”දිවයින පුරා විදුලිය බිඳ වැටුණේ හිතාමතා කළ ක්‍රියාවක් නිසා” – ලංවිම සභාපති
Posted on December 3rd, 2021
මව්බිම දැන්

දිවයින පුරා අද (දෙසැ. 3) විදුලිය බිඳ වැටුණේ ”එක් සංගමයක සීමිත කොටසක් හිතාමතා කළ වෘත්තීය නොවන ක්‍රියාමාර්ගයක්” හේතුවෙන් බව විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.
විදුලි බිඳ වැටීම පිළිබඳ mawbima.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ සභාපතිවරයා ප්‍රකාශ කළේ, එය නීති විරෝධී ක්‍රියාවක් බව ය.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සවස් 4.30න් පසුව ක්‍රියාත්මක කරන බව පැවසුව ද පෙරවරු 11.00ට විදුලිය විසන්ධි කරන්නේ කෙසේ දැයි සභාපතිවරයා ප්‍රශ්න කළේ ය.
“එක සංගමයක සීමිත කොටසක් හිතා මතා කරපු වෘත්තීය නොවන ක්‍රියාමාර්ගයක් නිසයි මේක ඇති වුණේ. දැන් ඒක යථා තත්ත්වයට පත් කළත් නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම නිසා මෙගාවොට් 900ක් අඩුවීම නිසා අතුරු ප්‍රතිඵලයකටයි දැන් මුහුණ දෙන්නේ.
වෘත්තීය ක්‍රියාමාර්ගයක් නෙවෙයි මේක. වෘත්තීය ක්‍රියාමාර්ගය තියෙන්නේ සවස 4.30න් පස්සේ. දවල් කොහොම ද විදුලිය විසන්ධි කරන්නේ. මේක නීති විරෝධී ක්‍රියාවක්.”
විදුලි සැපයුම විසන්ධි වුව ද පැයක් ඇතුළත එය යථා තත්ත්වයට පත් කළ හැකිව තිබුණු බව සභාපතිවරයා සඳහන් කළේ ය.
“දැන් විදුලිය පද්ධතියට දීගෙන යනවා දහවල් 12.00 ඉඳගෙන ම. ටික ටික දානවා. හැබැයි ඒක බොහෝ ම හෙමින් තමයි කරන්නේ. මොක ද මේ වෘත්තීය සටන නීත්‍යානුකූල නොවුණත් ඒකෙ අර ආකල්පය උඩ ඉඳගෙන. නැත්නම් මේක පැයෙන් දාන්න තිබුණා. සිස්ටම් එක එනර්ජයිස් කළාට ලෝඩ් කළේ නැහැ මේ ගොල්ලෝ. ලෝඩ් කළේ හවස 4.00 වෙනකොට මෙගාවොට් 500ක් කළා. ඊට පස්සේ 6.00 වෙනකොට මෙගාවොට් 1000ක් දාලා එහෙම තමයි ආවේ. දැන් දාන්න ගියා ම ඉන්ජිනේරුවෝ පොත් බල බල තමයි බල්න්නේ. එහෙම වෙන්නේ නෑනේ. යුනිවර්සිටි කාලේ නෙවෙයි.”
හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි බලාගාර ත්‍රිත්වය ම අක්‍රිය වී ඇති බව ත් එම බලාගාර යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 2ක් පමණ ගත වනු ඇති බව ත් සභාපතිවරයා පැවසී ය.
ඔහු පෙන්වා දුන්නේ, එමගින් මෙගාවොට් 900ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවී ඇති බැවින් දින දෙකක් යන තුරු රාත්‍රී 10.00න් පසු විදුලිය සැපයුමට බාධා එල්ලවිය හැකි බව ය.
ඒ හේතුවෙන්, ඇතැම් පළාත්වලට නොදැනුවත්ව විදුලිය විසන්ධි විය හැකි බව ඔහු පැවසීය.
සභාපතිවරයා පෙන්වා දුන්නේ, රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2,600ක් පමණ වන බව ත් එවැනි අවස්ථාවක මෙගාවොට් 900ක් පද්ධතියෙන් අහිමිවීම දරා ගත නොහැකි අඩුවක් බව ත් ය.
“ඒ හින්දා ම මේ ගොල්ලන්ට විදුලිය පංගුවක් පළාත්වල නොදැනුවත්ව කපනවා. කැපීම තුළින් අර ලෝඩ් එක බැලන්ස් කරගන්නවා. ඒක තමයි මේ වෙන්නේ. ඕක දවස් දෙකක් විතර යනකම් ලෝඩ් එක බැලන්ස් වෙනවා. 100%ක් විදුලිය දැම්මට පද්ධතියෙන් එවන්න මෙගාවොට් ප්‍රමාණය නැහැ. ලෝඩ් කරන්න ප්‍රමාණය මදිවෙලා තියෙන්නේ. එවැනි වෙලාවට වෙන පද්ධතියකින් කපලා ටිකක් ඒක සේව් කරනවා.”
සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ය.