හරි දේ කිරීම විශාල අභියෝගයක් = ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – හරි දේ දැනගැනීම සුවිශේෂී අභියෝගයක් = චන්ද දායකයින්
Posted on October 21st, 2021

මුහුණ පොතෙන්

වැරදි දේ සිදුකර බලයේ සිටිනවාට වඩා නිවැරදි දේ සිදුකර ගෙදර යාම හොද බව ජනාධිපතිවරයා ප්‍රකාශකල බව සදහන් පුවතක් ජනාධිපති ලේකම්වරයා උපුටාදක්වමින් දිනමිණ පුවත්පත ( 2021-10-20) වාර්තා කර සිටී.

පළමු කාරණය නම් සැබවින්ම සිදු කරන්නේ රටට ජනතාවට හිතකර සහ රටටත් ජනතාවටත් වඩා යහපත් අනාගතයක් උදෙසා වන ක්‍රියා මාර්ග නම් එම ගන්නා ක්‍රියාමාර්ග තුළින් රටේ ආර්ථිකය දියුණු වන්නේ නම් නීතියේ සමානාත්මතාවය හා සාධාරණත්වය තහවුරැ වන්නේ නම් රටේ ජනතාවගේ ජනජීවිතය ඉහළ නැංවෙන්නේ නම් ජනතාව කිසිවිටෙකත් එවැනි නායකත්වයක් මැතිවරණයකදී පරාද කර ගෙදර යවන්නේ නැත.

එවැනි ක්‍රියාමාර්ග හමුවේ රටට ආදරේ බහුතර ජනතාව ඒ නායකත්වය වටා රොක්වනු ඇත.

පවතින වසංගත තත්වය හමුවේ රජය විසින් ගනු ලැබූ බහුතරයක් තීරණ හමුවේ ජනතාව ඒ සදහ විරෝධය පළ කලේ නැත. කල හැකි සියලු ආකාරයේ කැපකිරීම කරමින් ජනතාව එයට සහය දැක්වීය. තාක්ෂණික සහයන් ලබා දෙමින් වෘතීයවේදීන්ද ඒ සදහා අවශ්‍ය කරන සහය ලබා දෙමින් සිටී. කොවිඩ් මර්ධනය, එන්නත්කරණය සම්බන්ධයෙන් ජනතාව රජයට දොස් නගන්නේ නැත. දේශපාලන වාසි උදෙසා විපක්ෂය නගන චෝදනා ජනතාව පිළිගන්නේද නැත. නිවැරදි ක්‍රියාමාර්ග හමුවේ ජනතාව ඒ වටා එකතුවන බවට එය හොද සාක්ෂියකි.

නමුත් සමහරක් තීන්දු තීරණ හමුවේ ජනතාවට එලෙස සිටිය නොහැකිය.

වර්තමානයෙ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තිබෙන අර්බුධය එවැන්නකි. වසර 15-20 කින් සපුරාගත යුතු ඉළක්කයක් එක් රැයකින් සිදු කරන්නට ගොස් සමස්ත කෘෂිකර්මාන්තයම අර්බුධයකය. කන්නය දොරකඩට ඇති විටත් ඒ සදහා අවශ්‍ය කරන සැපයුම් නැතිනම් ගොවියා අවිනිශ්චිත තැනකය.

වැස්සට සතියක් දෙකක් පරක්කු වී එන්න කියන්න යැයි ගොවියාට කියන්නට හැකියාවක් නැත. කන්නයට වගා කරන්නේ එසේ කල යුතු නිසා මිස වෙනත් ආශාවකට නොවේ. එම කන්නයන් වෙන්කර ඇත්තේ කාළගුණික දේශගුණික තත්වයන් අනුවය. අවසානාවකට එම සරල කාරණය වත් තේරැම් ගැනීමට අපේ රටේ දේශපාලකයන්ට නොහැකිය. උපදේශකයන්ටත් ඒවා තේරැම් ගත හැකි බවක් පේන්නට නැත.

* නීතිපතිවරයා විසින්ම පැවරෑ නඩු නීතිපතිවරයා විසින්ම ඉවත් කරගැනීමද එවැන්නකි. වැරදි ලෙස නඩු පවරා ඇත්නම් නඩු විභාගය අවසානයේදී එලෙස දේශපාලන හේතුමත නඩු පැවරෑවන්ට එරෙහිව නඩු පවරා සිදූ අපහාසයට වන්දි ලබාගත්තත් කමක් නැත. එලෙස නොවන විට ජනතාවට අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳී යයි. රජයට ප්‍රධාන නීති උපදෙස් ලබා දෙන ආයතනයටත් නිවැරදිව නඩුවක් ගොණුකර ගත නොහැකි නම්, දේශපාලන උවමනා මත එලෙස සිදු කරන බව හැගෙන්නේ නම් එයින් රටට ජනතාවට ලබා දෙන ආදර්ශයන් කුමක්ද යන පැනය ඇතිවේ.

* වර්තමානයේ අප රට මෙවැනි ආර්ථික අර්බුධයක හිර වී සිටින්නෙ පසුගිය වසර එක හමාරක කාළය තුල ඇති කොවිඩ් අර්බුධය නිසා නොව පසුගිය වසර 15-20 ක කාලයක සිට සිදු වූ වංචා, දූෂණ, විදෙස් ණය නිසි ලෙස ආයෝජනය නොකිරීම, ඉදිකරනු ලැබූ ව්‍යාපෘති සුදු අලින් බවට පත්ව තිබීම වැනි කාරණා බව තේරැම් ගැනීමට අපහසු නැත. එලෙස රටේ ආර්ථිකය විනාශ කල පක්ෂ විපක්ෂ දේශපාලකයන්ට නීතීය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් ජනතාව එක පයින් ඒ සමග සිටගනු ඇත.

* ආනයන බදු වෙනස් කිරීම් තුළින් හා බදු වංචා කිරීම් මගින් මෙරට ජාතික ආර්ථිකයට එක්වන්නට තිබූ බහුතරයක් බදු ආදායම් අහිමි වී ඇත. පාර්ලිමේන්තු පණත් හරහා කළු සල්ලි සුදු කිරීමට අවස්තාවන් ලබා දෙනු වෙනුවට සම්බන්ධයෙන් නිසි විමර්ෂණයක් සිදු කර එම අහිමි වූ ධනය නැවත ලබාගැනීමට අණ පනත් ගෙන එන්නේ නම් දේශපාලකයන් හැර ගියද ජනතව එම නායකත්වය සමග රැදෙන බව නිසැකය.

* අදටත් බහුතරයක් රජය සතු ආයතන ( SOEs) පාඩු පිට පාඩු ලබයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංවිම, ඛනිජ තෙල්, දුම්රිය, ඒ අතරින් ප්‍රධානය. තවත් ඒවා ඇත. එම ආයතන ලභ ලබන හෝ අවම වශයෙන් පාඩු නොලබන තත්වයට හෝ ගෙන ඒමට අවශ්‍ය කරන තීරණ ගන්නේ නම් ජනතාව ඒ තීරණ සමග එකග වන බව නිසැකය.

* කිසිදු ලෙසකින් තහවුරැ කළ නොහැකි දේශපාලකයන් සතු ධනය නිවැරදි විගණනයක් තුළින් රජය සතු කරගන්නට අණ පනත් ගෙන එන්නෙ නම් ජනතාව ඒ සමගය.

* රාජ්‍ය ආයතන කාර්‍යක්ෂම ආයතන බවට පත් කර එම ආයතන වලින් සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාවට අවම පහසුකම් හෝ සපයන්නේ නම් එම තීරණ හමුවේ ජනත එකගය. සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවට වාඩිවන්නට පුටුවක් හෝ හදිසියකට යන්නට වැසිකිළියක් නැති රජ්‍ය ඇති ආයතන තවමත් ඇත. පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා තුළින්ද ප්‍රචාරය විය.මෙවැනි කාරණා රාශියක් ඇත.

කල යුතු දේ කිරීම මෙන්ම නොකළ යුතු නොකර සිටීමද වැදගත්‍ ය. කළ යුතු දේ නොකිරීමෙන් සිදුවන හානියට වඩා හානියක් නොකළ යුතු කිරීමෙන් සිදුවේ.

දේශපලනයේ නිරත සියල්ලන් මෙය අවබෝධ කර ගැනීම හොදය. සිදුකල යුතු දේ නොකොට නොකල යුතු දේ සිදුකර අවසානයේ ජනතාවට දොස් නගා පලක් නැත.

එසේම කල යුතු දේ කරන නොකල යුතු දේ නොකරන ජනතාවාදී ආණ්ඩු රැක ගැනීමටද ජනතාව කිසි විටෙක පසුබට වන්නේද නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress