෙනවා මේ ප්‍රදේශයේ ජනතාවට වගා කරන්නත්, ඒ වගේම අල්ලපු දිස්ත්‍රික්කයේ ජනතාවට වගා කරන්නත්. පහළ මල්වතු ඔය ජලාශය ගත්තාම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ටම මේ ජලාශයේ ප්‍රයෝජනය තියෙනවා.මේක යුද්ධය අවසන් වීමෙන් පසුව සාමයේ සංකේතයක් බවටත් පත් වෙනවා. අපේ ජලය වෙන කවුරු හරි පාවිච්චි කරන කොට ඉස්සර විරුද්ධ වුණා, හැබැයි අද අපි ආදර්ශයක් දෙනවා අනුරාධපුරයෙන් මේ නිකරුනේ මුහුදට ගලාගෙන යන ජලයෙන් අනුරාධපුරයේ ජලාශයක් කරලා අනුරාධපුර ගොවීන්ට පමණක් නෙමෙයි , අල්ලපු දිස්ත්‍රික්කයේ ඉන්න සිංහල, දෙමළ,මුස්ලිම් කියන මේ සියලු දෙනාටම පාවිච්චි කරන්න පුලුවන් ව්‍යාපෘතියක් බවට මේ ව්‍යාපෘතිය පත් වෙනවා. මේ හරහා තන්තිරිමලය ප්‍රදේශයට උස්සාන ජල යෝජනා ක්‍රමයක් යෝජනා කර තිබෙනවා, ඒ අනුව අපට විශාල ගැටලුවක්ව පැවති තන්තිරිමලයේ ජල ප්‍රශ්නයට විසදුමක් ලැබෙනවා. මුල් සැලැස්මේ තියෙනවා මේ සමඟ ජල විදුලි බලාගාරයක් ඉදි කරන්නත්,අපි බලාපොරොත්තු වෙනවා ඒ ජල විදුලිබලාගාරයත් අනාගතයේදී ක්‍රියාත්මක කරන්න.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පහළ මල්වතුඔය  ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු සනත් ගුණසේන මහතා,

පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි වෙන මෙම ජලාශය  මිලියන කියුබික් මීටර  209 ක ධාරිතාවයකින් යුක්තයි.ඒ වගේම මෙහි හැදෙන ප්‍රධාන බැම්ම කිලෝ මීටර 3.6 ක දිගින් යුක්තයි. ඒ වගේම පිට වානක් නිර්මාණය වෙනවා.මෙය ප්‍රදේශයේ තියෙන විශාලම ජලාශය බවට පත් වෙනවා. තන්තිරිමලය නගර නව නිර්මාණ සැලැස්මක්, සංචාරක සැලැස්මක්, වගා බිම් වලට ජලය ඇතුළු විශාල ව්‍යාපෘති  රාශ්‍රියක් මේ හරහා සිදු කෙරෙනවා.ඒ අනුව අපි දැනට බලපෑමට ලක්වන්නන් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍යය වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 22900 ක් පමණ, ව්‍යාපෘතිය නිම කිරීමට අපිට ලැබී ඇති කාළය අවුරුදු 03 ක්. ඒ කාළය තුළ නිම කිරීමේ හැකියාව අපට තියෙනවා. වාරීමර්ග අමාත්‍යය චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙහි වැඩකටයුතු ආරම්භ කලේ පසුගිය මාර්තු 31 වැනි දින.ඒ දින සිට අද දක්වා විශාල වැඩ කොටසක් අපිට සිදු කරන්න හැකියාව ලැබී තිබෙනවා.අවුරුදු 03 ක් තුළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙය දේශීය අරමුදල් වලින් නිම වන ව්‍යාපෘතියක්, මෙහි තාක්ෂණය සැලසුම් ආදී සියලුම දේ  වාරී මාර්ග දෙපාර්තමේන්තුව හා වාරී මාර්ග අමාත්‍යංශය යටතේ සිදු වෙනවා.සියලු ඉදි කිරීම් දේශීය ඉංජිනේරුවන් මගින් සිදු කරන්නේ. යැයි පැවසීය.‍

පහළ මල්වතුඔය  ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු සනත් ගුණසේන මහතා විසින් ජලාශයේ ඉදි කිරීම් අවසන් වූ පසු දැකිය හැකි ආකාරයද  වාරීමාර්ග දෙදෙර්තමේන්තුවේ නිළධාරියකු කළ සිතුවමක් අමාත්‍යයවරයාට පෙන්වමින් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරනු ලැබීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress