ණය වාරික ගෙවීමට මුදල් සංචිත ප්‍රමාණවත් – මහබැංකු අධිපති
Posted on December 21st, 2021

උපුටාගැණීම අද දෙරණ

ආර්ථිකය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින විවිධ පාර්ශවයන් රටට විශාල හානියක් සිදුකරමින් සිටින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

එසේම ණය වාරික ගෙවීමට සහ අනෙකුත් කටයුතු සදහා මෙරට සතුව මුදල් සංචිත පවතින බවයි මහ බැංකු අධිපතිවරයා සදහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩඒම සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩදීම ඇතුළු කඩිනම් පියවර වෙත යොමු විය යුතු බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.
 
සෑම රටක්ම ජාත්‍යන්තර මුදල් ඒකක ඇතුළත් විදේශ විනිමය සංචිතයක් පවත්වාගෙන යනු ලබන අතර ආනයන වියදම් දැරීම, විදෙස් ණය ගෙවීම, රටේ මුදලේ අගය ස්ථාවරව තබාගැනීම හා මතුවන ආර්ථික අර්බුද කළමනාකරණය කරගැනීම යන අරමුණු ඉටුකරගැනීම සඳහා එය අත්‍යවශ්‍ය වෙයි.

ඉකුත් 2020 වසර ආරම්භයේ අමෙරිකානු ඩොලර් බිලියන 7.6ක් ව පැවති මෙරට විදේශ සංචිත මේ වන විට ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටී තිබීම මෙරට ආර්ථිකය මුහුණ පා සිටින අර්බුදය කියාපාන ප්‍රධාන සාධකයකි.

ශ්‍රී ලංකාවට මාසිකව ආනයන සඳහා ඩොලර් බිලියන 1.5ක මුදලක් වැය වන අතර සංඛ්‍යාත්මකව ගත්කළ මෙරට පවතින සංචිත දැන් ප්‍රමාණවත් වන්නේ එක් මාසයක ආනයන සඳහා පමණක් බව මේ අනුව පෙනී යයි.

එහි අනෙක් අර්බුදය වන්නේ මෙරට මාසික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මට්ටමේ පැවතීමය.

මෙම අර්බුදය තීව්‍ර කරමින් පසුගිය දා ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම්වලින්ද ශ්‍රී ලංකාව CCC කාණ්ඩයේ සිට CC කාණ්ඩය දක්වා පහත හෙළනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ණය යළි ගෙවීමට අසමත් රටක් ලෙස ප්‍රකාශවීමට ආසන්න මට්ටමට පත්ව සිටී.

පවතින දුෂ්කර තත්ත්වයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වඩාත් යෝග්‍ය බවයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.

එසේම වහාම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩදිය යුතුබව ද ආර්ථික විශේෂඥයන් පවසයි.

මෙම තත්ත්වයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාව විදේශ සංචිත තරකරගැනීමේ පියවර දැනටමත් ගෙන ඇති අතර ඒ අනුව එළැඹෙන දෙසැම්බර් 31 වනදා වන විට මෙරට විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3 දක්වා ඉහළ යන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා – දෙසැම්බර් අවසානයේ අනිවාර්යෙන්ම බිලියන තුනක් තියෙයි.

මාධ්‍යවේදියා – කොහොමද ගේන්නේ ඒක, ප්‍රදානයක්ද ?

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා – අපේ සංචිතයන්ට ඒක එකතුවෙනවා. බය වෙන්නේ නැතුව ඉන්න.

මාධ්‍යවේදියා –  ඉදිරි වසරේ ගෙවීම් කොහොමද ? 

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා –  ඔක්කෝම ණය ගෙවනවා කියලා මම කිහිප සැරයක්ම කියලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම කෙරෙනවා.  බිලියන තුනක් අනිවාර්යයෙන්ම තියෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress