නිපුණතාවයෙන් හෙබි, ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබෙන තරුණ තරුණියන් දේශීය හා විදේශීය පිළිගැනීමකට යොමු කරන වැඩපිළිවෙළක් නිර්මාණය කර තිබෙනවා.- අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා-
Posted on October 16th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය.සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය.ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආමාත්‍යාංශය.

ජාතික වෘත්තීය සුදුසුකම් සඳහා වන NVQ – RPL සහතික ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් හම්බන්තොට ශ්‍රැන්ගිලා හෝටලයේ දී ඊයේ (14) දින තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ  ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධානතම අංගයක් ලෙස නිපුණතාවයෙන් හෙබි ශ්‍රම බලකායක් බිහි කිරීමේ වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ අනුව දිවයිනපුරා විසිර සිටින විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු වෘත්තිකයන්ගේ සුදුසුකම් පෙර  ඇගයීමට ලක්කර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 වන මට්ටමේ සහතිකයක් ලබාදී ඔවුන් සවිබල ගැන්වීම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව එක්ව සිදුකරනු ලබයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් ආරම්භ කර ඇති කර්මාන්ත සඳහා අවශ්‍ය නිපුණ  ශිල්පීන් පුහුණු කිරීමේ කාර්යභාරය ජාතික ආධුන්කත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය විසින් සිදු කරනු ලබයි.  

ඒ අනුව, විදුලි කාර්මික ශිල්පීන්ගේ NVQ – RPL අවසන් ඇගයීම් පරීක්ෂණ කටයුතු නිරීක්ෂණය, NVQ – RPL සහතික ප්‍රදානය හා  නව ආයෝජන කර්මාන්ත සඳහා අවශ්‍ය නිපුණ ශිල්පීන් බිහි කිරීමේ වැඩසටහන යටතේ පුහුණුව ලැබූ හම්බන්තොට දිස්ත්‍රික්ක්යේ තරුණ තරුණියන්ට පුහුණු පත්වීම් ලිපි ලබාදීම යන අවස්ථාවන් සඳහා  අමාත්‍යවරයා සහභාගී විය.‍

දිවයිනපුරා විසිරි සිටින විදුලි කාර්මික ශිල්පීන්ට NVQ – RPL සහතික පත්‍ර ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් අයදුම්කරුවන් වෙනුවෙන් බෙලිඅත්ත කාර්මික විද්‍යාල පරිශ්‍රයේ නයිටා ආයතනය (NAITA) මගින් ස්ථාපිත කර ඇති ජංගම ඇගයීම් මධ්‍යස්ථානයේ පැවැත් වූ පෙර දැනුම ඇගයීමේ අවසන් පරීක්ෂණ කටයුතු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2020 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ මනාලියන් හැඩගැන්වීමේ ශිල්පීන් 1300ක් පමණ ඇගයීමට ලක් කර ඇති අතර ඔවුන්ට (NVQ) සහතික පිරිනැමීම සංකේතවත් කරමින් ශිල්පීන් 50 දෙනෙකුට NVQ – RPL සහතික පිරිනැමීම ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් ඉඳිවෙමින් පවතින කර්මාන්ත පුරයේ කර්මාන්ත සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමේ අරමුණෙන් නයිටා ආයතනය (NAITA) තරුණ තරුණියන්ට ආධුනිකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව, මිරිජ්ජවිල ආයෝජන කලාපයේ පිහිටි ONYX ආයතනයේ ඉඳිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ පුහුණුව ලබාදීමට කටයුතු සම්පාදනය කර තිබෙන අතර හම්බන්තොට යොවුන් සේනාංකයේ පුහුණුව ලැබූ තරුණ තරුණියන් 50 දෙනෙකුට පුහුණු පත්වීම් ලිපි ලබාදීම වෙනුවෙන් හම්බන්තොට මිරිජ්ජවිල කර්මාන්පුරයේ ONYX සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ආයතනයේ පැවති උත්සව අවස්ථාවට ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගි විය.

හම්බන්තොට ශ්‍රැන්ගිලා හෝටලයේ පැවති සහතික ප්‍රාදානෝත්සවයේ දී අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය විදියට අපිට තිබෙන විශාලම අභියෝගය වනුයේ මේ රටේ තරුණ පරම්පරාව වෘත්තීය නිපුණත්වයෙන් හෙබි පිරිසක් බවට පත් කිරීමයි.    

දේශීය හා විදේශීය රැකියා වෙළඳපොළට සරිලන ආකාරයේ දක්ෂ තරුණ තරුණියන් අපේ රටේ නිර්මාණය කළ යුතුයි.  මේ අභියෝගය ජයගන්න නම් තරුණ අමාත්‍යාංශය, නිපුණතා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඉතා ම සමීපව කටයුතු කළ යුතුයි.

සීතා අරඹේපොල අමාත්‍යතුමියගේ නායකත්වයෙන් නිපුණතාවය සපිරි වෘත්තීය පුහුණුව කියන කාරණය අද රට තුළ මනා සැළසුමක් සහිතව ක්‍රියාත්මක කරගෙන යනවා.

රටේ තරුණ තරුණියන්,  වැඩිහිටියන් නිපුණතාව වෙත රැගෙන එනවා වගේම, නිපුණතාවයෙන් හෙබි, ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබෙන පිරිස් දේශීය හා විදේශීය පිළිගැනීමකට යොමු කරන වැඩ පිළිවෙලක් අද නිර්මාණය කර තිබෙනවා.

ජීවිතයේ ලැබූ අත්දැකීමක්, වෘත්තීය පුහුණුවක් ඔස්සේ ඉහළට එන විට අපි බොහෝ දෙනෙකුට මුහුණපාන්න සිදුවන අපහසුතාවය වනුයේ ඒ සඳහා සහතිකයක් තිබෙනවාද කියන කාරණය.

අධිරාජ්‍යවාදීන් අපිට නිදහස දීලා ගියත් මානසික නිදහස දීලා ගියේ නැති නිසා ඒ පිළිබදව සමාජයේ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා.

එය ප්‍රායෝගිකව සිදු වෙනවාද නැද්ද කියන කාරණය කෙසේ වෙතත් බොහෝ අවස්ථාවල අපි දකිනවා ක්ෂේත්‍රයේ ඉන්න ඔබ වැනි වෘත්තීය පළපුරුද්ද ඇති අය සහතික පත්‍රයක් නොතිබුණත් ලෝකයේ තරගකාරී වැඩසටහන්  වලින් ජයග්‍රහණය කළ හැකි  ප්‍රායෝගික අත්දැකීම් සහිත අය බව.

තරුණ අමාත්‍යාංශය තරුණයන්ව නගා සිටුවීමට කටයුතු සිදු කරනවා වගේම නිපුණතා අමාත්‍යාංශය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට පිළිගත් සහතික ලබාදෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් සිටිනවා.

මෙය ඉතාමත් අනාගතවාදී සහ දේශීය මෙන්ම විදේශීය වශයෙන් ශ්‍රී ලාංකේය නාමය ඉදිරියට රැගෙන යා හැකි වැඩසටහනක්.

අද මෙම වැඩසටහනට සම්බන්ධ වී සිටින ඔබ සැම, ඔබට අදාළ ක්ෂේත්‍රයේ වෘත්තීමය ප්‍රවීණයන්. ඔබ NVQ තලයට පැමිණීම තුළ මේ රටේ බොහෝ ක්ෂේත්‍රවල නියුතුවූවන්ට හොද පණිවිඩයක් ලැබෙනවා.

ඔබ සියලුදෙනා ක්ෂේත්‍රයේ කීර්තිමත් නමක් දිනාගත් වෘත්තීය කාර්‍යබහුලත්වයක සිටිනා මොහොතක පවා ඔබේ කාලය වැය කොට ඒ නිපුණතාවය ලබාගන්න වෙහෙසෙනවා කියන කාරණය මේ රටේ අනෙක් ක්ෂේත්‍රයන්ට වගේම අලුතින් වෘත්තීය හා කාර්මික පුහුණුව ලබා ගෙන මෙම NVQ තලයන්ට එන්න ඉන්න තරුණයින්ට ඉතාමත් හොද පණිවිඩයක්.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‍සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයත් සමග අපි නිරන්තරයෙන් උත්සහා කරන්නේ නිපුණතාවයෙන් පිරි තරුණ පිරිසක් බිහි කරන්න. ඉදිරියේ ශ්‍රී ලංකාව තුළ ඇරඹෙන කර්මාන්ත ශාලා සදහා නිපුණතාවයෙන් හෙබි තරුණ තරුණයින් බිහි කරන වැඩසටහන අපි ආරම්භ කර තිබෙනවා. දේශීය රැකියා මෙන්ම විදේශීය වශයෙන් ද රැකියා වෙළදපොළ නිර්මාණය වෙනවා.

විදේශ රැකියාවක් ලබා ගැනීමට ගමේ ඉන්න තරුණයාට සහතිකයක් ඉදිරිපත් කරන්න සිදු වෙනවා. අපි මේ හරහා උත්සහා කරන්නේ ඒ අවහිරතාව නැති කර අපේ රටේ තරුණයින්ට දේශීයව හෝ විදේශීයව රැකියාවක් ලබා ගත හැකි අවකාශය නිර්මාණය කිරීමටයි.

ව්‍යවසායකත්වය පිළිබදව අපි විශාල අවධානයක් යොමු කර තිබෙනවා. ලබන වසරේ අය වැය යෝජනා වලින්, ගම්වලට වෙන් වෙන ප්‍රතිලාභ වලින් අවමය 40% ක් වෙන් වෙන්නේ මේ රටේ ව්‍යවසායකත්වය සංවර්ධනය කරන්න. දරුවෙක් ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය කරන්න නම් ව්‍යවසායකත්ව මානසිකත්වයට අපි ඒ දරුවා රැගෙන යා යුතුයි.

ඉතිහාසයේ අපි දැක්කේ ව්‍යවසායකයෙක් කිවුවාම සැලෝන් එකක් දා ගන්න බඩු ටිකක් දෙනවා. හැබැයි එතනින් එහාට දෙයක් නැහැ. අඹ පැළ 50 ක් ලැබුණොත් පවුල් 50 කට ඒක බෙදලා දෙනවා. කුකුල්ලු 10 දෙනෙක් ගෙවල් 10කට බෙදපු අවස්ථාත් තිබුණා. මැතිවරණයට මනාප ලබා ගන්න ඒක හොදයි. අද ඒ ක්‍රමවේදය වෙනස් කර ගමේ සැබෑ ව්‍යවසායකයා නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කර තිබෙනවා.

අද ව්‍යවසායකයෙක් හැදුවොත් නොබෝ දිනකින් ඒ ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙක් බවට පත්වෙනවා. ඊළඟ පරම්පරාවේ දී ඒ ව්‍යාපාරිකයා ආයෝජකයෙක් බවට පරිවර්තනයවෙනවා කියන කාරණය අපි විස්වාස කරනවා.

ව්‍යවසායකයා ආයෝජකයෙක් බවට පරිවර්තනය කිරීමේ ගමන තුළ ක්ෂේත්‍රයේ පළපුරුදු අය වශයෙන් ඔබේ දැනුම, පළපුරුද්ද හා ඔබ ලබා තිබෙන අත්දැකීම් ඊළඟ පරම්පරාවට ලබාදීමේ විශාල කාර්‍යභාරයක් ඔබට හිමිව තිබෙනවා.

අපට අවශ්‍ය වනුයේ අද ව්‍යවසායකත්වයෙන් තම ගමන ආරම්භ කරන තරුණයා 2030 වර්ෂය වෙනකොට ආයෝජකයෙක් බවට පත් කරන්නයි. ඔහු දේශීය හෝ විදේශීය සමාගම්වල ආයෝජනය කරන ආයෝජකයෙක් විය යුතුයි.

මේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට, ජාතික අධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) විශාල වැඩ කොටසක් තිබෙනවා. මේ රටේ අනාගත භාරකරුවන් ලෙස අපි හඳුන්වන නිපුණතාවයෙන් යුතු පිරිස පෙළ ගස්සවන්න ඔබේ ආයතනවලට විශාල වගකීමක් තිබෙනවා.

මේ යන ගමන තුළ ඔබ, සුවිශාල කාර්‍යභාරයක් ඉටු කරන අය වගේම ඉතාමත් ආදර්ශවත් ලෙස හොඳ ආරම්භයක් ලබා දුන් පිරිසක්.

මෙම පණිවිඩය, ඔබට ඊළඟ පරම්පරාවටත් රැගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා, ඔබ සියලුදෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර මා විස්වාශ කරන බෞද්ධ ධර්මයට අනුව සියලුදෙනාටම තෙරුවන් සරණ පතනවා‘‘ යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය,  ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති තරංග නලින් ගම්ලත් මහතා, හම්බන්තොට දිස්ත්‍රික්  ලේකම් එච්.සුමනසේකර මහතා, ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය.සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය.ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress