ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය මාවත නිර්මාණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන සියල්ල නිරන්තර සූදානමින්.
Posted on October 6th, 2021

තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

පසුගියදා පැවති ලෝක ශූරතා රෝදපුටු ටෙනිස් තරගාවලියේ දී 06 ස්ථානයට පැමිණි ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් අගයමින් අද (06) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති උත්සවයේදී අමාත්‍යවරයා  මේ බව පැවසීය.

පසුගිය සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝම්බර් 03 දක්වා රටවල් 16ක සහභාගීත්වයෙන් ඉතාලියේ සාඩිනියා නගරයේ පැවති ලෝකශූරතා රෝදපුටු ටෙනිස් තරගාවලියේ  දී 06  වන ස්ථානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායම සමත් විය.

පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද ජගත් වැලිකල මහතාගේ පුහුණුකිරීම් හා මග පෙන්වීම යටතේ සුරේෂ් ධර්මසේන, ලසන්ත රත්නවීර, ඩී.එම්. ගාමිණි යන ක්‍රීඩකයන් තිදෙනා මෙම තරගාවලියදී ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා ඔසවා තැබීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘ඉතිහාසයේ පළමු වතාවට අපේ රෝදපුටු ටෙනිස් කණ්ඩායමට ලෝකයේ 06 වන ස්ථානය ලබාගත හැකි වී තිබෙනවා.

මෙතෙක් අපි බලාපොරොත්තු වූ ඉලක්කයන් සියල්ල අභිබවා යන්න මේ තරුණ ක්‍රීඩකයින්ට හැකියාව ලැබිලා තිබෙනවා.

අද ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී දිනයක්.

අනෙකුත් ක්‍රීඩාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් තම ක්‍රීඩා සැලැස්ම පිළිබදව හා තමන්ට මුහුණදෙන්න තිබෙන අභියෝග පිළිබදව ඉතාමත් අනාගතවාදීව සහ බලාපොරොත්තු සහගතව බලන්න පුලුවන් පිළිතුරක් මේ ක්‍රීඩකයින් ඔබට ලබා දී තිබෙනවා.

අමාත්‍යාංශයක් විදියට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නෙ ජාත්‍යන්තරය ජයගන්න පුලුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන්න.

ග්‍රාම නිළධාරී කොට්ඨාශ තරගාවලිය ජයග්‍රහණය කරන ඒක, පසු කාලීනව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තරගාවලි ජයග්‍රහණය කරන ඒක ලොකු ජයග්‍රහණයක් කියලා උනන්දු වුණ කාලයක් තිබුණා.

තවත් කාලෙක  දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමත්, පළාත් ජයග්‍රහණය කිරීම, ඒ් කියන්නේ ජාතික ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කිරීම තමයි ලබන ලොකුම ජයග්‍රහණය විදියට දැක්කේ. අද අපි එතනින් එහාට යා යුතුයි.

එයට හොදම උදාහරණය පැරාලිම්පික් රන් පදක්කමක් දිනාගත්තා, රෝදපුටු ටෙනිස් කණ්ඩායම ලෝකෙන්ම 06 වෙනි ස්ථානයට පත් වුණා.

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන් බිහිවුණා. උස පැනීමේන් දකුණු ආසියානු වාර්තාවක් තබන්න හැකිවෙලා තිබෙනවා. කාන්තා මේස පන්දු ක්‍රීඩිකාවන් 12 වෙනි ස්ථානය දිනාගෙන තිබෙනවා. වොලිබෝල් ක්‍රීඩාවෙන් ද ලෝකශ්‍රේණිගත කිරීම්වල 50 වෙනි තැන රැදෙන්න අපිට හැකියාව ලැබුණා.

ක්‍රීඩාවේ  ජාතික ජයග්‍රහණ තුළින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කරගන්න වගේම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන්නත් අපිට හැකියාව ලැබුණා.

ජාත්‍යන්තර ජයග්‍රහණ කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණය‍ පිළිබඳ අපි අමාත්‍යාංශයක් විදියට විශ්වාස කරනවා. එහි ප්‍රතිඵල අපිට දකින්න ලැබෙනවා.

විශේෂයෙන්ම අද මම රෝදපුටු ටෙනිස් කණ්ඩායමට සුබ පතනවා. ඔවුන් විශාල කැපකිරීමක් කළා පහුගිය කාලය පුරාවටම. අපි ඒක දැක්කා. ජාතික ක්‍රීඩා සභාව ඒ සඳහා සහයෝගය ලබා දුන්නා.

ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන්න ඔබ සැමට අවශ්‍ය මාවත නිර්මාණය කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන සියල්ල නිරන්තරයෙන් සූදානමින් සිටිනවා.

මේ ජයග්‍රහණය දැනගත් වහාම මම SLT මොබිටෙල් ආයතනයට කතා කළා.

අපි කාර්‍යසාධනය පාදක කරගත් දිරි දීමනා ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ. මේ සදහා අපි SLT මොබිටෙල් ආයතනයේ අනුග්‍රහය ඉල්ලුවා.

ඉතාම උද්යෝගයෙන් දින කිහිපයක් ඇතුළත අවශ්‍ය සියලුම වැඩ කටයුතු සිදු කර ක්‍රීඩකයන් සඳහා ඒ අදාළ දීමනා ලබා දෙන්න ඔවුන් කටයුතු කළා.

කොවිඩ් 19 වසංගතය සමග වෙනදා මෙන් ලොකු උත්සවයක් පවත්වන්න බැහැ. නමුත් මෙවැනි චාම් උත්සවයකින් හෝ ඔවුන්ව දිරි ගන්වන්න ලැබීම පිළිබදව සතුටු වෙනවා.

06 වන ස්ථානයේ නතර නොවී පළමු වන තැනට ඉතාමත් කෙටි කාලයකින් පැමිණීමට හැකියාව ලැබේවා‘යි ප්‍රාර්ථනා කරනවා.‘‘

SLT මොබිටෙල් ආයතනය විසින් ජයග්‍රාහී රෝදපුටු ටෙනිස් කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින් ක්‍රීඩකයන් තිදෙනාට රුපියල් මිලියනය (රු.1,000,000/-) බැගින් සහ පුහුණුකරු වෙත රුපියල් දෙලක්ෂ පනස් දහසක (රු. 250,000/-) මූල්‍යමය ප්‍රදානයක් ලබාදෙමින් ඔවුන්ට දිරිගැන්වීම් ලබාදුණි.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් බන්දුල බණ්ඩාර, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය,

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress