පුද්ගලික අංශයට අවශ්‍යය තරම් රසායනික පොහොර ආනයනයට අවසර දුන්නද සමාගම් රසායනික පොහොර ගෙන්වීමට මැලිකමක් දක්වයි
Posted on December 14th, 2021

තිසර සමල් – අනුරාධපුර

පුද්ගලික අංශයට අවශ්‍යය තරම් රසායනික පොහොර ආනයනයට අවසර දුන්නද, පොහොර වල මිල මේ වන විට පස්ගුණයින් පමණ ඉහළ යාම හේතුවෙන් පොහොර ආනයනය කර  විකුණාගත නොහැකි වේයැයි බියෙන් සමාගම් රසායනික පොහොර ගෙන්වීමට මැලිකමක් දක්වන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර තිරප්පනය, උලන්කුළම ගොවි සංවිධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ජාවකදීය.මෙම සාකච්ජාව උලංකුළම මරණාධාර සමිති ශාලාවේදී පැවැත්විණි.

එහිදී ගොවි නියෝජිතයන් අමාත්‍යයවරයාට කරුණු දක්වමින් කියා සිටියේ,

තිරප්පනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ බඩඉරඟු වගාවට ඔබතුමාගේ මැදිහත්වීම තුළ යම්කිසි ප්‍රමාණයක් යූරියා පොහොර ලබා දීම සිදු වෙලා තියෙනවා.නමුත් අපේ ගොවි සංවිධානයේ දැනට මුදල් බැඳලා ඉන්න ගොවිමහතුන් සඳහා තවමත් පොහොර ලැබිලා නෑ. මරදන්කඩවල ගොවි ජන සේවා කාර්යාලයට අපි තමා මුලින්ම මුදල් බැන්දේ, ගොවින් 38 දෙනෙකුගේ ලේඛණයකින් රුපියල් එක් ලක්ෂ තිස් අටදහසක පමණ මුදලක් බැඳලා තියෙනවා.ඒ ලේඛණයේ පිටපතක් ඔබතුමන්ට ලබා දෙන්නම්.එම මුදල් පොහොර සමාගම් වලට බැඳලා තියෙනවා, නමුත් තවමත් පොහොර අපිට ලැබී නෑ.අක්කරයකට පොහොර කිලෝ 24 යි ලැබෙනවා කියන්නේ, අක්කර 02-03 ක් කළත් රජය ගත්ත ප්‍රථිපත්තිය නිසා අක්කරයකට පොහොර කිලෝ 24 ක් ගැනිම සඳහා අක්කර 02 ක් කරන අයෙකුට රුපියල් 6500 ක් බැඳලා තියෙනවා.නමුත් ඒ අයට අද වන තුරු පොහොර ලැබිලා නෑ.ඔබතුමන්ගේ මැදිහත්වීම තුළ මේ පොහොර ටික ලබා දෙන්න කටයුතු කරනු ඇතැයි උලන්කුළම ගොවි සංවිධානයේ සියලු දෙනා වෙනුවෙන් කාරුණිකාව ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,

පොහොර ටික මේ වන විට පුද්ගලික සමාගමක් සතුව තියෙන්නේ,මේ ටික රජයේ සහනාධාර පොහොර විදිහට තමයි ගෙන ආවේ.ඒ සමාගම කියනවා දවසකට ඒ අයට එළියට දාන්න පුලුවන් මෙට්ට්‍රික් ටොන් 100 ක් විතරයිලු.මොකද ඒ සියලුම පොහොර උර මාරු කරන්න ඕන කියනවා. රජයේ සහනාධාර පොහොර කියන උරය අයින් කරන්න ඕන කියලා.හැබැයි පොහොර ලේකම් කාර්යාලයේ ලේකම්තුමා වගකීම භාර ගත්තා සහනාධාර පොහොර කියලා තිබුණට මේක කමක් නෑ, අපි හැමෝම දැනගෙන කරන වැඩක් නේ මේක.අපි කණගාටු වෙනවා හැබැයි ඉතින් තාම අදාළ නිළධාරීන්ට බැරි වෙලා තියෙනවා මේ පුද්ගලික අංශයේ තියෙන පොහොර ටික අරගෙන හරියට බෙදාලා දෙන්න.මම ගිය සතියෙත් රණ්ඩු කර ගත්තා.මොකද මේ වෙලාවේ මේ ටික අපිට ලැබුණේ නැත්නම් වැඩක් නෑනේ.අපි මේ ටික වෙන් කර ගත්තේ ගොඩක් අමාරුවෙන්.වෙන් කර ගත්ත ටික නියම වෙලාවට ගෙන්න ගත්තේ නැත්නම් කිසිම තේරුමක් නෑ.මං ගිය සතියේ ඇමතිවරු දෙන්නටම කිව්වා, ලේකම්ලට කථා කලා, පොහොර ලේකම් කාර්යාලයට කථා කලා, හැමෝටම කථා කරලා තමයි ඔය විදිහට හරි පොහොර ටික එන්නේ.

එහිදී අදහස් දැක්වූ ගෙවිලියක කියා සිටියේ,

ඔබතුමා ටී.වී එකේ කථා කරපු වෙලාවේ හිතට ලොකු හයියක් ආවා, ඇමතිතුමා අපිට සහනයක් ලබා දෙයි කියලා.මේ ගොවි ජනතාව අතේ-කණේ-කරේ බඩු හෙට්ටිකඩ වලට උකස් කරලා තමයි පොහොර වලට සල්ලි බැන්දේ,දැන් බඩඉරඟු ගස් පීදෙන මට්ටමට ඇවිත් කිසිම පොහොරක් නෑ,ගොඩක් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ.අපි කඩා වැටිලා හිටියේ ගොඩක්, ඔබතුමා ටී.වී එකේ කථා කරන කොට ලොකු හයියක් ආවා අපිට, නැවත අපි නැගී සිටිනවා කියලා.අපිට කොහොම හරි පොහොර ටිකක් අරන් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ යනුවෙනි.

ඊට පිළිතුරු දුන් අමාත්‍යයතුමන්,

හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම සල්ලි බැඳලා තියෙනවා.හැබැයි දවසකට මෙට්ට්‍රික් ටොන් 100 යි එන්නේ.ඒ 100 තමයි මෙහෙන් බෙදලා යවන්නේ.වෙනදා ආණ්ඩුවෙන් කරනවා වගේ එක පාර ඔක්කොම ගෙනත් බෙදලා දෙන්නේ නෑ,අරගොල්ල යම් ප්‍රමාණයක් තමයි නිදහස් කරන්නේ.මම ආණ්ඩුවේ අයගෙන් ඉල්ලුවේ ඉක්මනට මේ ටික බෙදුවේ නැත්නම් තේරුමක් නෑ යනුවෙනි.

ගොවි සංවිධාන නියෝජිතයන් අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ,

අපේ ගමේ එක බිම් අඟලක්වත් අත්හැරලා නෑ, අක්කර 200 ක් විතර වී වගා කරලා තියෙනවා.දැන් ඔක්කෝටම පොහොර නෑ,එක එක්කෙනා පොහොර කියලා දාන්නේ ඩොලමයිට්, අපිට නැනෝ නයිට්‍රජන්වත් හම්බුනේ නෑ, දියර පොහොර එක ගහන්න බෑ ඒක වස ගඳ,ඒ දියර පොහොර දීලා ආපහු කෑන් එකත් ඉල්ලනවා.ඒක ගහන්නත් බෑ හරි ගඳයි.කොහෙදෝ තියන කුණු ජරාව ගෙනත් අපිට දෙනවා.ඇත්තටම මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ.ඒ දියර පොහොර ගහලා ගෙදර ඉන්න බෑ ඒ මනුස්සයාට එලියේ ඉන්න ඕන.වස ගඳ, අප්‍රේල් මාසේ වෙන කොට අස්වැන්න 10% ක්වත් තියෙයිද කියන්න බෑ.රජයේ පොහොර දැන් තැන් තැන් වල රුපියල් 14000 ට විතරත් විකුණනවා.අපිට මුදලට හරි කමක් නෑ, පොහොර ටික දෙන්න යනුවෙනි.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

පුද්ගලික අංශයට අවශ්‍යය තරම් රසායනික පොහොර ගේන්න අවසර දීලා තියෙනවා.නමුත් කවුරුත් පොහොර ගේන්නේ නෑ, පොහොර වල මිල දැන් පස් ගුණයක් විතර වැඩි වෙලා තියෙනවා.ගෙනල්ලා මේ ගානට විකුණ ගන්න බැරි වෙයි කියන ප්‍රශ්නයත් එක්ක, ආණ්ඩුවෙන් නිදහස් කරලා දුන්නට ඕන තරම් පොහොර ගේන්න කියලා කවුරුත් ගේන්නේ නෑ.ඒකයි තියෙන ප්‍රශ්නය.බඩඉරඟු ටිකට අවශ්‍යය යූරියා පොහොර ටිකයි, වී වලට නැනෝ නයිට්‍රජන් ටිකත් ඉක්මනින් ගෙන්නලා දෙන්නම්  යැයිද ගොවීට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පොරොන්දු විය.

ගොවීන් ඊට සතුට පළ කරමින් අත්පොලසන් ලබා දුන්හ.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යය සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් හා දේශපාලන නියෝජිතයන්, ගොවි සංවිධාන නිළධාරීන් ඇතුළු ගොවි ගෙවිලියන් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress