සමහර අයට ලොකුවට දැන් බලය තියෙනවා කියලා ටිකක් උඩින් යන ගතියක් දැන් ඇවිත්.-මෛත්‍රීපාල සිරිසේන මහතා
Posted on January 5th, 2022

තිසර සමල් – අනුරාධපුර  

මං කථාව සැරට කරලා පෙන්නුවේ අපිටත් සැරට කථා කරන්න පුලුවන් කියලා පෙන්නන්නයි.මොකද සමහර අය හිතන් ඉන්නවා බෑ කියලා.සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා දිනලා ජනාධිපතිත් වෙලා ඉවරයි.සමහර අයට ලොකුවට දැන් බලය තියෙනවා කියලා ටිකක් උඩින් යන ගතියක් දැන් ඇවිත්.මේ රටේ දේශපාලනයේ 1956 බණ්ඩාරනායක මැතිතුමන්ගේ ආණ්ඩුවේ ඉඳලම මේ ආණ්ඩුව වෙනකම්ම සියලු ආණ්ඩු සන්ධාන ආණ්ඩු, පෙරමුණු ආණ්ඩු කවුරුත් තනියෙම හදපු ආණ්ඩු නෙමෙයි යැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.මෙම සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා විසින් සංවිධානය කර තිබිණි.

ගොවියාගේ ප්‍රශ්නය ගැන විශේෂයෙන්ම ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාවයක් වර්ථමාන ආණ්ඩුවට තිබුණාද කියන ප්‍රශ්නය මතුවෙනවා.එහෙම තිබුණා නම් බෙල්ල කැපුවා වගේ එක පාරම ගොවීන්ගේ රසායනික පොහොර කපලා දාන්නේ නෑ.මම අවුරුදු දා හත හමාරක් වරින් වර  මහවැලි ඇමති, අවුරුදු 06 ක් කෘෂිකර්ම ඇමති, ඒ සෑම කාළයේමත්, ජනාධිපති කාලයේත් මම කාබනික පොහොර පටන් ගත්තා.ලංකාවේ පළමුවැනි වතාවට කාබනික පොහොර අධිකාරියක් හැදුවේ මම 2007 දී, ඒකත් කරන්න දුන්නේ නෑ ඒ දවස් වල.ඒ නිසා විශේෂයෙන් කියන්නට ඕන අපි අනුරාධපුර, පොළොන්නරුවේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපේ ඓතිහාසික මහා උරුමයත් සමඟ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ අපි ඔක්කොම ගොවියෝ අපි එදා, අනුරාධපුර හා පොලොන්නරු යුගයෙන් පැවත එන ගොවි පරපුරවල් වල පරම්පරාවන් ඉන්නේ, වර්ථාමය තුළ ගොවිතැන, කෘෂිකර්මය වැටිලා තියෙන සෝචනීයයි.

ඊයේ (04) මම මාතලේ කරපු කථාව මගේ හිතවත් අය කථා කරලා කිව්වා ටොපේ ටොප් කියලා, ඒ අතරට මම විනාඩි 45 ක් කථා කලා.තවත් කීප දෙනෙක් ඊයේ (04) හවසයි අද (15) උදේයි කිව්වා, පොලොන්නරුවේ ඉඳන් උදේ එද්දිනුත් ෆෝන් එකෙන් කථාව ටිකක් සැර වැඩියි නේද කියලා.මං කථාව සැරට කරලා පෙන්නුවේ අපිටත් සැරට කථා කරන්න පුලුවන් කියලා පෙන්නන්නයි.මොකද සමහර අය හිතන් ඉන්නවා බෑ කියලා.සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා දිනලා ජනාධිපතිත් වෙලා ඉවරයි.සමහර අයට ලොකුවට දැන් බලය තියෙනවා කියලා ටිකක් උඩින් යන ගතියක් දැන් ඇවිත්.මේ රටේ දේශපාලනයේ 1956 බණ්ඩාරනායක මැතිතුමන්ගේ ආණ්ඩුවේ ඉඳලම මේ ආණ්ඩුව වෙනකම්ම සියලු ආණ්ඩු සන්ධාන ආණ්ඩු, පෙරමුණු ආණ්ඩු කවුරුත් තනියෙම හදපු ආණ්ඩු නෙමෙයි.අවස්ථා දෙකක් තියෙනවා, එකක් තමා 1960 ජූලි මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියෙන් ආණ්ඩු හැදුවා, 1977  ජේ.ආර් ජයවර්ධන 6/5 ක් අරගෙන අපේ පක්ෂය  ආණ්ඩුව කෑලී – කෑලී කැඩිලා තියෙන වෙලාවක, ජේ.ආර්ගේ අවශ්‍යාතවක් නෙමෙයි ඒක අපේ පක්ෂයේ අයගේ තිබුණ අඩුපාඩු හා වැරදි , පවුලේ අය ගහ ගත්තා.

මම හිතන්නේ නෑ, මේ රටේ ජනතාව මේ කාළයේ විඳින දුකේ හැටියට දේශපාලඥයින්ට රැවටිලා ඊළඟ අවස්ථාවේ ඡන්දේ දෙයිද කියලා මට විශ්වාසයක් නෑ, හුඟක් වෙලාවට මොන අඩුපාඩු තිබුණත් ඡන්දේ කාලයට ආයේ, කන්න දීලා, මොනවා හරි දීලා, සල්ලි දීලා, බඩු බෙදලා,බෙදන්න තියෙන ඔක්කොම බෙදලා , හැබැයි ඉතින් ඔය බෙදන්න තියෙන ඔක්කොම බෙදලා, මම ඇල් වතුරවත් දෙන්නේ නැතිව  මම දිනුවේ 2015 ජනාධිපතිවරණය.ජනතාව තීන්දු ගන්න වෙලාවල් තියෙනවා සමහර අය ඒවාට රැවටුණාට.නැවත අවශ්‍යය වෙන්නේ මේ රට ඉදිරියට ගෙන යන්න පවතින ආර්ථික,සමාජ, දේශපාලන අර්බුධ තුළ අපි අපේ ගමන යන්න සකස් කර ගන්න ඕන.වංචාව, දූෂණය, හොරකම ගැන අපි අවුරුදු 25-30 ක් කථා කරලා තියෙනවා.මේ රටේ ජනතාව හොරු නැති ආණ්ඩු හදන්න පහුගිය අවුරුදු 15-20 ක් ඡන්ද දීලා තියෙනවා, ඡන්ද ගත්තාට පස්සේ ආණ්ඩුව හොරුන්ගේ ආණ්ඩුවක් බවට පත් වෙනවා.මේ රටේ තියෙන සංවර්ධනයන්ට බාධාවක් ඒක.මම 2014 නොවැම්බර් 21 එදා රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුවෙන් එළියට ආවේ, බොහෝම පවිත්‍ර, අවංක චේතනාවෙන් මගේ බිරිඳ ඇතුළු දරුවන් සියලු දෙනාගේම ජීවත පිළිබඳව දැඩි අවධානමකින් පොදු අපේක්ෂකයා විදිහට එළියට ආවේ.සමහරු ඔලුවේ අත ගහගෙන කිව්වා කළු ගලේ ඔලුව ගහගන්න එපා, ඔක කවදාවත් කරන්න බෑ, දිනන්න බෑ කිව්වා.මහ රජානෝ දිනන්න, මෛත්‍රීපාල සිරිසේන වගේ පොලොන්නරුවේ කෙනෙක්ට පුලුවන්ද ඇහුවා.නමුත් වෙච්ච දේ කවුරුත් දන්නවා.

මෙතෙක් පැවති සාම්ප්‍රදායික ආණ්ඩු නොව, පැවති ආණ්ඩු වලට වඩා වෙනස් ආණ්ඩුවක් අපි සෑදිය යුතුයි.ඒ වෙනස් ආණ්ඩුව මොන විදිහේ ආණ්ඩුවක්ද කියලා ප්‍රශ්නය තියෙනවා.අද තියෙන තත්වයට බොහෝ අය දොස් කියනවා, නිදහසින් පසු 1948 ඉඳන් අවුරුදු 73 ක් මේ රට මේ තත්වයට පත් කලේ, රට පාලනය කරපු සියලු පාලකයෝ හා ආණ්ඩු කියලා. මම ඒකට එකඟ වෙන්නේ නෑ.මේ රටේ වංචාව දූෂණය කියන එක තිබුණා 77 ට කලින් තමන්ගේ ආණ්ඩුවේ වංචා දූෂණ කරපු ඇමතිවරයෙක් එළියට දාපු එකම නායකයා එස්.ඩබ්ලිව්.ආර්. බණ්ඩාරනායක මැතිතුමා 1957 දී මරික්කාර්ව එළියට දැම්මා  අල්ලස් චෝදනා ඔප්පු වුණාට පස්සේ.එතුමාගෙන් පස්සේ තමන්ගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගේ වංචා දූෂණයක් නිසා ඇමතිවරයෙක් එළියට දැම්මේ මම ජනාධිපති කාලේ මමයි.අර කොළඹ පැත්තේ මහත්තයා.තව නඩු තියෙනවා උසාවියේ.මට යූ.එන්.පී එකත් එක්ක බොහෝම ලස්සන ගමනක් යන්න තිබුණා මම හොරුන්ට විරුද්ධව පියවර ගත්තේ නැත්නම්, මහ බැංකු මූළ්‍ය වංචාවට මම ජනාධිපති කොමිසමක් දැම්මේ නැත්නම් කිසිම ගැටුමක් ආණ්ඩුවේ නෑ, කොමිසමේ නිර්දේශ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ටෙසරිස් සමාගමට විරුද්ධව පරීක්ෂණ කරගෙන යන කොට ආණ්ඩුවේ මැතිඇමතිවරු හොරුයි කියලා අහුවෙන කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ටෙලිෆෝන් බැලුවේ නෑ,ඒ පිළිබඳව ප්‍රධාන වග උත්තරකාරයෙක් වෙච්ච අර්ජුන් ඇලෝසියස්ගේ ටෙලිෆෝන් එක පරික්ෂා කලා.එතනදී පෙනී ගියා මැති-ඇමතිවරු එක්ක මෙයාගේ හුඟක් කථා බහ තියෙනවා කියලා.අපරාධ පරීක්ෂණ නිළධාරීන් ඒ වගඋත්තරකරුගේ ෆෝන් එකට කථා කරපු මැති ඇමතිවරුන්ගේ ටෙලිෆෝන් පරික්ෂා කළා, රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ආවේශ වෙලා ඇවිත් කෑ ගැහුවා කියලා මට ආරංචි වුණා. පාර්ලිමේන්තු මැති-ඇමති වරප්‍රසාද තුළ මැතිඇමති දුරකථන පරික්ෂා කිරීම වරප්‍රසාද කඩ කිරීමක් කියලා රනිල් පාර්ලිමේන්තුවේ කථාවක් කරලා තිබ්බා.මගේ අතේ ඒ වන විට පොලීසිය, සී.අයි.ඩිය, නීතීපති මගේ අතේ තිබුනේ නෑ, ඔක්කොම හිටියේ රනිල්ලාගේ පැත්තේ අමාත්‍යංශ වලට යටත්ව.රනිල් වික්‍රමසිංහ මහත්තයා මැතිඇමතිවරුන්ගේ ටෙලිෆෝන් පරික්ෂා කලා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට විරුද්ධව රනිල්ගේ පොලීසිය දාලා රනිල් ඒ අයට විරුද්ධව පරික්ෂණ කරන්න පටන් ගත්තා.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිළධාරීන් අස්වෙලා යන්න ගියා, සමහරු භය වෙලා කිව්වා අපිව මරයිද දන්නෙ නෑ කියලා.මම කිව්වා භය වෙන්න එපා මම ඉන්නවා කියලා.නමුත් හැම කෙනෙක්ම ජීවිත භයත් එක්ක සමහර අය තනතුරු දාලා ගියා.මම වංචා හොයන්න කොමිෂන් දැම්මා, මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් වංචා දූෂණ වලට විරුද්ධව ඒ විදිහට කොමිෂන් දාන්න කටයුතු කරලා නෑ,

අද ආණ්ඩුව ගන්න තීන්දු තීරණ දේශපාලන කළමණාකරනය වරද්දාගෙනද?, රාජ්‍යය පරිපාලන කළමණාකරනය වරද්දගෙන තියෙනවා.රටේ ආර්ථිකය, ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකරනය වරද්දගෙන තියෙනවා.ගිය අවුරුද්දේ සම්මත කරපු 20 වැනි සංශෝධනය අවලංගු කරන්න ඕන, මම සම්මත කරපු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ඒකේ තිබුණ වැරදි අඩුපාඩු නිවැරදි කරලා, අපි සම්මත කරපු 19 ය සංශෝධන සහිතව සම්මත කිරීම අවශ්‍ය වෙනවා රට ඉස්සහරට ගෙන යන්න.19 වැනි සංශෝධනය සම්මත වෙන්නේ 18 අහෝසි කරනවාත් එක්කම, 18 ත් තිබුණේ එවකට හිටපු ජනාධිපතිතුමාට රජෙකුටත් වඩා බලතල.රාජාණ්ඩුක්‍රම බලතල 18 තිබුණේ, ඇමතිවරු- පාර්ලිමේන්තුව නැතිව අවුරුද්දක් ගෙනියන්න පුලුවන් ජනාධිපතිවරයාට.මම දන්න විදිහට 20නුත් පුලුවන්.අමාත්‍යංශ ලේකම්ලත් එක්ක අවුරුද්දක් ගෙනියන්න පුලුවන්.තියෙන ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව ගෙනියන්න ඕන, ඒ තුළ අපි ප්‍රජාත්‍රන්තවාදය දකින්නේ නෑ, ඒ නිසා 19 වැනි සංශෝධනයේ, සංශෝධනය කළ යුතු තැන් සංශෝධනය කරලයි සම්මත කරන්න ඕන, මගේ කාලේ 19 ය සම්මත කරලා වෙච්ච අවුල තමයි, රටේ නායකයෝ 03 දෙනෙක් හැදුනා විදායක බලතල තියෙන.ජනාධිපති, අගමැති, කථානායක කියන 03 දෙනාටම විධායක බලතල තියෙනවා 19 වැනි සංශෝධනයෙන්.ඒ නිසා කථානායක කරූ ජයසූරිය එයාගේ පාර්ලිමේන්තු සාකච්ජා වලට අග්‍රවිනිශ්චකාර , ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරු, නීතීපති, පොලිස්පති, ස්වාධින කොමිෂන් සභා ඔක්කොම කැන්දනවා.ඒ තුළ මුළු විදායක බලය 19 වැනි සංශෝධනයෙන් ආපූ ව්‍යවස්ථා සභාව තුළට අරගෙන ව්‍යවස්ථා සභාවේ සභාපති කරූ ජයසූරිය, ඒකේ ඉන්නවා අගමැති රනිල් වික්‍රමසිංහ මේ දෙන්නා එකතු වෙලා වෙනම ආණ්ඩුවක් හදාගෙන ගියා.ඒ අයට ඕන විදිහට ස්වාධීන කොමිෂන් සභා ටික අරගෙන ගියා.ඒ නිසා 19යෙන් බලාපොරොත්තු වෙච්ච දේ සිද්ධ වුණේ නෑ.රනිල් වික්‍රසිංහ මහත්තයාගෙයි, මගෙයි ගැටුම තිබුණේ අපි දෙන්නාගේ පුද්ගලික ගැටුමක් නෙමෙයි, ඒ ගැටුම රනිල්ගේ අන්ත නව ලිබරල්වාදයයි, මගේ සමාජ ප්‍රජාතන් ත්‍රවාදී ජාතික දුෂ්ටිය නැත්නම්, ජාතික චින්තනය පිළිබඳ මගේ දේශපාලන දර්ශනය මේ දෙක තමයි ගැටුනේ යහපාලන ආණ්ඩුවේ, රනිල් බටහිර ගැන විශ්වාසය තිබ්බා, මම මගේ ජාතිය ගැන රට ගැන විශ්වාසය තිබ්බා.

 දූෂණය, වංචාව, හොරකම කියන එක ගලාගෙන ගිහින් තියෙන්නේ, ඒ නිසා තමයි හොරු හොඳටම ප්‍රබල, දේශපාලනය කරන හොරුන්ට පක්ෂයක් නෑ,ආගමක්, ජාතියක්, භාෂාවක් නෑ, දේශපාලනය කරන හොරු එකෙකුට ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඔක්කොම  හොරු ටික එකතු වෙලා ඌව බේර ගන්නවා. මට වුණෙත් ඒකයි, ආණ්ඩු කරන කොට විශේෂයෙන්ම මගේ ආණ්ඩුවෙත් හිටපු හොරු රනිල් වික්‍රමසිංහ මහත්තයලගේ කණ්ඩායම, මහ බැංකු කඩපු මිනිස්සුයි, අද පොහොට්ටුවේ නායකයොයි ඔක්කොම එකතු වෙලා මට ගැහුවා.මම ආණ්ඩු කෙරුවේ ලෝකේ කිසිම රටක නොකර ආණ්ඩුවක් මම කෙරුවේ, මට කියලා අගමැති කෙනෙක්, ඇමති මණ්ඩලයක්  හිටියේ නෑ, වැඩි බලය තිබුණේ එක්සත් ජාතික පක්ෂයට, මට කියලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය- විපක්ෂය හිටියේ නෑ, හැබැයි අවුරුදු 05 ට මාස 1 ½ ක් අඩු වෙන්න මම රට පාලනය කළා.මට බනින එක, කුණුහර්ප කියන එක නෙමෙයි මට සම්මානයක් දෙන්න ඕන ලෝකේ කවුරුත් එහෙම කරලා නෑ.ලෝකේ කිසිම රටක රාජ්‍යය නායකයෙක් තමන්ගේ බලතල ඉවත් කරගෙන නෑ, ලෝකේ එහෙම කරපු එකම දේශපාලඥයා මම, 19 වැනි සංශෝධනය රාජාආණ්ඩුවක රජෙකුට තිබුණ බලතල මම අයින් කරලා දැම්මා.

ආර්ථික අර්බුධය ඩොලර් අර්බුධය විසඳගන්න අපේ බැසිල් උන්නැහැ දිගට හරහට බියගම ෆැක්ටරියෙ අච්චු ගහනවා. මම ජනාධිපති කාලේ ඕක බලන්න ගියා, සල්ලි අච්චු ගහන හැටි, අපේ රටේ සල්ලි විතරක් නෙමෙයි, වෙන රටවල සල්ලිත් බියගම ගහනවා.රුපියල් ගහලා ඕන තරම් එළියට දාන්න පුලුවන්, ඒකෙන් ඇති වෙන ආර්ථික අර්බුධය වෙනම කථාවක්.ඩොලර් ලැබෙන්නේ කොහොමද ලෝකය සලකන්නේ රටේ රාජ්‍යය කරන අයගේ මූණ දිහා බලලා තනතුරට නෙමෙයි.මම ලෝකයට පෙන්නුවේ ආණ්ඩුව කරන ප්‍රථිපත්තිය.ලෝකය මාත් සමඟ එකතු වුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා.රාජාණ්ඩුවක් අවසන් කරපු නිසා, විදේශ සම්බන්ධතා හදාගෙන රාජ්‍යය නායකයින්ගේ හිත් දිනා ගැනීම එක්තරා කළාවක්.

මේ ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද කියලා හිතලා බලන්න කියලා මට කෙනෙක් කිව්වා, එහෙම හිතපු හුඟක් දේවල් තියෙනවා.විශේෂයෙන්ම අපි කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කාගෙවත් පස්සේ යන්නේ නෑ,අපි පක්ෂය සංවිධානය කරනවා රට පුරාම, අපි අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා, ඒ වැඩපිළිවෙලට එකතු වෙන අයත් එක්ක අපි එකතු වෙනවා.එහෙම නැතිව අපි කාගෙවත් නැට්ට වෙන්න ලෑස්ති නෑ, අපි තමයි පාර්ලිමේන්තුවේ 03 වැනි බලවේගය.අපි නැත්තනට නැති වුණ විනාශ වුණ පක්ෂයක් නෙමෙයි.අපේ දැන් 14 ක් ඉන්නවා.අපේ අලුත් වැඩපිළිවෙලත් එක්ක අපි නැගිටිනවා.යැයිද පැවසීය.


මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික පූජකතුමන්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු අමාත්‍යය වීරකුමාර දිසානායක, තිස්ස කරල්ලියද්ද යන මහත්වරුන් ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්, පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ පෙරමුණු සභාපති දහම් සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන වල නිළධාරීන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress