වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලයේ ගැටලුවට සියලු පාර්ශව එකඟතාවෙන් තීන්දුවකට එළැඹෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්
Posted on January 5th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලය පිළිබඳව උද්ගතව ඇති ගැටලුවට සියලු පාර්ශව එකඟතාවෙන් තීන්දුවකට එළැඹෙන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (04) පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලය මෙතෙක් පැවති ආකාරයට පවත්වාගෙන යෑමට උපදෙස් දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම හමුවේ දී ඉල්ලා සිටියේය.

ඒ සඳහා එකඟවිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහි දී අග්‍රාමාත්‍යතුමාට පෙන්වා දුන්නේය.

පැවැති ක්‍රමයම පවත්වාගෙන යාමට නොව යම් ගැටලුවක් ඇත්නම් ඒ සඳහා සාකච්ඡා කිරීමට සූදානම් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහි දී විශ්වාසය පළ කළේය.

අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් මෙම ගැටලුව දෙපාර්ශවයේ එකඟතාවයෙන් විසඳා ගන්නැයි අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී දැනුම් දුන්නේය.

මෙම කරුණ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ගිය අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇමතිතුමා දේශපාලන බලපෑම් යොදා ගන්නා බවට මාධ්‍යයේ ප්‍රකාශ කළා යැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහි දී චෝදනාවක් ද කළේය.

ඇතැම් ගැටලු එසේ විසඳිය හැකි වුවත් තවත් ගැටලු එසේ විසඳාගත නොහැකි බව මෙහි දී සාකච්ඡා විය.

එහෙත් මෙම ක්‍රියාවලියේ අවසාන තීන්දුව ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාව අවසානයේ ප්‍රකාශ කළේය.

වෛද්‍ය පරිපාලනය ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ලෙස දෙකොටසකට බෙදා ක්‍රියාත්මක නොකර මින් ඉදිරියට එකම නියැදියක තබා කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  වෙනුවෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී එස් සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ, ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම්  චන්ද්‍රානි සේනාරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, අග්‍රාමාත්‍ය සහකාර ලේකම් ෆාතිමා ෆර්සානා , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහත්ම මහත්මීහු ඇතුළු එම සංගමයේ වෛද්‍යවරු රැසක් සහභාගී වුහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress