බෞද්ධ ජනරජ ප්‍රවාදය – 40 වැනි කොටස- ‍ජාතියේ රස ශාස්ත්‍රය
Posted on October 18th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ආර්ථිකයේ පළමු අවශ්‍යතාව ආහාර සපයාගැනීම බැව් අපි දනිමු. ඒ පිළිබඳ මූලික කරුණු ගණනාවක් මෙයට පෙර ලිපියෙන් අපි විමසා බැලුවෙමු. ස්වභාවික ව්‍යවසනයක දී, වසංගතයක දී, යුදමය වාතාවරණයක දී අනෙකුත් අවශ්‍යතා අතපසු කළ හැකි නමුදු ආහාර අවශ්‍යතාව කල් දැමිය හැකි නොවේ. එහෙයින් ආහාර සුරක්‍ෂිතතාව සහතිකකිරීම බෞද්ධ ජනරජයේ ප්‍රධානම වගකීමක් වන්නේ ය.

වසර මුළුල්ලේ ම හොඳින් හිරු එළිය වැටෙන, නිසි පරිදි වර්ෂාව ලැබෙන, සරු පසක් හිමි සහ ජෛව විවිධත්වයෙන් අනූන ශ්‍රී ලංකාව වැනි රටක ආහාර හිඟකමක් ඇතිවීමට කිසිදු හේතුවක් තිබිය නොහැකි ය. එහෙයින් ඒ හා සම්බන්ධ දැනුම වර්ධනය කර, එම දැනුම සහ අදාළ භාවිතාවන් ජනතාව අතර ප්‍රචලිතකිරීම උදෙසා අදාළ සියලු ආයතන කටයුතු කළ යුත්තේ ය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන සහ මාධ්‍ය ආයතන විසින් කළ යුතු කාර්යය අතිමහත් ය.

ආහාර ලබාගැනීමෙන් අපි අපගේ පෝෂණ අවශ්‍යතා සපුරාගනිමු. එසේ වුව ද, ඒ ඇසුරින් මානසික තෘප්තියක් ද අපි අපේක්‍ෂාකරමු. නීරස ආහාර අනුභවයට කිසිවකුත් කැමැති නොවේ. රසවත් වුව ද එක ම ආකාරයේ ආහාර නිතර නිතර අනුභවය විසින් ද අප තුළ අතෘප්තියක් ජනිතකරයි. ආහාර සැකැසීමේ ශාස්ත්‍රය නිසි පරිදි වර්ධනය කරන්නේ නම් මෙම ගැටලු විසඳාගත හැකි ය.

මෙ ලොව ඕනෑම භූමියක වගාකළ හැක්කේ සීමිත භෝග ප්‍රමාණයකි. ජෛව විවිධත්වයෙන් අනූන ශ්‍රී ලංකාව වැනි රටක එ ලෙසින් වගාකළ හැකි ප්‍රමාණය තරමක් ඉහළ ය. කෙසේ වුව ද, එම ප්‍රමාණය ද සීමාසහිත ය. සීමිත භෝග ප්‍රමාණයකින් විවිධත්වයෙන් පරිපූර්ණ ආහාර සැකැසීම බුද්ධිය මෙහෙයවා වර්ධනය කරගත යුතු කාර්යයක් වෙයි. ඒ ඇසුරින් ගොඩනැගෙන රස ශාස්ත්‍රයක් ජනරජයේ ජනතාව වෙත හිමිකර දිය යුත්තේ ය.

ඉතා සුන්දර සිතුවමක් ඇඳීමට චිත්‍ර ශිල්පියකු විසින් භාවිතාකරනුයේ ඉතාමත් සීමිත වර්ණ ප්‍රමාණයකි. තමන් සතු වර්ණ කිහිපය විවිධාකාරයෙන් මිශ්‍රකිරීමෙන් ඔහු විවිධ වූ වර්ණ ඉස්මතු කරගනියි. සංගීතඥයා ද එ බඳු ය. සීමිත ස්වරවලින් විචිත්‍ර වූ විවිධ සංගීත නිර්මාණ දායදකිරීමට ඔහුට හැකි ය. ආහාර ශාස්ත්‍රය තුළින් ද මෙවැනි ම කාර්යයක් සිදුකළ හැකි ය. භූමියේ වැවෙන සීමිත භෝගවලින් විවිධ වූ ආහාර සැකැසීමේ දැනුමක් ඒ තුළ අන්තර්ගත යුතු වෙයි.

ඒ ඒ භෝගයේ රසය සහ ගුණය පිළිබඳව පවත්නා මූලික අවබෝධය මත පදනම් වී විවිධ වූ අත්හදාබැලීමේ සිදුකිරීමෙන් අපට ම අනන්‍ය වූ ආහාර ශාස්ත්‍රයක් බිහිකර ගැනීම අපහසු නැත. අතීත පරම්පරා විසින් කළ රස නිර්මාණවල මගපෙන්වීම ද ඒ සඳහා උපයෝගී කරගත හැකි ය. පිරිවැය (කාලය, ධනය) සහ නාස්තිය අවම කරගනිමින් මෙම රස නිර්මාණ හඳුන්වාදීම ද වැදගත් වෙයි. ජනතාව තුළ වැඩි ඉල්ලුමක් ඇතිවන්නේ අඩු කාලයකින්, පහසුවෙන් සහ අවම පිරිවැයකින් සැකැසිය හැකි ආහාරවලට ය.

අදාළ මූලික කරුණු ඇසුරින් මෙවැනි රස ශාස්ත්‍රයක් බිහිකිරීම උදෙසා පදනම දැමීම අදාළ උගතුන්ගේ වගකීමක් වෙයි. රට පුරා ගමින් ගමට ගොස් පාරම්පරික ආහාර ගැන පර්යේෂණ කරන උගත්තු දැනට ද සිටිති. මෙම ආරම්භක පර්යේෂණ කාර්යයන්හි ප්‍රතිඵල විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් වෙනුවෙන් යොදාගත යුතුවෙයි. ගැහැණු, පිරිමි භේදයක් නොමැතිව සෑම දරුවකුට ම ආහාර පිළිබඳ මූලික පාඩම් කියාදිය යුතුවෙයි. ඒ ඇසුරෙන් දක්‍ෂතා පෙන්වන්නන් රස ශාස්ත්‍රයෙහි විශේෂඥයන් බවට පත්කිරීම එයින් අනතුරුව කළ හැක්කේ ය.

ආහාර ශාස්ත්‍රය වර්ධනයකිරීමට අදාළ යම් යම් දැනුම වෙනත් රටවල්වලින් ද ලබාගත හැකි ය. එ ලෙසින් ලබාගන්නා දැනුම අපගේ අවශ්‍යතාවලට අනුරූප වන පරිද්දෙන් ගලපාගැනීම අදාළ විශේෂඥයන්ගේ වගකීමක් වෙයි. දේශගුණික සහ සංස්කෘතික කරුණු පිළිබඳ නිසි අවබෝධයක් ඇතුව මෙය කළයුත්තේ ය.

එක් නිශ්චිත භෝගයකින් හෝ කිහිපයකින් අලුත්, රසවත්, එ මෙන් ම, වැඩි දෙනකුගේ කැමැත්ත දිනාගනු ලබන ආහාර නිර්මාණ එළිදක්වන අය ඇගැයීමේ වැඩපිළිවෙළක් ද හඳුන්වාදිය හැකි ය. මෙවැනි කාර්යයකින් ලැබෙන පෝෂණ සහ ආර්ථික වාසි ද මෙහි දී සළකාබැලිය හැක්කේ ය. පුළුල් ඇගැයීමකට පාත්‍රවන ආහාර නිර්මාණ හඳුන්වාදෙන්නන් වෙත මුදල් හෝ ඉහළ වටිනාකම් ඇති වෙනත් ත්‍යාග ලබාදීම ද කළ යුත්තේ ය. වැඩි පිරිසක් මෙවැනි නිර්මාණ වෙත යොමු කළ හැක්කේ එවැනි වැඩපිළිවෙළකිනි.

මෙ ලෙසින් වර්ධනය කරනු ලබන රස ශාස්ත්‍රයෙන් සිදුවිය යුත්තේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා කාර්යක්‍ෂම අයුරින් සැපැයීම, ඉතා පොහොසත් ආහාර සංස්කෘතියක් රට තුළ නිර්මාණයකිරීම, අප සතු සම්පත්වලින් නිසි වැඩ ගන්නා සකසුරුවම් ආහාර සැකැසීමේ ක්‍රමයක් ජනගතකිරීම සහ ඒ ඇසුරින් ආර්ථික අරමුණු සාක්‍ෂාත් කරගැනීම යනාදිය ය. පිරිපුන් රස ශාස්ත්‍රයකින් සන්නද්ධ සමාජයක් ආහාර අවශ්‍යතා වෙනුවෙන් ආනයන කෙරෙහි යොමු නොවනු ඇත්තේ ය.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress