”ආණ්ඩුව මුරණ්ඩු නැහැ: පියවරක් පසුපසට ගැනීම වරදක් නොවෙයි” – කැබිනට් ප්‍රකාශක
Posted on October 19th, 2021

 අම්රා ලියාකත්  මව්බිම දැන්

කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳව මතු ව ඇති ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව මුරණ්ඩුකාරී ප්‍රතිපත්තියක නොසිටින බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (ඔක්. 19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගොවීන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත් කරමින් කාබනික පොහොර ගෙන් වන බව පැවසුව ද ආණ්ඩුව ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලෙස නැවත රටට රසායනික පොහොර ගෙන්වීම තුළින් ආණ්ඩුව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර නැතැයි එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු ලබා දෙමින් ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, ගොවීන්ගේ අස්වැන්න සහ ආර්ථික ගැටලු පිළිබඳව සලකා බලමින් අවශ්‍ය අවස්ථාවලදී පියවරක් පසුපසට ගැනීම වරදක් නොවන බව ය.

මාධ්‍යවේදියා: මහ කන්නය ආරම්භ වීමට කටයුතු සූදානම් වෙලා තියෙනවා. අපි දකිනවා ගොවියෝ දිවයින පුරා පොහොර ඉල්ලා පෙළපාලි යමින් ඉන්නවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුණේ කාබනික වගාවට  මිනිස්සු යොමු කරනවා. මේ රසායනික භාවිතයෙන් ඉවත් කරලා, අලුත් වැඩපිළිවෙළක් හඳුන්වලා දුන්නා ප්‍රතිපත්තිමය වශයෙන්. නමුත් අපි දකිනවා ඉන්දියාවේ මේ නයිට්‍රජන් පොහොර නැනෝ තාක්ෂණයෙන් හදපු නයිට්‍රජන් පොහොර. කෙසේ වුණත් අපි දකින විදිහට මේකත් රසායනික පොහොර ආණ්ඩුව දැන් මොකක් ද මේ අනුගමනය කරමින් ඉන්නේ? එක පැත්තකින් ගොවීන්ට පොහොර නැහැ. අනෙක් පැත්තෙන් ආණ්ඩුව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙලත් නැහැ. මේ තත්ත්වය තුළ මෙවර ජනතාවට මහ කන්නයේදී මොන වගේ ගැටලුවකට මුහුණ දෙන්න වෙයි ද?

ඩලස් අලහප්පෙරුම: මේ ආණ්ඩුව කිසි ම ප්‍රශ්නයකදී දැඩි මුරණ්ඩු ප්‍රතිපත්තියක, ආණ්ඩුව හිතන දේ ම අනිවාර්යයෙන් කරන්න ඕන කියන දැඩි මුරණ්ඩුකාරී ප්‍රතිපත්තියක නැහැ. මේ ප්‍රතිපත්තිය නරක ප්‍රතිපත්තියක් නෙවෙයි නේ. කාබනික පොහොර පිළිබඳ ප්‍රතිපත්තිය කිසිම කෙනෙකුට කියන්න බැහැ. මේක වැරැදි චේතනාවකින් ගෙනාපූ නරක ප්‍රතිපත්තියක් කියලා කාටවත් කියන්න බැහැ. මේක ලෝකේ පුරා ම සම්භාවනයට පාත්‍ර වෙච්ච යහපත් ප්‍රතිපත්තියක්. අපේ ඉතිහාසය පවා පිරිලා තියෙන්නේ. කාබනික පොහොරත් එක්ක තමා අපේ කෘෂිකර්මාන්තය ඉහළ තැනකට ගියේ. අපි විදේශ රාජ්‍යයන්ට පවා ඉතිහාසයේ සහල් අපනයනය කරපු ජාතීන්, රසායනික පෙහොර භාවිතාවෙන් නෙවෙයි. ඒක හොඳ ප්‍රතිපත්තියක් නමුත් මේ සංවාදය තියෙන්නේ මේකේ කාලවකවානු පිළිබඳව. යම් ගැටලුවක් මතු වෙච්ච හැම තැනකදී ම. දැන් මල් වගාව සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණා. මල්වල වර්ණ ගැන්වීමට පවා වෙන ම වූ රසායනික ද්‍රව්‍ය සහිත පොහොරවල් තියෙනවා කියන එක. උදාහරණයක් විදිහට කාබනික පලිබෝධ නාශක පිළිබඳ යම් හිඟයන් තියෙන බව වාර්තා වෙනවා. ද්‍රව නයිට්‍රජන් පිළිබඳවත් එවැනි ම ආකාරයක් තමා තිබුණේ. ඒ නිසා අනම්‍ය දැඩි මුරණ්ඩු ප්‍රතිපත්තියක ඉඳගෙන නෑ උඹලා කැමති උණත් නැති උණත් මේක කරන්න ඕන. එහෙ ම නෙවෙයි. 

අපි අර ඉලක්කයට යෑම සඳහා යම් කාලයක් ගත වෙයි. ඒ ගත වන කාලසීමාව තුළදී ගොවියාගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බලලා, අස්වැන්න පැත්තෙන් ප්‍රශ්න දිහා බලලා, ඔවුන්ගේ ආර්ථීක පැත්තෙන් ප්‍රශ්න දිහා බලලා අවශ්‍ය තැන් වලදී පියවරක් පසුපසට ගැනීම වැරැද්දක් නෙවෙයි. එය එසේ විය යුතුයි. මේකේ අවසාන වශයෙන් බලන්න ඕන අපේ රටේ අස්වැන්නත් අහිංසක ගොවීන්ගේ ආර්ථිකය දිහාත් බලලා. අපි ආණ්ඩුවක් විදිහට පැහැදිලිව ම එවැනි අර්බුදකාරී තැනකදී අවසාන විග්‍රහය විදිහට ගොවීන්ගේ පැත්තෙන් මේ විග්‍රහය ගන්න පැකිලෙන්නේ නැහැ. ඒක වැරැද්දක් නෙවෙයි. ඒක පසු බැසීමක් නෙවෙයි.

 අම්රා ලියාකත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress