VOG ඇන්දීම
Posted on November 15th, 2021

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

1997 කාලයේ මම මීගමුව දිස්ත්‍රික් රෝහලේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී – නාරි හා ප්‍රසව ( SHO Gyn and OBS) ලෙස සේවය කලෙමි. මාගේ විශේසඥ වෛද්‍යවරයා වූයේ VOG අජිත් සේමසිංහ මහතාය. ඒ කාලයේ සතියට දින 6 ක් නයිට් ඩියුටි කිරීමට මට පැවරී තිබුනි.

එක් දිනක් සවස 7 පමණ ලේබර් රූම් එකේ සිටියේ එක්ම එක් මවකි. ඇය පරික්‍ෂා කල විට (OS) සෙන්ටිමීටර් 4 පමණව තිබුනි. එසේම එතරම් ප්‍රසව වේදනාවද නැත. වාට්ටු දෙකම සන්සුන් ය. ලේබර් රූම් එකේ සිටියේ ගුණපාල මිස්‍ ය. ඇය අත්දැකීම් බහුල හෙදියකි. මේ නිසා බිය වීමට දෙයක් තිබුනේ නැත.

සවස 7.45 වන තෙක් වාට්ටුවල කරක් ගසා මම රාත්‍රී ආහාරය සඳහා යන බව ගුණපාල මිස්‍ට කියා නිල නිවාසය දෙසට ගියෙමි. රාත්‍රී කෑම සඳහා බොහෝ විට අප ගියේ රෝහල ඉදිරිපිට ඇති හොටෙල් ඩී බඩසුද්ද නම් හෝටලයටය. ඒ කාලයේ අප නිතරම කෑවේ කොත්තුය. මේ නිසා නිවසට ගොස් හෝම් කුක්ඩ් ආහාර වේලක අවශ්‍යතාව දැනුනි.

ඒ කාලයේ මා සිටියේ කඳානේය. වාට්ටුවේද ගින්නක් නැත. ඒ නිසා මම මාගේ වාහනයේ නැගී මීගමුවේ සිට කඳානට වේගයෙන් ගියෙමි. ගෙදර ගොස් බත් කටවල් දෙකක් වත් කෑමට ඉඩ නොලැබුනි. මාගේ සෙල් එකට විශේසඥ වෛද්‍ය සේමසිංහ මහතා ගෙන් කෝල් එකක් ආවේය.

” රුවන් කොහොමද ලේබර් රූම් එක ? සර් ඇසුවේය. මම ඉක්මනින් කට සෝදාගෙන “සර් මොකුත් ප්‍රශ්නයක් නෑ එක ලෙඩයි ඉන්නේ” කියා කීවෙමි. දැන් කෝච්චරක් ඩයිලේට් වෙලාද ? කියා වෛද්‍ය සේමසිංහ මහතා ඇසුවේය. දැන් කේස් ය. මා ඉන්නේ කඳානේ කියා සර්ට කිව නොහැක. “මම ඉන්න සර්” කියා සෙල් එක පැත්තකින් තියා තව බත් කටවල් දෙකක් ඉක්මනින් කා , කට සෝදාගෙන සර් ෆයිව් සෙන්ටිමීටර් වගේ තියෙන්නේ එච්චර පේන් එකකුත් නෑ මම ASM.කරන්නද ? කියා ඇසුවෙමි ( දැන් මම රඟපාන්නේ මා සිටින්නේ ලේබර් රූම් එකේ ඉන්න ලෙසටය).

අජිත් සේමසිංහ මහතා මොහොතක් කල්පනා කොට ” පොඩ්ඩක් ගුනපාල මිස්ට කතා කරන්න ” කියා කීවේය. දැන් මට ඇපත් නැත. මම වහාම දුරකතනය විසන් දි කොට පවනට බඳු වේගයෙන් මීගමුව රෝහලට ගියෙමි. ලෙඩා තවමත් ලේබර් රූම් එකේය. තත්වය සන්සුන් ය.

පසු දින VOG අජිත් සේමසිංහ මහතා වෝඩ් රවුන්ඩ් එන විට මගේ රඟපෑමට ඩෝස් එකක් ලැබෙන බව මගේ සිත කීවේය. එහෙත් අජිත් සේමසිංහ මහතා කිසිවක් නොකියා වෝඩ් රවුන්ඩ් එක කලේය. මා කට්ටි පැන්න බව එතුමා හොඳින්ම දැන සිටියද කේස් එකක් ඇද්දේ නැත.

විශේසඥ වෛද්‍ය අජිත් සේමසිංහ මහතා මට හමුවූ වෛද්‍යවරුන් ගෙන් ඉතා දක්‍ෂ මෙන්ම මානුෂික ගති තිබූ වෛද්‍යවරයෙකි. නිහතමානී පුද්ගලයෙකු වූ එතුමා අපට අනවශ්‍ය ලෙස පීඩනයක් දැම්මේ නැත. එතුමා සමග සේවය කිරීමට ලැබීම ජීවිතයේ ලැබූ අනගි අත් දැකීමකි. ආතතියට පත් නොවී සීසර් වැනි ශල්‍යකර්ම කිරීම මා ඉගන ගත්තේ එතුමාගෙනි.

එතුමා මගේ මුහුණු පොතේ සිටින අතර මේ සටහන කියවනු නිසැකය. ඒ නිසා 1997 වැනි කාලයක එතුමාව ඇන්දීමට තැත් කිරීම ගැන මා සමාව අයදිමි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress