වල්නාශක සහ කෘමිනාශක ආනයනය ගැන තීරණයක් ගනී
Posted on October 19th, 2021

උපුටාගැණීම අදදෙරණ

වගාවන් සඳහා අවශ්‍ය අනුමත කෘමිනාශක සහ වල්නාශක මෙරටට ගෙන්වීමට අදාළ සමාගම්වලට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි.

අද දෙරණ “BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, “අද පොහොර එනවා. මොකද්ද එන්නේ නැනෝ නයිට්‍රජන්, නයිට්‍රජන් පෝෂකය තමයි අද ඉඳන් අපේ ලංකාවට ලැබෙන්නේ.” යනුවෙනි.

ප්‍රශ්නය –  ඔය නැනෝ නයිට්‍රජන් කියන්නේ 100%ක් කාබනික වගාවට යොදා ගන්න පුළුවන් පොහොරක් ද?

“දැන් මේ පොහොර කියන්නේ රසායනික සංඝටක එකතු කරලා, සාදන සංයෝගයක්. එතකොට මේ අද එන නැනෝ නයිට්‍රජන් ප්‍රඩක්ට් එකක් විදියට කාටහරි කියන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක් කියලා. මේකේ ජීවි ද්‍රව්‍ය නැති නිසා මේක අකාබනිකයි කියලා කියන්නත් පුළුවන්. එහෙම නෙමෙයි මේක විශේෂිත පොහොරක්. යූරියා කිලෝ ග්‍රෑම් 50ක කොට්ටයක් වෙනුවට තුන්වෙනි පරම්පරාවේ නැනෝ නයිට්‍රජන් එකකින් ගහන්න ඕනේ 500ml බෝතලයක් පමණයි. හෙක්ටයාරයකට මේකෙන් අවශ්‍ය වෙන්නේ 2.5lයි. එක වතුර ලීටරයකට දිය කරන්නේ 4ml.”

ප්‍රශ්නය – දැන් ඔබතුමන්ලා කිව්වා හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 500ක් විතර දාන්න වෙයි කියලා කොම්පෝස්ට්. කොම්පෝස්ට් දාන්න ඕනේ ද?

“කොම්පෝස්ට් දාන්නේ පසේ වයනය කියන සාරවත්භාවය ඇති කරගන්න.”

ප්‍රශ්නය – මේක ගැහුවහම වල් උඩට එනවානේ ඔක්කෝම එක්ක ?

“ඒ නිසා තමයි පියවර ගත්තේ, අනුමත වල්නාශකවලින් අපේ සමාගම් හරහා මේ අවශ්‍ය ගානට ගේන්න දෙන්න. හැබැයි වල්නාශක ගහනවා කියලා අර නිකන් ඉබාගාතේ ගහන්නේ නැතුව, යම්කිසි වැඩපිළිවෙලක් අනුව අක්කර ගාන අනුව දීලා කරන වැඩපිළිවෙලක්.”

ප්‍රශ්නය – කෘමි සතුන්ගෙන් සිදුවන හානි විශාල ප්‍රමාණයෙන් ගොවි මහත්වරුන්ට වෙනවා. ඔවුන් ඒක අත්විඳිනවා. ඒකට මොකද කරන්නේ ?

“ඒවට පළිබෝධනාශක, වල්නාශක අවශ්‍ය ප්‍රමාණයෙන් ගොවි ජනතාවට ගෙනත් දෙන්න මේ අවස්ථාවේ කටයුතු කරලා ඉවරයි.”

ප්‍රශ්නය – ඔය කියන දියර පොහොර තේ වගාවටත් යොදන්න පුළුවන් ද?

“තේ වගාවටත් මේ දියර පොහොර යොදන්න පුළුවන්. හැබැයි අපේ තේ වගාව අපනයනය මත පදනම් වූ වගාවක් නිසා අපි එකවරම ඒ කටයුත්තට යන්නේ නෑ. ඒ නිසා තේ වගාවට අවශ්‍ය කරන මෙතෙක් කල් භාවිත කරපු පොහොර වර්ග නියමිත ප්‍රමිතියෙන් ගෙන්නු පොහොර වර්ග අපි ලබාදෙනවා.”

ප්‍රශ්නය – දැන් මේක සුදුසු නෑ කියලා හරවලා යවපු නැව දැන් ආය එනවා. ආය එන්නේ මොකට ද?

“දෙයියනේ, මුහුදේ නැව් යන එක නවත්වන්න නෙමෙයි නේ මම ලේකම් විදියට ඉන්නේ.”

ප්‍රශ්නය – දැන් වචනයක් කියන්න. ‍ඔබතුමන්ලා ගේන්න දෙන්නේ නැද්ද ?

“ගේන්න පුළුවන් බාන්න බෑ. බෑවත් රට ඇතුළට ගන්න බෑ. අපි ඒකට අවසර දෙන්නේ නෑ.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress