අලි- මිනිස් ගැටුමට කිසිවකුටත් ඇඟිල්ල දිගු නොකර අපිම අපේ ප්‍රශ්න විසඳා ගන්න කටයුතු කරනවා-රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා
Posted on October 17th, 2021

තිසර සමල් – අනුරාධපුර

අලි- මිනිස් ගැටුමට කිසිවකුටත් ඇඟිල්ල දිගු නොකර, ගොවි ජනතාවත් සමඟ අත්වැල් බැඳගෙන, අදාළ ආයතන හා සම්බන්ධ වී අපිම අපේ ප්‍රශ්න විසඳා ගන්න කටයුතු කරනවා යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ,අලි-මිනිස් ගැටුමේ ප්‍රථිඵලයක් ලෙස මිනිස් ජීවිත දෙකක් අහිමි වූ අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාරාකුළම ගම්මානයට පවතින අලි- මිනිස් ගැටුමට තිත තබමින් මාරාකුළම ගම්මානය ආවරණය වන පරිදි අලි වැටක් ඉදි කිරීමේ කටයුතු සමාරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය. සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි කටයුතු සමාරම්භ විය.

මාරාකුළම ගම්මානයේ ගොවි බිම් , නිවාස හා ගෙවතු ආවරණය වන පරිදි කිලෝ මීටර 05 ක් දුරට මෙම අලි වැට ඉදි කෙරේ. රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගෙන් ගම්වාසීන් කල ඉල්ලීමක් අනුව අමාත්‍යයතුමන්ගේ සම්බන්ධීකරණයෙන්,වන අලි සංරක්ෂණ පර්යේෂණ ආයතනනයේ මූළ්‍ය පරිත්‍යාගයෙන් හා ගම්වාසීන්ගේද දායකත්වයෙන් මෙම අලි වැට ඉදි කෙරේ, මේ සඳහා රුපියල් ලක්ෂ 25 කට වැඩි මුදලක් වැය කෙරෙනු ඇතැයි ගණන් බලා ඇත.සූර්ය පැනල හරහා මෙම අලි වැට සඳහා විදුලිය ලබා ගැනීම සිදු කෙරෙන අතර,අලි වැට ඉදි කිරීම් කටයුතු සමාරම්භ කරමින් අලි වැට හරහා කම්බි ඇඳීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ගම්වාසීන්ගේ සුරතින් සිදු කෙරිණි.මෙම කිලෝ මීටර 05 අලි වැට ඉදි කිරීමෙන් පසු, දෙවන අදියර ලෙස මෙම ගම්මානයට යාබද ගම්මානයටද අලි වැට ඉදි කිරීමට නියමිතය.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අලි වැටේ ඉදි කිරීම් කටයුතුද නිරීක්ෂණය කරනු ලැබීය.අනතුරුව ගම්වාසීන් ඇමතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, ඔබතුමන්ලා දැන් මේ අලි වැට බලාගන්න, ආරක්ෂා කර ගන්න, මම ඉල්ලන්නේ හැමදාම ආණ්ඩු වලට බැණ බැණ ඉන්නේ නැතිව තමන්ගේ යුතුකම, වගකීමත් ඉටු කරන්න, සමහර ප්‍රශ්න වලට ආණ්ඩුවට මැදිහත් වෙන්නත් බෑනේ,මොකද අලියා කියන කෙනා කොහොම පාලනය කරන්නද?  අලිත් ආරක්ෂා කර ගෙන අපිත් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා, අපි විශේෂ වැඩපිළිවෙලකට යන්න ඕන යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ ගම්වාසීන් කියා සිටියේ, අද දවසේ දුමින්ද ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ගමේ මේ ඉදි කිරීම් ආරම්භ කරපු විදුලි වැට ගොඩක් වටිනවා, ගම්වැසියෝ දෙන්නෙක් අපිට නැති වුණා අලි මිනිස් ගැටුමෙන් අපිට මේ විදුලි වැට ලොකු ආරක්ෂාවක්, අපේ ගමට අලි ප්‍රශ්න ගොඩක් තිබුණා, අපේ වතු වලට හානි වුණා, දේපළ හානී වුණා ඒ නිසා අපිට අලි වැටක අවශ්‍යතාව අපිට දැඩිව තිබුණා, අලි වැටක් ඉදි කිරීම හරහා අපේ ගොවිබිම්, ගෙවතු ඇතුළු දේපල ආරක්ෂා වෙනවා,අපේ ඒ අවශ්‍යාතාව ඉටු කර දීමට මැදිහත් වුණ දුමින්ද ඇමතිතුමාට බොහෝම ස්තූතියි යැයි පැවසීය.

වන අලි සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ, අපි දැනට අවුරුදු 30 ක් පමණ, අලි ගැන සහ අලි -මිනිස් ගැටුම පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා, ඒකෙන් අපිට පැහැදිලි වෙලා තියෙන්නේ මේ අලි මිනිස් ගැටුම පාලනය කර ගන්න හෝ මැඩපවත්වා ගන්න නම් අපි මෙච්චර කාලයක් පාවිච්චි කළ ගමන් මගට වඩා වෙනස් මගකට යොමු විය යුතුයි.දැනට ලංකාවේ භූමි භාගයෙන් 62% ක  ප්‍රදේශයක අලි ඉන්නවා.අලි ඉන්න ප්‍රදේශයෙන් 70% ක අලි ඉන්නේ මිනිස්සුත් ජීවත් වෙන ප්‍රදේශ වල අද අපි මේ තත්වයට ඇවිත් තියෙන්නේ අවුරුදු 70 කට වඩා වැඩි කාළයක් අලි ඔක්කොම රක්ෂිත ප්‍රදේශ වලට සීමා කරන්න ගත්තු ඉතිහාසයක් එක්ක.ඒක අසාර්ථක වෙලා තියෙනවා.ඒ නිසා අපි වෙනත් මගකට යොමු විය යුතුයි කියලා තීරණය කලා. අපි අලි ඉන්න ප්‍රදේශයක ජීවත් වෙනවා නම්, අපේ ගමට, අපේ කුඹුරට අලින්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට ඉදිරිපත් වෙලා අපේ දේ ආරක්ෂා කර ගත යුතුයි කියන මගට යොමු විය යුතු වෙනවා.එවිට අලි-මිනිස් ගැටුම පාලනය කර ගන්න හා මැඩපවත්වා ගන්න පුලුවන් යැයි පැවසීය.

අනතුරුව අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,අපේ දිස්ත්‍රික්කයට විශාල ගැටලුවක් වෙලා තියෙනවා, අලි -මිනිස් ගැටුම, පහුගිය දවස් වලත් දකින්න ඇති වන අලි ප්‍රහාරයන්ගෙන් කීප දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වුණා.ඒ වගේම අපේ පළාත තුළම වන අලින්ව ඝාතනය කරපු සිද්ධීත් වාර්ථා වුණා.මේ ගැටලු වලට කාටවත් බැන්නට, දොස් කිව්වට වැඩක් වෙන්නේ නෑ,මෙම වන අලි සංරක්ෂණ පර්යේෂණ ආයතනනය ගම්මාන වල ගොවි මහතුන් සමඟ සම්බන්ධ වෙලා ඔවුන්ගේ ආධාර හා  ගොවි මහතුන්ගේ දායකත්වය මත අලි වැට ඉදි කිරීම ආරම්භ කරලා තියෙනවා.අද අපි එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළා, ඉදිරියේදීත් අපි එම සංවිධානයේ හා ගොවිජනතාවගේ සහයෝගය ඇතිව, කාටවත් ඇඟිල්ල දිගු නොකර, කාටවත් දොස් කියන්නේ නැතිව අපේ ගෙදර, අපේ වගාව අපිම ආරක්ෂා කරන්න ක්‍රමයක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා, එහි පළමු වැනි උත්සහය තමයි මේක, මේක සාර්ථක වුණොත් අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුරයේ තියෙන අලි- මිනිස් ගැටුමට කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නැතිව, ගොවි ජනතාවත් සමඟ අත්වැල් බැඳගෙන, ආධාර දෙන අනෙකුත් ආයතනත් සම්බන්ධ කර ගෙන අපිම අපේ ප්‍රශ්න විසඳා ගන්න පුලුවන් ආකාරයකට කටයුතු කරනවා යැයි පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress