2024 වර්ෂයේ මහ කිතුල, මහ කිරුළ ජලාශ වල හා කිලෝමීටර් 90 ක වයඹ මහ ඇළෙත් වැඩ අවසන් කර ගොවි ජනතාවට එහි ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා.
Posted on October 13th, 2021

-තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා-

කුරුණැගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා එක්වෙමින් ඊයේ (12) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කළ ආර්ථික හා සංවර්ධන සැලැස්ම අනුව ජනතාවට ලබාදුන් සංවර්ධනීය බලපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් දිවයිනපුරා මහා පරිමාණයේ හා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ.

එම සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව ක්‍රියාත්මකවීමේ දී ප්‍රායෝගික ගැටලු ඇත්නම් ඒවා හඳුනාගෙන නිවැරදි සම්බන්ධීකරණය මගින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ව්‍යාපෘති නියමිත ප්‍රමිතියෙන් යුතුව නියමිත කාලවකවානුවලදී අවසන් කිරීම පිළිබඳව අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ වල දී අධීක්ෂණය කරනු ලබයි.

ඒ අනුව කුරුණැගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රදේශයේ වයඹ මහ ඇල හරහා ඉදිවන මහ කිතුල ජලාශය  අනුරාධපුර දිස්ත්‍රික්කයේ  පලුගස්වැව ප්‍රදේශයේ උතුරු මැද පළාත් මහ ඇල සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

උතුරු මැද මහ ඇලෙත්, වයඹ මහ ඇලෙත් වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම ඇල මාර්ග හා ජලාශවල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන්න අද අපි මෙහි පැමිණියා.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලාපොරොත්තුව වනුයේ මෙම ජලාශ ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ගොවි ජනතාවට වගා කටයුතු සදහා අවශ්‍ය ජලය හා පානීය ජලය ලබා දීමට  අවශ්‍යය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි.

මේ වන විටත් මෙම ව්‍යාපෘතිවල වැඩකටයුතු ඉතාම හොදින් ක්‍රියාත්මක වෙනවා. අපේ ඉලක්කය වනුයේ 2024 වර්ෂය වන විට මහ කිතුළ, මහ කිරුළ ජලාශවල හා කිලෝමීටර් 90 ක දිගින් යුත්  වයඹ මහ ඇළෙත් වැඩ අවසන් කර ගොවි ජනතාවට එහි ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්.චන්ද්‍රෙස්න යන අමාත්‍යවරු, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහ ව්‍යාපෘති භාර ඉංජිනේරුවන්, නිළධාරීන් ඇතුලු  පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය.

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය.

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress