Nano Nitrogen පොහොර
Posted on October 21st, 2021

Charaka Eranda Gamage මුහුණ පොතෙන්

Nano Nitrogen පොහොර දිවයිනට ලැබීමත් සමගම එය යෙදිය යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි පැහැදිලි කිරීමක් අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදු කල යුතුව ඇත. අන්තර්ජාලයේ සිදු කල සොයා බැලීම් වලින් පවා වෙනත් කිසිදු Nitrogen ප්‍රභවයකින් තොරව Nano nitrogen පමණක් භාවිතයෙන් සිදු කල වාණිජ වගාවන් පිළිබද වන පර්‍යේෂණ දත්ත සොයා ගැනීමට නොහැකි විය.

බොහොමයක් විස්තර වල සදහන් වී ඇත්තෙ urea භාවිතා කිරීම 50% අඩු කළ හැකි බව සහ අනෙකුත් සාමාන්‍ය පොහොර සමග වගා කිරීමෙන් ලබා ගත් දත්ත පමණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යාංශය සතු දත්ත වේ නම් ඒව ප්‍රසිද්ධ කිරීම වැදගත් ය. පිළිගත් නිර්නායකයන්ට අනුව ධාන්‍ය ( වී) ටොන් එකක් නිෂ්පාදනය කිරීම සදහා නයිට්‍රජන් ( N) 15-20 kg අවශ්‍ය වේ. පොස්පරස් (P) 2-3 kg සහ පොටෑසියම් ( K). 15-20 kg අවශ්‍ය වේ. පෙර කන්නයේ පිදුරැ කුඹුර පුරා විසිරවීමෙන් පොටෑසියම් අවශ්‍යතාවය 3-5 kg දක්වා අඩු කර ගත හැකිය.

මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ආකාරයට මෙම ආනයනය කරන ලද Nano nitrogen හි අඩංගු N ප්‍රතිශතය 4% බවත් ජලය ලීටර් 120 ක මෙම පොහොර 500 ml දිය කළ හැකි බවත් ( ලීටර් එකක් සදහා 0.004 ml) හෙක්ටයාර් එකක් සදහා ලීටර් 2.5 ක් ප්‍රමාණවත් බවත් සදහන් විය. කාර්‍යක්ෂමතාවය 90% බවත් සදහන් විය. සාමාන්‍ය urea හි කාර්‍යක්ෂමතාවය 50% ආසන්නය. අප රටේ හෙක්ටයාර් එකක සාමාන්‍ය වී අස්වැන්න ටොන් 4.5 ආසන්න අගයකි. එය කෘෂි දේශගුණික කළාප අනුව වෙනස් වේ.

සාමාන්‍ය අගය එලෙස උපකල්පනය කලහොත් හෙක්ටයාර් එකක් සදහා N 67.5-90 kg අවශ්‍ය වේ. වගා කන්නයට පෙර නිවැරදිව පාංශු පරීක්ෂාවක් මගින් මෙම අගය නිවැරදිව තහවුරැ කර ගත හැකිය. නමුත් මෙම ආනයනික N පොහොර වල ඇති N ප්‍රතිශතය අනුව එයින් ලැබෙන්නේ 2.5 l x 4% = 100 ml කි. ආසන්න වශයෙන් 100 g කි. ස්කන්ධ සංස්ථිති නියමයන්ට අනුව පදාර්ථය මැවීමක් සිදුකළ නොහැකි අතර වෙනසකට භාජනය කළ හැකිය.

පරිසරයේ පවතින ස්වභාවික නයිට්‍රජන් චක්‍රයට අනුව පසට සැලකිය යුතු නයිට්‍රජන් ප්‍රමාණයක් එකතු වුවද නයිට්‍රීහරණ ( denitrification) ක්‍රියාවලිය හරහා සැලකිය යුතු ප්‍රමාණයක් නැවත නයිට්‍රජන් (N2) ලෙස වායුගෝලයට එකතු වේ. එය ස්වභාවික චක්‍රයකි. අපට නවතාලිය නොහැකිය. පසේ සහ රනිල කුළයෙ ශාඛ වල මූල ගැටිති වල සිටින නයිට්‍රජන් තිරකරන බැක්ටීරියා ( Nitrogen fixing bacteria) මගින් පසට එකතු වන නයිට්‍රජන් සහ ශාඛ සහ සතුන් වියෝජනය හරහා පසට ලැබෙන නයිට්‍රජන්ද සතුන්ගේ මුත්‍රා ( Urine) තුළින් පසට ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණයද අප විසින් බාහිරින් පසට එකතු කරන නයිට්‍රජන් වලින් කොටසක්ද මෙම ස්වභාවික චක්‍රයට එකතු වේ.

මෙම සියලු විද්‍යාත්මක කරැණු හමුවේ මෙම නිර්දේශිත Nano Nitrogen පොහොර මගින් ශාඛයේ වර්ධනයට සහ නිසි විභව අස්වැන්න ලබා දීමට තරම් පෝෂණයක් ශාඛයට ලැබෙන බවට වන නිසි තහවුරැ කිරීමක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඉතාමත් ඉක්මනින් සිදු කළ යුතුය. ගත් ක්‍රියාමාර්ගයේ අඩුපාඩු පවතින බව හදුනාගෙන ඇති මොහොතක තව දුරටත් අඳුරේ අතපතගාමින් නොසිට ඉතා කඩිනමින් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කටයුත්තකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress