පොහොර ගැටලුව නිසා ”අස්වනු අඩු වුණොත් වන්දි ගෙවන්නේ අම්මා, අප්පාගේ බූදලෙන් ද?’
Posted on October 28th, 2021

තාරක සම්මාන්ම ව්බිම දැන්

කාබනික පොහොර භාවිත කර ගොවිතැන් කටයුතු කිරීමෙන් අස්වනුවල කිසියම් අඩුවක් සිදු වුවහොත් ඒ සඳහා ගොවීන්ට වන්දි මුදල් ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එය ”බොරුවක්” බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසයි.

mawbima.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසී ය.

එය ගොවීන් පිළිනොගන්නා බවත් විශ්වාස නොකරන බවත් ඔහු එහිදී අවධාරණය කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, අද (ඔක්. 28) හම්බන්තොට පැවති උද්ඝෝෂණය අතරතුර මේ පිළිබඳව දැන ගත් අවස්ථාවේදී ගොවීන් ඊට සිය විරෝධය පළ කළ බව ය.

”බොරුවක් වෙන්න හේතු දෙකක්…”

රජය පසුගිය කන්න හතරක් සඳහා ගොවීන්ට වගා වන්දි ගෙවා නොමැති බව නාමල් කරුණාරත්න මහතා පැවසී ය. 

ඔහු සඳහන් කළේ, ඉකුත් දා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ තමන් සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී තමා මේ බව මතු කළ බවත් එහිදී අමාත්‍යවරයා එය පිළිගෙන සති දෙකක් ඇතුළත එම වන්දි ගෙවන බවට පොරොන්දු වූ බවත් ය.

කෙසේ වෙතත්, එම වන්දි මුදල් මෙතෙක් ගෙවා නොමැති බව කරුණාරත්න මහතා පැවසී  ය.

“පහුගිය කන්න හතරක් ගොවියාට වගා වන්දි ගෙවලා නැහැ. ගිය අවුරුද්දේ යල-මහ දෙක ම. මේ අවුරුද්දේ යල-මහ දෙක ම.  එතකොට ගොවියාගේ නිල වශයෙන් ලැබෙන්න තියෙන වගා වන්දි මුදල්, ඒක ගෙවලා නැහැ. ඔන්න එකක්.”

නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ, සේනා දළඹු උවදුරෙන් හානි වූ බඩ ඉරිඟු සඳහා ගොවීන්ට ගෙවිය යුතු වන්දි මුදල් පවා මේ වන තෙක් ගෙවා නොමැති බව ය.

“සේනා දළඹුවාගෙන් හානි වෙච්ච බඩ ඉරිඟු ගොවියාට  එයාට ලැබෙන්න තියෙන එයාට හිමි මුදල අම්පාර දිස්ත්‍රික්කයේ විතරක් ගෙවලා නෑ, කෝටි තිස්තුන හමාරක්. මොනරාගල දිස්ත්‍රික්කයේ ගෙවලා නෑ කෝටි 16ක්. ඒක ගිය ආණ්ඩුව ගෙව්වෙත් නෑ, මේ ආණ්ඩුව ගෙව්වෙත් නෑ. එතකොට ගොවියාට පොලු තියලා තියෙන්නේ.”

”හොඳ ම කතාව…”

වගා හානි සඳහා ගොවීන්ට කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් ලැබිය යුතු වන්දි පවා අවුරුදු ගණනකින් ගෙවා නොමැති බව නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ ය. ඔහු සඳහන් කළේ, ඒ අතර ලොකු ළූණු ගොවීන්, බඩ ඉරිඟු ගොවීන්, අර්තාපල් ගොවීන් සහ සෝයා ගොවීන් සිටින බව ය.

“ගොවියෙක් ණය ගන්නකොට, එයාලට බැංකුවකින් උපරිම ලක්ෂ දෙකයි දෙන්නේ. ලක්ෂ දෙකක් ණය දුන්න ම ගොවියාගෙන් රුපියල් රුපියල් 16,000ක් කපනවා බැංකුව. කපපු මුදලයි ඔක්කෝ ම අපහු ගොවියා ගෙවන්න ඕනේ පොළියත් එක්ක. එතකොට 16,000ක් අඩුවෙන් තමයි හම්බවෙන්නේ ලක්ෂ දෙකෙන්. එතකොට ඒ කපන මුදල බැංකුව විසින්, කෘෂි රක්ෂණ මණ්ඩලයට යොමු කරනවා. යොමු කරලා ගොවියා, කෘෂි රක්ෂණ මණ්ඩලයේ බැංකුවත් සම්බන්ධ වෙලා රක්ෂණය කරනවා. බැංකුව ගොවියාගෙන් ඒ සල්ලි කපන්නේ, ගොවියාගෙන් ඒ සල්ලි ගන්න බැරි වුණොත් වගාව පාඩුවෙලා පඩියෙන් කපන්න බැහැනේ. ඇප කාරයෝ ඒ මොකක්වත් නැහැනේ. ඒ නිසා ඇප කාරයා තමයි කෘෂි රක්ෂණ මණ්ඩලය. 

එතකොට කෘෂි රක්ෂණ මණ්ඩලය බැඳිලා ඉන්නවා ගොවීන්ගේ ඒ ණයෙන් 50%ක පංගුවක් ගෙවන්න. ඉතුරු එක ගොවියා ගෙවන්න ඕනේ. ඊට පස්සේ වගාව හානි වුණොත් එහෙම, කෘෂි රක්ෂණ මණ්ඩලය බැඳිලා ඉන්නවා ගොවියාට වන්දි ගෙවන්න. එතකොට කෘෂි රක්ෂණ මණ්ඩලය බැංකුවට ණයෙනුත් කොටසක් ගෙවන්න ඕන. ගොවියාට වන්දි ගෙවන්නත් ඕන. මොක ද ගොවියා එයාගේ අතින් සල්ලි ගෙවලා තමයි රක්ෂණය වෙලා ඉන්නේ. එහෙම ගොවීන්ටත් ගෙවලා නෑ. අවුරුදු ගාණක් ගෙවලා නෑ. ලොකු ළූණු ගොවියෝ, බඩ ඉරිඟු ගොවියෝ, අර්තාපල් ගොවියෝ, සෝයා ගොවියෝ එහෙම ඉන්නවා.”

අසාධාරණයක්…      

නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ, අදාළ ණය ගෙවීමේදී ගොවීන් ඔවුන්ගේ කොටස පියවීමට කටයුතු කළ ද රජය පාර්ශවයෙන් ගෙවිය යුතු කොටස රජය පියවීමට කටයුතු නොකරන බව ය.

ඒ හේතුවෙන්, ගොවීන්ට නැවත බැංකුවලින් ණය ලබා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු පැවසී ය.

“බැංකුවට ගොවියා ගෙවන්න ඕනේ පංගුව ගොවියා ගෙවලා තියෙනවා. හැබැයි රජයෙන් ගෙවන්න ඕනේ පංගුව රජය ගෙවන්නේ නෑ බැංකුවට. එතකොට ඒ ගොවියාට ආයේ ආපහු බැංකුවෙන් ණය ගන්න බෑ. ඒක ලොකු අසාධාරණයක් නේ. 

ඒවටත් වන්දි නොගෙවන පාලකයෝ දැන් මේ කට වචනෙන් කියනවා, ගොවියාට වන්දි ගෙවනවා කියලා. ඒක ගොවියා කිසිසේත් ම පිළිගන්න සූදානම් නැහැ.” 

”වන්දි ගෙවන්නේ අම්මා, අප්පාගේ බූදල්වලින් නෙවෙයි…”

නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේ, කාබනික පොහොර භාවිත කර ගොවිතැන් කටයුතු කිරීමෙන් අස්වනුවල සිදුවන අඩුව සඳහා රජය වන්දි ගෙවන්නේ ඔවුන්ගේ මුදල්වලින් නොවන බව ය. එසේ ගෙවනවා නම් එම මුදල් කිනම් ආකාරයකට ලබා ගත් මුදල් ද? එසේ නැති නම් මුද්‍රණය කරන ලද මුදල් ද? යන වග හෙළි කළ යුතු බව ය.

“දැන් මේ ගෙවනවා  කියන්නේ, මෙයාලගේ අම්මා අප්පාගේ බූදලයෙන් ගෙවනවා නෙවෙයි නේ. අතින් සල්ලි වියදම් කරලා ගෙවනවා නෙවෙයි නේ. එහෙනම් ඒ සල්ලි කොහෙන් ද? ආයේ සල්ලි අච්චු ගහලා ද ගෙවන්නේ? එහෙම ප්‍රශ්නත් මතු වෙනවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress