දියර පොහොර ආනයන ගනුදෙනුව පිටුපස සිටින වංචනිකයන් හෙළි කළ යුතුයි
Posted on October 24th, 2021

නිර්මාණි ගුණරත්න උපුටාගැණීම  මව්බිම

ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වමින් බරපතළ වංචාවකට මඟ විවර කොට ඇති බවත්  අදාළ ගෙන්වීම සිදුකොට ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික පදනමකින් හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් නොවන බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

හතු පිපෙන්නා සේ හදිසියේ මතු වූ ආයතනයකට මේ රටේ බදු ගෙවන්නන්ගේ සහ අහිංසක ජනතාවගේ මුදල් රුපියල් කෝටි 29ක් වංචා සහගත ලෙස යොදවමින් නැනෝ දියර ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයිද විපක්ෂ නායකවරයා පැවැසීය. 

මේ මහා වංචාව පිළිබඳව වහාම අපක්ෂපාතී ලෙස විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා මේ පිටුපස සිටින වංචනිකයන් හෙළිදරව් කළයුතු අතර  ජනතාවගේ මුදල් සමඟ මේ කරන සෙල්ලම නතර කළ යුතු බවද ඔහු පැවැසීය.

මේ රටේ ජනතාව ලබාදුන් ඡන්දයේ වටිනාකම ආණ්ඩුව විසින් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත් දැන් ආණ්ඩුවේම මැති ඇමතිවරුන් ජනතාවට ඔච්චම් කරන තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු කීය.

රටපුරා පවතින ජනතාවගේ උද්ඝෝෂණ දේශපාලන උසිගැන්වීම්වල ප්‍රතිඵල නොවන අතර ජනතාවට යනඑනමං නැති කළ ආණ්ඩුව කෙරෙහි රටපුරා ජනතාව උරණ වී ඇතැයිද විපක්ෂ නායකවරයා තිස්සමහාරාමයේ, බඳගිරිය ප්‍රදේශයේ පැවැති ‘ගොවි හදගැස්ම’ වැඩසටහනේදී මෙසේ අවධාරණය කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress