ඩයස්පෝරාවට දුවන්න බැට දුන් ලන්ඩන් සිංහයා
Posted on December 18th, 2021

බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි 

මා ආනන්දයට ඇතුළත් වූයේ ඩග්ලස් වික්‍රමරත්න පාසලෙන් අස්ව ගොස් අවුරුදු හය හතරකට පසුවය. නමුත් එතරම් කල් ගතවීත් ඩග්ලස් ගැන නොදන්නා කිසිවකු අපේ ආනන්දයේ සිටියේ නැත. ආනන්දයේ ඉංග්‍රීසි හා සිංහල විවාද කණ්ඩායම් දෙකේම නායකත්වය දැරූ ඩග්ලස් ගැන ගුරුවරු නිතර වර්ණනා මුඛයෙන් කතා කළේය. ඔය ළමයි ඩග්ලස් වික්‍රමරත්න වගේ සිංහල හා ඉංග්‍රීසියෙන් චතුර ලෙස කතා කරන්න ඉගෙන ගත්තොත් මුළු ලෝකයම ජය ගන්නට ඔයාලට බැරි නැහැ” යි අපට සිංහල ඉගැන්වූ බර්ටි විජේසිංහ ගුරුතුමා නිතර කීවේය.

ඩග්ලස් වික්‍රමරත්න ආනන්දයේ දිලෙන තරුවක් වූයේ වාග් චාතූර්යයෙන් රන් පදක්කමක් දිනූ නිසා පමණක් නොවේ. පාසල් කටයුතු වලට ද අති දක්ෂයකු වූ ඩග්ලස් ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාවල දී එහි මහත් දස්කම් දැක්වූ ශිෂ්‍යයකු වීය.

ඩග්ලස් වික්‍රමරත්න 1962දී බැංකු සේවය සඳහා එංගලන්තයට පැමිණියේය. ඩග්ලස්ගේ බිරිය කුසුම් ඉතා දක්ෂ චිත්‍ර ශිල්පිනියක් හා කලාකාරිනියකි. ඩග්ලස් හා බිරිය කුසුම්ට දරුවන් දෙදෙනෙකි. වැඩිමල් පුතා නවසීලන්ත බැංකු ශාඛාවක කළමනාකාරවර‍යෙක් වන අතර දියණිය බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ ළමා චිකිත්සකවරියක් ලෙස සේවයේ යෙදී සිටියි. ඩග්ලස් වික්‍රමරත්න වසර 25ක් එංගලන්තයේ ලොයිඩ්ස් බැංකුවේ සේවය කළ අතර එහි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රථම ආසියාතික නායකයා ද වීය.

1975 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාව සමඟ තරග කරද්දී දෙමළ බෙදුම්වාදී තරුණයෝ සටන් පුවරු රැගෙන බිග් මැච් මැදට පැන කලබල කළෝය. ඉන්පසු මේ දෙමළ දාමරිකයන් පිරිස ශ්‍රී ලංකා පිලට චියර් කරමින් සිටි ලාංකික සරසවි සිසුන් කිහිපදෙනෙකුට පහර දුන්නහ.

ලන්ඩන් පොලීසිය ගුටි කන සිංහලයන් දෙස බලා සිටියා මිසක් දෙමළ තරුණයන් අත්අඩංගුවට ගත්තේ නැත. මිතුරන් පිරිසක් සමඟ තරගය නරඹමින් සිටි ඩග්ලස් මෙම සිද්ධිය දෙස වේදනාවෙන් හා කෝපයෙන් බලා සිටියේය.

සිංහලයන් වෙන අපි ලන්ඩනයේදී එකමුතු නොවුණහොත් අපට හැමදාම වෙන්නේ දෙමළ බෙදුම්වාදීන් ගෙන් ගුටි කන්නටයි. වහාම අපි අපේම හඬක් ගොඩනඟා ගත යුතුයි. ඩග්ලස් මිතුරන්ට කීය. එක්සත් රාජධානයේ සිංහල සංගමය බිහි වූයේ එසේ ය.

ඒ අවධියේ බටහිර සුද්දන්ට සිංහල සංස්කෘතිය ගැන අබමල් රේණුවක දැනුමක් තිබුණේ නැත. ශ්‍රී ලංකාවට වසර 2500ක් පැරැණි වෙනම සංස්කෘතියක් තිබෙන බව සුද්දන්ට පෙන්වීමට ඩග්ලස් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ කලාකරුවන් වූ නන්දා මාලනී, වික්ටර් රත්නායක, අමරදේව සිසිර, ඉන්ද්‍රානි, ජෝතිපාල, ලතා වල්පොල, සුනිල් එදිරිසිංහ යන අය ලන්ඩනයට ගෙන සංගීත කලා හා නැටුම් සංදර්ශන පැවැත්වීය. ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ඉංග්‍රීසි ජාතිකයන් විශාල වශයෙන් මෙම උත්සව නරඹන්නට පැමිණියෝ ය. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය බෞද්ධ සංස්කෘතිය ගැන හොඳ අවබෝධයක් බටහිර ජාතිකයන්ට ලැබුණේ ඩග්ලස්ගේ මේ ජාති හිතෛෂී ව්‍යාපාරය නිසාය. එසේම ශ්‍රී ලංකාව ගැන දෙමළ බෙදුම්වාදීන් කරන පච ප්‍රචාරවලට පිළිතුරු දීම සඳහා ඇල්ලේ ගුණවංශ, මහාචාර්ය නලින් සිල්වා, ලකී අල්ගම, සිරිල් මැතිව්, දිනේෂ් ගුණවර්ධන වැනි ජාති හිතෛෂීන් වරින්වර එංගලන්තයට ගෙන්වා සාර්ථක රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද ඩග්ලස්ට හැකි වීය.

ඩග්ලස් වික්‍රමරත්න දේශප්‍රේමියා හා සිංහල සංවිධානයට වැඩ වැඩි වූයේ LTTE සංවිධානය බිහිවූ පසුය. ශ්‍රී ලංකාවේ සිංහලයන් අති ම්ලේච්ඡ ජාතියක්ය, යාපනයෙන් පිට සිටින දෙමළ ජනතාව සිංහලයින් විසින් අමු අමුවේ මරා දමන බවටත් කොටි සංවිධානයට හිතැති දෙමළ බෙදුම්වාදීහු ලන්ඩනය පුරා අමූලික අසත්‍ය ප්‍රචාර පතුරවන්නට වීය.

හැත්තෑව හා අසූව දශකයන්හි බ්‍රිතාන්‍යයේ ලංකා මහකොමසාරිස් කාර්යාලයට සේවයට පැමිණි බොහෝ තානාපති නිලධාරීහු බලයේ සිටි පක්ෂයේ දේශපාලන ආධාරකරුවන් හා හෙන්චයියලා වූහ. බිරින්දෑවරුන් හා දරුවන් සමඟ සාප්පු සවාරියේ හෝ විනෝද ගමන් යනවා මිසක් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය රැකගැනීමට කොටින් සමඟ සටනට බැසීමට ඔවුන්ට උවමනාවක් නොතිබුණි. බෙදුම්වාදීන් සමඟ රූපවාහිනි විවාද වලට එළඹෙන ලෙස B.B.C හා I.T.V නාළිකා වලින් ලැබුණු ආරාධනා බියගුල්ලන් ලෙස මඟහැර හැංගී සිටීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය වීය. අපේ වාසනාවට තානාපති නිලධාරීන්ගෙන් රට වෙනුවෙන් සිදුවිය යුතු සේවය හා යුතුකම් ඉටු කිරීම සඳහා ඩග්ලස් වික්‍රමරත්න විරුවා ඉදිරියට පැමිණියේය. බ්‍රිතාන්‍යයේ නොයෙක් විද්යුත් හා අල්ජසීරා ඉදිරියේ දෙමළ ඩයස්පෝරාව සමඟ ඔහු මුහුණට මුහුණ හැපුණේ ය. ආනන්දයේ කථික තරගවලදී ලබාගත් පන්නරයෙන් ඔද වැටුණු ඩග්ලස් කොටි ආධාරකරුවන්ගේ බොරු තර්ක සුනුවිසුනු කරමින් ශ්‍රී ලංකාවේ හා සිංහල ජාතියේ කීර්තිය රැක ගත්තේ සුදු නිවේදකයන් මවිතයට පත් කරමින්ය.

වරක් චැනල් ෆෝ ප්‍රවෘත්ති නාළිකාවේදී කොටි සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කරමින් කතා කළ නිත්‍යනාදන් නැමැති කොටි අනුගාමිකයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිංහල ජාතිවාදී රජය සියලුම ඉහළ නිලතල ලබා දෙන්නේ සිංහලයන්ට බවත් හැමවිටම දෙමළ උගතුන් කොන් කරන බවත් පැවසීය.

කට කොනකට හිනාවක් නඟා ගනිමින් නැගී සිටි ඩග්ලස් වික්‍රමරත්න මෙසේ කීය. නිවේදකතුමනි මේ කොටි අනුගාමිකයා කියන්නේ අමූලික බොරු. අද ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා දෙමළ ජාතිකයෙක් නොවේද කියලා මෙයාගෙන් අහන්න. ඒ වගේම ඉන්දියාව, චීනය ඇතුළු රටවල් හතක තානාපතිවරුන් දෙමළ ජාතිකයන් බව ඇයි මෙයා මෙතෙන්දී කියන්නේ නැත්තේ. වික්‍රමරත්න මහතා කියන්නේ ඇත්තක් බව දෙමළ නියෝජිතයාට අකමැත්තෙන් හෝ පිළිගන්නට සිදු වූ පසු රූපවාහිනිය ඉදිරියට පැමිණ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ඉහළ නිලතල නොලැබෙන බවට බොරු කිව්වේ ඇයිදැයි නිවේදක ජෝන් ස්නෝව් ඔහුට හොඳටම දොස් කීය.

බ්‍රිතාන්‍ය ජනමාධ්‍යය ඉදිරියේ කොටි අනුගාමිකයන් සමඟ පැවති බොහෝ විවාද වලින් ඩග්ලස් පහසුවෙන් ජය ගත්තේ ඔහු සත්‍ය නිර්භය ව කතා කළ නිසාය .ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුද හා ත්‍රස්තවාදී ක්‍රියා මතුවුණු හැමවිටම බ්‍රිතාන්‍ය රූපවාහිනී නාළිකා ශ්‍රී ලංකා මහකොමසාරිස් හෝ අනෙකුත් නිලධාරීන් පසෙක තබා කෙළින්ම සම්මුඛ සාකච්ඡා වලට ආරාධනා කළේ ඩග්ලස් වික්‍රමරත්න ටයි. බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය තමන්ව කොන් කිරීම ගැන උදහසට හා ඉරිසියාවට පත් සමහර ලංකා තානාපති නිලධාරීන් ඩග්ලස් සමඟ උරණ වීය. කිහිපවරක්ම මහකොමසාරිස් කාර්යාලයේ පැවැත්වුණු සංස්කෘතික හෝ ජාතික රැස්වීම්වලට මෙම ජාති හිතෛෂින්ට ආරාධනා නොකිරීමට තරම් ඔවුන් 70 හා 80 දශක වල නපුරු වීය.නමුත් ඩග්ලස් වික්‍රමරත්න මේ කෙනෙහිලිකම් තුට්ටුවකට ගණන් ගත්තේ නැත.නෙස්බි සාමිවරයා හා ලන්ඩන් දේශප්‍රේමී මිතුරන් සමඟ එකතුවී කොටි සංවිධානයේ පොළොව නුහුලන ක්‍රෑර මිනීමැරුම් ගැන ලෝකය අවදිකරන්නට ඩග්ලස් දිවා රෑ නොබලා කටයුතු කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දක්වන්නට ඔහු ජිනීවා වලට හත්අට සැරයක්ම ගියේ තම වියදමින්ය. ශ්‍රී ලංකාව යුද අපරාධ කළා යැයි කියමින් යහපාලන විදේශ ඇමැති ඇමෙරිකාව සමඟ එකතුවී අපේ හමුදාවට විරුද්ධව ජාති ද්‍රෝහී යෝජනාවක් ඉදිරිපත් කළ විට ඩග්ලස්ගේ ලේ වතුර වී ගියේය. තවත් විශිෂ්ට ආනන්දියකු වූ සරත් වීරසේකර හා ජාතිමාමක පිරිසක් සමඟ එක්වී ජිනීවා ගිය ඩග්ලස් යහපාලන විදේශ ඇමැති කියන්නේ අමූලික බොරුවක් බව ඔප්පු කරමින් කතා කළේය. ඒ යෝජනාව වහාම ඉල්ලා අස්කර ගන්නා මෙන් ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බල කළේය.

හතළිස් පස් වසරක් තිස්සේ ශ්‍රී ලංකාවේ අඛණ්ඩතාවය වෙනුවෙන් අභීත සටනක් කළ මේ සිවිල් සෙන්පතියා වෙනුවෙන් 1970 සිට පැවති එකම ලංකා රජයක්වත් ගෞරව සම්මානයක් පිරිනැමීමට උත්සාහ නොකිරීම ගැන මට ඇත්තේ බලවත් කනගාටුවකි. ඩග්ලස් මේ ජාතික මෙහෙවර කළේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී නිසා ඔහුට ගෞරව දක්වන්නට පැවති ඔවුනට වුවමනාවක් නොවූවා වන්නට ඇත.

ලාංකිකයන්ගේ ආරාධනා මත ඩග්ලස් කැනඩාව, ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය ඇතුළු දෙමළ ඩයස්පෝරා ක්‍රියාකාරීන් වැඩියෙන් සිටින රටවලට ගොස් ඔවුන් සමඟ විවාදයේ යෙදෙමින් ශ්‍රී ලංකාවේ ගෞරවය හා ප්‍රතිරූපය රැක ගත්තේය. ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් හා ලන්ඩන් විශ්වවිද්‍යාල තුළ ද ඔහු නොබියව ඩයස්පෝරාව සමඟ සටන් වැදුණේ සත්‍ය තිබෙන්නේ තමන්ගේ පැත්තේ බව හොඳාකාරවම දැන සිටි නිසාය. කොටි සංවිධානයේ මරණ තර්ජන වලට ලක් වූ ඩග්ලස් සහ ඔහුගේ පවුලට දෙවරක් ම ස්කොට්ලන්තයේ පොලිසිය බලෙන්ම ආරක්ෂාව සැපයීය.

අවසන් වරට මට ඩග්ලස් හමුවූයේ ආනන්දයේ රණවිරුවන්ට උපහාර පිණිස ගිය වසරේ ලන්ඩන් පන්සලේ පැවති උත්සවයකදීය. තම ආදරණීය බිරිය කුසුම් හා දියණිය මනීෂා සමඟ එහි පැමිණ සිටි ඩග්ලස් පසු වූයේ එතරම් සනීප තත්ත්වයකින් නොවේ. නමුත් අසනීපය පසෙක තැබූ ඔහු විනාඩි හතළිස් පහක් තිස්සේ මා සමඟ කතා කළේ යුද්ධයෙන් පරාජය වූ කොටි සංවිධානයට පණ දෙන්නට ලන්ඩන් ඩයස්පෝරාව දරන උත්සාහයන් හා පච ප්‍රහාර ව්‍යාර්ථ කරන්නේ කෙසේද කියාය. දෙසැම්බර් 4 දා සිදු වූ ඩග්ලස් මිතුරාගේ හදිසි මරණය ආරංචි වූ ලන්ඩන් මිතුරන් බලවත් ලෙස කම්පාවටත් ශෝකයටත් පත් වූහ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තම සාතිශය ශෝකය පළ කරමින් ලන්ඩන් ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය කුසුම් වික්‍රමරත්නට එවූ පණිවිඩයේ මෙසේ ද සඳහන් විය.

ඩග්ලස් වික්‍රමරත්න මහතාගේ කතාවක් මම මුලින්ම ඇහුවේ අවුරුදු 14 දැරියක්ව වශයෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත්ව සිටිය දී. එතුමාගේ වාග් චාතුර්යය මම වශී කළා. එතුමාගේ කතාවෙන් මා තුළ රට හා ජාතිය ගැන තිබූ ආදරය බැඳීම දහස් වාරයක් වැඩි වුණා. ලන්ඩන්වල සිට ලංකාවේ උන්නතිය වෙනුවෙන් එතුමා කළ උදාර සේවයට ලාංකික අප සදා ණය ගැතියි.”

මේ වීර ලංකා පුත්‍රයා ගේ හදිසි මරණය ගැන ශ්‍රී ලංකා රජයේ ගරු අගමැතිතුමාගේත් ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ අප සැමගේත් හෘදයාංගම කනගාටුව ඔබතුමියට මෙයින් ප්‍රකාශ කර සිටිනවා.”

ඩග්ලස් වික්‍රමරත්න ජාතික වීරයාගේ අවමඟුල පසුගිය දෙසැම්බර් 14 දා ලන්ඩන් GOLDERS GREEN සුසාන භූමියෙහි පැවැත්විණ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ලන්ඩන් මහකොමසාරිස් සරෝජා සිරිසේන අවමඟුල් උත්සවයට සහභාගී වූ අතර බ්‍රිතාන්‍යයේ නොයෙකුත් සිංහල සංවිධානවල නියෝජිතයන් හා හිත මිතුරන් විශාල පිරිසක් ඩග්ලස් මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් විසින් ධර්මානුශාසනාව පාංශුකූලය ඇතුළු ආගමික වතාවත් සිදු කරන ලදී. අවමංගල උත්සවයේ දී ඉතා හැඟුම්බර කතාවක් කළ රුවන් වික්‍රමරත්න තම පියා ගැන මෙසේ මතකය අවදි කළේය.රූපවාහිනියට ගොස් ඩයස්පෝරා සාමාජිකයන් සමඟ තාත්තා අභීතව විවාද කරද්දී පුතකු වශයෙන් මට විශාල ආඩම්බරයක් දැණුනා. විවාද කරන හැටි , නිර්භීත බව හා ධෛර්යවත් බව තාත්තගෙන් මා ඉගෙන ගත් වටිනා දේවල්. දෙහිවල ක්‍රිකට් සමාජයේ නායකයා වුණ මගේ පියා එංගලන්ත ලොයිඞ් බැංකුවේ ප්‍රථම ආසියානු ක්‍රිකට් නායකයා බවට පත් වුණා. නමුත් තාත්තා වැඩියෙන්ම සතුටට පත් වූයේ කොදෙව් ක්‍රීඩකයන් බොහොම දෙනෙකු ක්‍රීඩා කරන ලන්ඩන් නුවර සුප්‍රසිද්ධ WEST INDIAN WONDERER ක්‍රිකට් සමාජයට පිටස්තරින් බඳවා ගත් එකම ක්‍රීඩකයා ඔහු වුණ දවසෙයි. ලංකාවේ ස්වෛරීභාවය රැක ගැනීම සඳහා අවුරුදු 40 ක් තිස්සේ අඛණ්ඩ සේවයක යෙදුන වීරෝදාර ආනන්දීය සොයුර ඩග්ලස් ඔබට සුබ ගමන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress