අමාත්‍යාංශ ලේකම්ගේ ලයිසන් එක ඉල්ලුවාම රාළහාමිට මාරුවක්
Posted on October 3rd, 2021

ක්‍රිෂාන් ජීවක ජයරුක් උපුටාගැණීම ලංකාදීප

දක්ෂිණ අධිවේගී  අපරැක්ක පිවිසුමේදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු බව කියූ  අයකුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කළැයි උරණ වී පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කර වෙනත් ස්ථානයකට මාරු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

 එම  නිලධාරියා  ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත එම  මාරුව සිදු කර ඇතැයි වාර්තා වෙයි.

මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමග පසුගිය දිනෙක දන්දෙණියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි වාර්තා වෙයි

පොලිස් නිලධාරියා එම පුද්ගලයාගෙන් රියැදුරු බලපත්‍රය ඉල්ලූ අවස්ථාවේදී ඔහු පොලිස් ප්‍රධානීන්ගේ නම් ගම් කියමින් යම් අයකුට දුරකථන ඇමතුමක් ලබා දී ඔහුගේ බලය පෙන්වා ඇති අතර, මේ අවස්ථාවේදී අසල සිටි අයකු එම සිදුවීම ජංගම දුරකථනයකින් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අධ්‍යක්ෂවරයා තමන්ට උපදෙස් දී ඇති බවත් ඒ හේතුවෙන් තමන් රියැදුරු බලපත්‍රය පරීක්ෂා කර උපදෙස් දුන් බවත් එම නිලධාරියා සඳහන් කරන අයුරු එම වීඩියෝවේ දැක්වේ.

කෙසේ වෙතත්, රියැදුරු බලපත්‍රය නොදී දිගින් දිගටම දුරකථන ඇමතුමක රැඳී සිටිමින් ඉහළ නිලධාරීන් දැනුවත් කරමින් සිටි මෙම පුද්ගලයා පසුව රියැදුරු බලපත්‍රය දෙන අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ද පොලිස් නිලධාරියාට බැණ වදින ආකාරය එම වීඩියෝවේ දැක්වේ.

එම අවස්ථාවේදී සිදුවූ දෙබස මෙසේය.

පොලිස් නිලධාරියා:- සර්ව අපි අපහසුතාවයට පත් කරන්නේ නැහැ. මම ඩ්‍රයිවින් ලයිෂන් එක ඉල්ලුවේ විස්තර ටික ගන්න. ඒ කියන්නේ දැනුවත් කිරීම් කරන්න ඕන මහත්තයා. මොකද ඩිරෙක්ටර් මහත්තයා අපට කියලා තියෙනවා රියැදුරන් දැනුවත් කිරීම් කරන්න කියලා.

රියැදුරු:- (ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගනිමින්) ගන්නකෝ. රෝහණට. මේ කියන්නකෝ, මෙතන සිද්ධියක් වුණා කියලා. රෝහණට, එස්.පී.ට”

පොලිස් නිලධාරියා:- හරි ඔබතුමාගේ විස්තර ටික මම ගත්තා. ෂීට් බෙල්ට් එක දාගෙන මාස්ක් එක දාගෙන වේගෙන් යන්න එපා. සියයනේ.

රියැදුරා:- හැමදාම ඔහොම තමයි යන්නේ. නීතියක් කියන්න දෙයක් නෑ. අමාත්‍යාංශ ලේකම්වරයකු විදිහට.

පොලිස් නිලධාරියා:- ඩිරෙක්ටර් මහත්තයා කියලා තියෙන්නේ. ඔබතුමන්ලා දැනුවත් කරන්න කියලා.

රියැදුරු:- (ජංගම දුරකථනයේ පෙර ඇමතුමේම රැඳී සිටිමින්) ඔයා මේක දා ගන්නකෝ. 40938. ඒ.එස්.පී.ට කියන්න. රෝහණට. මෙතන අපහසුතාවයට පත් කලා කියලා. අයි.ඩී. එක අර ගන්නවා. අයි.ඩී. එක බලනවා. ලියා ගන්නවා.

පොලිස් නිලධාරියා:- අයිඩෙන්ටිය නොවෙයි. ඩ්‍රයිවින් ලයිෂන් එක. අයිඩෙන්ටිය ගන්නත් පොලිස් නිලධාරියට බලතල තියෙනවා.

රියැදුරු:- (පෙර දුරකතන ඇමතුමේම රැඳී සිටිමින්) ඔයා දැන් එස්.පී.ට කියන්නකෝ. මම දැන් වාහනය අයින් කර ගන්නකම්. අරන් කියන්නකෝ. මෙහෙම සිද්ධියක් වෙලා. රිපොට් කළා කියලා. දවුලගලට කියන්නකෝ.” ඔය ගොල්ලෝ පුරුදු වෙන්න ඉස්සෙල්ලා.

පොලිස් නිලධාරියා:- ඔබ තුමාගේ ඩ්‍රයිවින් ලයිෂන් එක මෙන්න. මගේ සර්විස් එක 16 ක්. මට පුරුදු වෙන්න දෙයක් නෑ සර්.

රියැදුරු:- මටත් පුරුදු වෙන්න දෙයක් නෑ. මමත් අවුරුදු 20 ක් විතර.

පොලිස් නිලධාරියා:- මම ඔබතුමාව නවත්තගත්තේ ඔබතුමාගේ විස්තර ටික ලියා ගන්න මහත්තයා.

රියැදුරු:- කවදාවත් අමාත්‍යාංශයේ වාහන මේ එන්ට්‍රන්ස් එකේ නවත්වලා නැහැ.

පොලිස් නිලධාරියා:- ඉතින් මහත්තයා මෙහෙමනේ. ඩොක්ටර් බෝඩ් එක ගහගෙන ඩොක්ටර් නෙමෙයි යන්නේ. අමාත්‍යාංශ ලේකම් බෝඩ් එක ගහගෙන අමාත්‍යාංශයේ ලේකම් නෙමෙයි යන්නේ.

රියැදුරු:- ඔයාට මේක විශ්වාස නැද්ද?

පොලිස් නිලධාරියා:- හරි ඕක විශ්වාසයි.

රියැදුරු:- කවුද දන්නවද? අමාත්‍යාංශයේ දෙවැනියා.

පොලිස් නිලධාරියා:- හරි හරි සර්. ඕක විශ්වාසයි. ඒක තමයි ඔබතුමාගේ විස්තර ටික අරගත්තේ ලියාගත්තේ.

රියැදුරු:- විශ්වාස නම් විස්තර ටික ගන්නේ මොකටද?

පොලිස් නිලධාරියා:- නැහැ. විස්තර ගන්නේ දැනුවත් කරන්න. අධිවේගී මාර්ගයේ යනකොට දැනුවත් කරන්න ඕන. හරි හරි දැන් පස්සෙන් වාහනයක් ඇවිත් තියෙනවා. මිස් යන්න.

යාබද අසුනේ සිටින බිරිඳ:- මේ වගේ ටියුටිකරන හින්දා.

පොලිස් නිලධාරියා:- අයිනට කර ගන්න. මේ සර් යන්න.

රියැදුරුගේ බිරිඳ:- නැහැ. නැහැ. අපි ඉන්නවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පොලිස් නිලධාරියාට ලබාදුන් ස්ථාන මාරුව වහාම අවලංගු කිරීමට කටයුතු කළ බවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress