“නෝර්වේහි දී අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදුකරනවා”- ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා –
Posted on October 11th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය. සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය.ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආමාත්‍යාංශය.

2021 ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගීවීමට පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරග සංචාරය අතරතුර දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරින් අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය.

ඒ පිළිබඳ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ අදහස් දැක්වීය.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය” වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධව ජාත්‍යන්තර මල්ලවපොර සම්මේලනයටත්, නෝර්වේ මල්ලවපොර සම්මේලනයටත් දැනුම් දී තිබෙන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද  ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

තරගාවලියට සහභාගීවීම සඳහා ලබාදුන් මුදල් ද අදාළ කළමනාකරවරයා විසින් රැගෙන ගොස් ඇත්දැයි එහිදී විමර්ශනය කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

”ඔක්තෝබර් මස 02 සිට 10 වන දින දක්වා නෝර්වේ ඔස්ලෝ නුවර පැවැත්වුණු ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගීවීම සඳහා පමණක් අනුමැතිය ලබාදෙන ලෙස මල්ලවපොර සම්මේලනයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුණා.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී දක්ෂතා ඇගයීමේ නිසි ක්‍රමවේදයට අනුව ක්‍රීඩකයින් තෝරාගැනීමකින් තොරව 2019 වසරේ දක්ෂතා දැක්වූ කණ්ඩායම ම  මෙවර තරගාවලිය සඳහා ඔවුන් ඉදිරිපත් කර තිබුණා.

තරගාවලියක් සඳහා දක්ෂතම හා සුදුසුකම් සහිත පුහුණු කණ්ඩායම සඳහා නිර්දේශ ලබාදීම අදාළ සංගමය හෝ සම්මේලනය, ජාතික තේරීම් කමිටුව හා උසස් දක්ෂතා කමිටුව විසින් සිදුකරනු ලබනවා.

මේ වනවිට (2021) ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු වී ඇති බැව් සලකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමකින් තොරව 2019 වසරේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් ම මෙම තරගාවලිය සඳහා පිටත් කර යැවීම පිළිබඳව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා උසස් දක්ෂතා කමිටුව එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබානොදීමට තීරණය කළා.

පසුව මෙම තරගාවලියට සහභාගීවීමට පමණක් අවස්ථාව ලබාදෙන ලෙස ක්‍රීඩකයන් හා මල්ලවපොර  සම්මේලනය විසින් ලිඛිතව කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් තරගාවලියට ඉදිරිපත්වීම සඳහා ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් මෙම කණ්ඩායමට තරග සහභාගීත්වය සඳහා පමණක් අවසර ලබාදුන්නා.

තරගාවලියට ඉදිරිපත්වීමට පමණක් ක්‍රීඩකයන් වෙනුවෙන් ලබාදුන් මෙම අවස්ථාව අනිසි ලෙස භාවිත කර තම පෞද්ගලික අරමුණ ඉටු කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ රටේ හා ක්‍රීඩාවේ අභිමානය හෑල්ලුවට ලක්කර තරග සංචාරය අතරතුර දී මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා කණ්ඩායම එරටින් පිටත්වීමට පෙර දින එනම් 07 වනදා ඔස්ලෝ නුවරින් අතුරුදහන් වී තිබුණා.

ඔහු එසේ ඔස්ලෝ නුවරින් අතුරුදහන්ව ඇත්තේ සිය කණ්ඩායමට නැවත ලංකාවට පැමිණීමට හා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ඔවුන් සතුව තිබූ මුදල් ද රැගෙන බවට කරුණු වාර්තා වුණා.

විදේශගතවීමේදී අදාළ පුද්ගලයන් සමග රුපියල් ලක්ෂ 10ක ඇප බැඳුම්කරයක් වෙනුවෙන් ගිවිසුම්ගත වන බැවින් එම ඇප බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය සම්බන්ධයෙන් නඩු පැවරීම කෙරෙහි ද අප අවධානය යොමු කර තිබෙනවා.

මෙම තරග සංචාරය සම්බන්ධව මල්ලවපොර සම්මේලනයේ අදහස් පමණක් සැලකිල්ලට ගනිමින් මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු සමාජගතවීම පිළිබඳ කණගාටු වන අතර මල්ලවපොර සම්මේලනයෙන් ද ඒ පිළිබඳව කරුණු විමසීමක් සිදුකිරීමට නියමිතයි.

සෑම පුරවැසියකුම ජවසම්පන්න, සෞඛ්‍යසම්පන්න, විනයගරුක හා ගෞරවනීය පුද්ගලයන් බවට පත්කරමින් සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම සඳහා යන ගමනේ දී විනය ප්‍රමුඛ කාරණයක් වන බැවින් අභිමානවත් ජාතියක් ලෙස ජාත්‍යන්තරය තුළ රට නියෝජනය කිරීමේදී සියලුදෙනාම විනය සම්බන්ධව ඉතාමත් ම වගකීමෙන් කටයුතු කළ යුතුයි.  

මෙවැනි සිදුවීම් අපි තරයේ හෙළා දකින අතර වැරදි පූර්වාදර්ශ අනාගත පරම්පරාවට ලැබීම වැළැක්වීම සඳහා මෙම සිදුවීම සම්බන්ධව විමර්ෂනය කිරීමෙන් අනතුරුව මෙම විනය විරෝධී ක්‍රියා සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා” යැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය.

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය.

ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress