ග්‍රාමීය අඩු අදායම්ලාභීන් වෙනුවෙන් 2024 වර්ෂය වනවිට නිවාස 71,110ක් ඉදිවෙනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on December 6th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා ඔබට ගෙයක්-රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ 2024 වර්ෂය වනවිට නිවාස 71,110ක් ඉදිකිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) දින පෙරවරුවේ පැවසීය.

අය-වැය 2022 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

 ගරු කථානායකතුමනි,

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ 4 ක් ක්‍රියාත්මක වෙනවා.

අප මේ වන විට නගර සංවර්ධන සැලසුම් 21 ක් අවසන් කරලා තියනවා. තවත් නගර සැළසුම් 52ක් අවසන් කරමින් සිටිනවා. ඒ වගේම 2024 වර්ෂය වන විට තවත් නගර සංවර්ධන සැළසුම් 136 සකස් කිරීමට අපේක්ෂා කරනවා.

පසුබට නගර සංවර්ධනය කිරීම හා අලංකරණය කිරීම වෙනුවෙන් හඳුන්වා දුන් සියක් නගර” ව්‍යාපෘතිය යටතේ නගර 117ක් අලංකරණය සඳහා තෝරා ගෙන තිබෙනවා. 2022 වර්ෂයේදී තවත් නගර 100ක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට සැළසුම් කරලා තියෙනවා.

නාගරික වාහන තදබදයට විසඳුම් ලෙස රථගාල් ව්‍යාපෘති 12ක්  ඉදිකිරීමට ද සැළසුම් කරලා තියෙනවා.

 ගරු කථානායකතුමනි,

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවුලකට ම සුවපහසු නිවසක් ලබා දීම රජයේ අරමුණයි. මේ යටතේ නාගරික, ග්‍රාමීය, වතු සහ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස ඉදිකරනවා.

නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50,000ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව, මේ වන විට නිවාස ඒකක 14,083ක ඉදිකිරීම් අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරලා තියෙනවා.

ඒ අනුව 2024 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් ජනාවාස නවීන මහල් නිවාස සංකීර්ණ බවට පත් කිරීම රජයේ අරමුණයි.

මධ්‍යම පාන්තිකයින් සඳහා නිවාස ඒකක 1108ක් 2021 වර්ෂයේදී ප්‍ර‍තිලාභී අයිතියට ලබා දීමට කටයුතු කළා. තවත් මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති 13ක් මඟින් නිවාස ඒකක  6128 ක් ඉදි කිරීමට සැළසුම් කරලා තියෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම නිවාස ව්‍යාපෘති වලට සමගාමීව, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ද  මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති 3ක ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත බව ප්‍රකාශ කරන්න ඕනෙ. එමගින් සැපයෙන නිවාස ඒකක සංඛ්‍යාව 928කි.

එසේම මෙම මහල් නිවාස ඉදිකිරීමට සමගාමීව, ඒවා විධිමත්ව හා ඵලදායීව නියාමනය කිරීමද වැදගත්. ඒ සදහාද කටයුතු කරලා තියෙන බවත් ප්‍රකාශ කළ  යුතුයි.

ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටළුව විසඳීම සඳහා ඔබට ගෙයක්-රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ සෑම වසරකම දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14022 ආවරණය වන පරිදි එක ගමකට එක් ගෙයක් බැගින් ඉදිවෙනවා. 2024 වර්ෂය වන විට මෙම වැඩසටහන මගින් ඉදිකිරීමට නියමිත මුළු නිවාස සංඛ්‍යාව 71110ක්.

එමෙන්ම සියපත මහල් නිවාස” ව්‍යාපෘතිය යටතේ සෑම මැතිවරණ බල ප්‍රදේශයකටම නිවාස ඒකක 100කින් යුත් මහල් නිවාස ව්‍යාපෘතියක් බැගින් ඉදිකිරීමට නියමිතයි. දැනට සියපත නිවාස ව්‍යාපෘති 3ක ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 6000ක් ඉදිකිරීමට සැලසුම් කරලා ඉදිකිරීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා.

වතු ප්‍ර‍ජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ඉන්දියානු රජයේ ආධාර යටතේ නිවාස 4000ක් ඉදිකිරීමේ සහ යටිතල පහසුකම් සැපයීමේ වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට හැකිවෙලා තියනවා.

2022 වර්ෂයේ සිට වතු ප්‍ර‍ජාව සඳහා නිවාස 10,000ක් ඉදිකිරීමේ ඉන්දියානු ආධාර වැඩසටහනද ආරම්භ කෙරෙන බව සතුටින් ප්‍රකාශ කරන්න ඕනේ. 

ඒ වගේම භික්ෂූන් වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් ආරම්භ කළ මිහිදු නිවහන” නිවාස වැඩසටහන යටතේ නිවාස 2000ක් ඉදි කිරීමට සැළසුම් කරලා තියනවා. මෙම වැඩසටහන ද සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව කියන්න ඕනේ.

ඉදිරියට අපේක්ෂා කරන සංචාරක කර්මාන්තයේ පිබිදීම වෙනුවෙන් අවශ්‍ය වෙරළ සංරක්ෂණ සහ වෙරළ උද්‍යාන සංවර්ධනයටත් පියවර ගනිමින් සිටිනවා.

එමෙන්ම, දිවයින වටා සමුද්‍රීය පරිසරයට සිදුවන හානි වළක්වා ගැනීමටත් අප නිරන්තර අවධානය යොමු කර සිටින බවත් ප්‍රකාශ කරන්න ඕනේ.

බස්නාහිර පලාතේ ගංවතුර පාලනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉටු කරමින් පවතිනවා. එම ව්‍යාපෘති සම්පූර්ණ කිරීමත් සමග බස්නාහිර පළාතේ ගංවතුර තර්ජනය විශාල වශයෙන් අඩු වී යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

 ගරු කථානායකතුමනි,

ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සමස්ත ලෝකයම පසුගාමී තත්ත්වයකට පත්වෙමින් තිබියදී පවා, නාගරික සංවර්ධන, නිවාස ඇතුළු අප අමාත්‍යංශ විෂයට අදාළ සංවර්ධන කටයුතු ඉටු කිරීමට හැකිවූ බව අපගේ විශ්වාසයයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress