ඇමතිවරුන්ට කටඋත්තර නැති වෙන…ඇමතිවරුන්ට හිනා යන ජනතා ප්‍රශ්න…
Posted on October 1st, 2021

තිසර සමල් – අනුරාධපුර

රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශයට අනුව වාරී සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය වැව්/අමුණු සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර, මහඉලුප්පල්ලම මහවැලි කොට්ඨාශයට අයත් මරදන්කල්ල වැව ප්‍රථිසංස්කරණ කටයුතු සමාරම්භ කිරීම ඉඩම් අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන හා  මහවැලි කළාප ආශ්‍රීත ඇළවේලී හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය සිරිපාල ගම්ලත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (01) ආරම්භ විය.

සුභ මොහොතින් වැවෙහි ප්‍රථිසංස්කරණ කටයුතු සමාරම්භ කෙරුණු අතර, එය පවතින නිරෝධායන නීතීන්ට අනුව අවම ජන සහභාගීත්වයකින් පැවැත්විණි.

අනතුරුව අමාත්‍යයවරුන් දෙපළ වෙත මාධ්‍යවේදීන් ප්‍රශ්න කීපයක් යොමු කරනු ලැබීය.

සහල් මිල සම්බන්ධයෙන් තිබුණ ගැසට් නිවේදනය වෙනස් වුණා, ඒ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද යැයි රාජ්‍යය අමාත්‍යය සිරිපාල් ගම්ලත් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේය.

එවිට අමාත්‍යය සිරිපාල ගම්ලත් මහතා නිහඩව සිටි අතර,ඒ අසල සිටි ඉඩම් අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන මහතා එතුමාගෙන් ඒක අහන්න එපා යැයි මාධ්‍යයට පැවසීය.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51%ක්  ඉන්දියාවේ සමාගමකට විකුණු බවට ප්‍රකාශයක් තියෙනවා ඒ ගැන අදහස මොකක්ද ? යැයි නැවත සිරිපාල ගම්ලත් අමාත්‍යයතුමන්ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේය.

මං හිතන්නේ මට වඩා හොඳට අපේ කැබිනට් ඇමතිතුමා මේ ගැන මේ වෙලාවේ පැහැදිලි කරයි.මහවැලියේ මොනවා හරි තියෙනවා නම් මගෙන් අහන්න මම උත්තර දෙන්නම් යැයි පැවසීය.

අනතුරුව මාධ්‍යවේදීන් ඉඩම් අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන මහතාගෙන් විමසා සිටියේ,සහල් මිළ පාලනය සම්බන්ධයෙන් තිබුණ ගැසට්ටුව හදිස්සියේම වෙනස් වුණා, ඒ ගැන මොකක්ද ඔබතුමාගේ අදහස..?

කොක් හඩලා සිනා සුණු ඉඩම් අමාත්‍යයවරයා, වෙන එකක් අහන්නකෝ.. යනුවෙන් පවසා සිනාසුනී.

ඇමතිතුමා ඉන්දියාවේ අදානී සමාගමට කොළඹ වරායේ බටහිර පර්යන්තයේ කොටසක් විකුණුවා කියනවා,ඒක ගැන මොකක්ද ඔබතුමාගේ අදහස ? යැයි අනතුරුව මාධ්‍යවේදීන් විමසා සිටි අතර, ඊට පිළිතුරු ලෙස,

අපේ රටේ වරායවල් ටික හදාගන්න ඕන, ගුවන්තොටුපලවල් ටික හදාගන්න ඕන,රටට  විදුලිය අපි ලබා ගන්න ඕන, ඇත්තටම අපි පුංචි රටක් හැටියට, ඒ වගේම යහපාලන ආණ්ඩුවේ අවුරුදු 05 ක් විශාල වශයෙන් හානියක් කරපු රටක් ආර්ථික වශයෙන්, මහබැංකු මංකොල්ලය, ඒ වගේම සහරාන්ගේ බෝම්බ සිද්ධියත් එක්ක විනාශ වෙලා තිබුණ රටක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ රජය භාරගත්තේ,ඒ ගොල්ල ඒක නොදන්නවා වගේ එක එක විවේචන කරනවා.අපිට විදුලිය ගන්න විදුලි බලාගාර හදනකොට ඒකට විරුද්ධ වෙනවා.මේ පැත්තෙන් වරායවල් ටික ප්‍රථිසංස්කරණය කරන කොට ඒකට විරුද්ධ වෙනවා.ආර්ථිකය කඩා වැටිලා තියෙන රටක් සමාගම් වලින් හෝ රටකින් මූල්‍ය ආධාර අරන් අපි ඒවා කරන්න ඕන, එහෙම නැතිව අපි පැත්තකට වෙලා හිටියොත් රට නිකම්ම නිකං රටක් වෙයි, මිනිස්සු නිකම්ම නිකං මිනිස්සු වෙයි, ආණ්ඩුවත් නිකම්ම නිකං ආණ්ඩුවක් වෙයි.එහෙම වෙන්න බෑ, අපි වැව් 14 000 ක් මේ වෙන කොට ප්‍රථිසංස්කරණය කරන්න ලෑස්ති කරලා තියෙනවා.මොරගහකන්ද ජලාශය  රජරටට ලබා දෙනවා, ඒ වගේම වාරී මාර්ග අමාත්‍යංශයෙන් විශාල වැඩ කොටසක් කර ගෙන යනවා.ඒ වගේම ග්‍රාමීය පාරවල් ලක්ෂයක් කාපට් කරනවා.තවත් සංවර්ධන වැඩ විශාල වශයෙන් කරනවා.ඒ වගේම ගරු මුදල් ඇමතිතුමා ග්‍රාමසේවා වසමකට රුපියල් ලක්ෂ 30 ගානේ සංවර්ධන කටයුතු වලට ලබා දී තිබෙනවා.ඒ කොට්ඨාශයේ ඡන්දයෙන් පත් වෙච්ච මන්ත්‍රීවරයාට ලක්ෂ 40 ක් ලබා දෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 1000 ක් ලබා දෙනවා.හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200 ක් ලබා දෙනවා.මේවා මේ අමාත්‍යංශ වලින් සිදු කරන වැඩ වලට අමතරව.මහවැලි අමාත්‍යංශයෙන්, වාරී මාර්ග අමාත්‍යංශයෙන්, ඉඩම් අමාත්‍යංශයෙන් අනෙකුත් අමාත්‍යංශ වලින් කෙරෙන කටයුතු වලට අමතරව, මේ වගේ විශාල වැඩ කොටසක් කරාගෙන යනකොට මේවා හොඳයි කියන්නේ නෑ, කොහේ හරි කොනක් අල්ලාගෙන ආණ්ඩුවට බැනිල්ල තමයි කරන්නේ.ඒ පිළිබඳව අපි ඉතාම කණගාටු වෙනවා.කොරෝනා වසංගතය වෙලාවේදී එන්නත්කරණය වැඩියෙන්ම කරන රට බවට පත් වෙලා තියෙනවා අපේ රට.දැන් මේක අඩු වේගන යනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මග පෙන්වීම යටතේ ඉතාම ඉක්මනින්, මේ වසංගතයත් ඉක්මනින් අවසන් වුණාට පස්සේ, ඉස්සරහට තියෙන අවුරුදු 3 ½ අපි ජනතාවට පොරොන්දු වෙච්ච සියලුම පොරොන්දු, සෞභාගයේ ඉදිරි දැක්ම කියන වැඩපිළිවෙල අපි අවසන් කරනවා.එතකොට ඔය කට මැට දොඩවන අයට පැත්තකට වෙලා ඉන්න වෙයි යැයි  ඉඩම් අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress