අභියෝග හමුවේ වුවත් අද අප මේ කැපවන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කරන්න – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on January 6th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අභියෝග හමුවේ වුවත් අද අප මේ කැපවන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු දියණියන්ගේ අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතා අග්‍රාමාත්‍යතුමා අද (06) පෙරවරුවේ මේ බව සඳහන් කළේය.

මලියදේව බාලිකාවේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු දියණිවරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් පළමුව මහත් ගෞරවයෙන් උත්සව අවස්ථාවට පිළිගත් අතර නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා සමරු ඵලකය නිරාවරණය කළේ ඉන් අනතුරුවය.

නව ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමා, එහි වූ පංති කාමරයකට පීත්ත පටියක් කපමින් ඇතුළු වූයේය.

මලියදේව බාලිකාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් රු.25 වටිනා විශේෂ සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කිරීම ද මෙහි දී සිදුවිය. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් මෙම විශේෂ සමරු මුද්දරය  අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වන ලදි.

කොවිඩ් වසංගතයට පාසල් වසා දැමූ කාලය තුළ දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීමේ අනතුර පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, තාක්ෂණය හොඳට මෙන්ම නරකට ද ඉවහල්වන බැවින් නිවැරදි මග සොයා ගැනීමට දරුවන් දැනගත යුතු බවත් ඔවුන් ගැන දෙමාපියන් මෙන්ම ගුරුවරුන් ද අධ්‍යනයෙන් පසුවිය යුතු බවත් අවධාරණය කළේය.

උත්සව සභාවෙන් පිටතට එන අවස්ථාවේ දී මලියදේව බාලිකා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ දැරියන් හමුවූ අග්‍රාමාත්‍යතුමා, ඔයාලට තිබෙන අඩුපාඩු මොනවාදැයි” දරුවන්ගෙන් විමසා සිටියේය. අපට කැමරා නැහැ” යැයි දැරියන් කී විට අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේම අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාට ඔවුන්ගේ අඩුපාඩු බලා එය ඉටු කර දෙන්නැයි ඉල්ලා සිටියේය.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

දියණිවරුනි,

ඔබ ඉගෙනුම ලබන කුරුණෑගල මලියදේව බාලිකාව දැනුමෙන් කුසලතාවෙන් පිරිපුන් අභිමානවත් පරපුරක් රටට දායද කරන පාසලක් බව ප්‍රථමයෙන් කියන්න ඕනේ. අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් ක්‍රීඩාව පැත්තෙන් ගත්තත් මලියදේව බාලිකාව ඉදිරියෙන් ඉන්න බව අපි දන්නවා. ඒ නිසා මේ මලියදේව බාලිකාවේ දැරියන් ගැන අපි හැමෝටම ආඩම්බරයක් තියෙනවා.

මේ අවස්ථාවට එන්න මට උනන්දුවක් ඇතිවුණේ මේ දරුවන්ට කරන ගෞරවයක් හැටියටයි. අද ඔබට ලැබුණු මේ නව ගොඩනැගිල්ල ඔබේ පාසලට ලැබුණු හොඳම තෑග්ගක්.

අපි දරුවන්ගෙ දක්ෂතා අගය කරනවා වගේම ඒ දක්ෂතා මත ඉදිරියට යන්න අවශ්‍ය පහසුකම් සලසන්න ඕන. එවිටයි දරුවන් දිරිමත් වෙන්නෙ. දරුවන් තමයි අපේ අනාගතය.

ඇතැම්විට ඔබ දන්නෙ නැතුව ඇති අපේ රටේ පාසල් දස දහසකට වැඩි සංඛ්‍යාවකින් වැඩිම පාසල් ප්‍රමාණයක් තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බව. මේ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 30ක් ඇතුළු රජයේ පාසල් 873ක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාසල්වල ඉගෙන ගන්න දරුවො ජාතික තලයේ දී විභාගවලින් සෑම වසරක දිම ඉතා විශිෂ්ට දක්ෂතා පෙන්වනවා.

පසුගිය අවුරුදු කිහිපය ගත්තම පහේ ශිෂ්‍යත්වයෙන් ඉහළම සමත්වීමේ ප්‍රතිශතය පෙන්නල  තියෙන්නේ කුරුණෑගල දරුවෝ. ඔබට එය ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ , උසස් පෙළ විභාගවලිනුත් ඉහළම දක්ෂතා පෙන්වමින් කුරුණෑගල දරුවො සමත්වුණා. ඔබේ පාසලත් ඒ අතර  ඉදිරියෙන්ම සිටිනවා.

ආදරණීය දැරියනි,

ඔබේ පාසල් කාලය තමයි ජීවිතයේ වටිනාම කාලය. මේ ඉන්න ගුරුභවතුන් ඔබට අධ්‍යාපනය පමණක් නෙවෙයි විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් අවස්ථාව ලබා දෙනවා. අනාගත අභියෝග ජයගන්න නම් අධ්‍යාපනය වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වලිනුත් ඔබ සන්නද්ධ විය යුතුයි.

ඒ නිසා මේ පාසලේ දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම්වලිනුත් ඉදිරියෙන්ම ඉන්න බව දැනගත්තම මම තවත් සතුටු වුණා. දැනගන්න ලැබුණ විදියට අපේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ 06 දෙනෙක්ම ඔබේ විද්‍යාලයෙන් බිහි වූ ඔබේ සහෝදරියන්.

ඒ විතරක් නෙමෙයි දැල්පන්දු ඇතුළු බොහෝ ක්‍රීඩාවල ජාතික තලයට ගිය ක්‍රීඩිකාවන් මෙන්ම අපේ රටේ පළමු ක්‍රීඩා කථිකාචාර්යවරිය බිහිවන්නෙත් මේ විද්‍යාලයෙන්.

ඒ වගේම සෞන්දර්ය විෂයටත් ඔබ එකසේ සමත්කම් දක්වනවා.

නැටුම් ගැයුම් තරගවල ජාතික තලයේ ජයග්‍රහණ ලබන ඔබට සෞන්දර්ය විෂයට අදාළ ගොඩනැගිල්ලක තියෙන අඩුපාඩුවත් අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් ඉදිරියේ දී මගහැර දෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

දයාබර දරුවනි,

තරුණ බෞද්ධ සංගමයේ අදහසකට එදා සිසුවියන් 69 දෙනෙකුගෙන් හා ගුරුවරියන් 4 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාසල අද වනවිට ශිෂ්‍යාවන් 4500 කට ආසන්න පිරිසකට සෙවන දෙන රටේ ප්‍රමුඛතම බාලිකා පාසලක්.

මේ තැනට මේ පාසල ගොඩ නැගුනේ නිකම්ම නෙමෙයි.  විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියෝ, ආදි ශිෂ්‍යාවෝ ඒ වෙනුවෙන් විවිධ කැපකිරීම් කරලා තියෙනවා. අද ඔබ අභිමානයෙන් මේ පාසලෙන්  අධ්‍යාපනය ලබන්නේ ඒ අතීත කැපකිරීම් මත බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබටත් අද දිනයේ වගකීමක් තිබෙනවා ඒ අභිමානය අනාගතයට රැගෙන යන්න.

ඔබ සතුව ඇති බලය තමයි දැනුම. දැනුම ලැබෙන්නේ අධ්‍යාපනයෙන්.  දැනුමෙන් පෝෂණය වෙනව කියන්නේ කිසිවෙකුටත් අත නොපා ඔබලාට දෙපයින් නැගී සිටීමට ලැබෙන අවස්ථාවක්.  දුප්පත් පොහොසත් උගත් නූගත් කිසිදු බේදයකින් තොරව තමන්ගෙ දරුවන් දැනුමෙන් පෝෂණය කරන්න දෙමාපියන් කැප වෙන්නේ ඒ නිසයි.

කොවිඩ් වසංගතය සමඟ නැවතුණ පාසල් අධ්‍යාපනය අපි ක්‍රමානුකූලව ආරම්භ කළේ ඔබේ අනාගතය මෙන්ම රටේ අනාගතය ගැන කල්පනා කරලයි. හැබැයි එදා කොවිඩ් වලට ගෙදර නැවතුන දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවෙලා කියලා දෙමාපියන් මැසිවිලි නගනවා.වෛද්‍යවරු පවා මේ ගැන අනතුරු අගවලා තියෙනවා. හොඳට වගේම නරකටත් තාක්ෂණය ඉවහල් වෙනවා. ඒ නිසා දරුවෝ දැනගන්න ඕනේ වැරදි මඟ නොයා තාක්ෂණයෙන් අපිට ලබාගන්න තියෙන හරි දේවල් සොයා යන්න. දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා දරුවන්ට නිවැරදි දේ කියා දෙමින් ඔවුන්ව අධ්‍යනය කරන්න.

ආදරණීය දරුවනි,

අධ්‍යාපනය සඳහා මෙතෙක් කිසිදු රජයක් වෙන් නොකරපු මුදලක් අපි මෙම වර්ෂයේ වෙන්කරල තියෙනවා. ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට පවා සාධනීය විසදුමක් ලබාදෙන්න අපිට හැකිවුණා. අපි හැම දෙයක්ම කරන්නේ දරුවන් ගැන හිතලා.  ඒ නිසා දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම තහවුරු කරන්න අපි අවුරුදු 18ට අඩු දරුවන් සේවයේ යෙදවීම නීතියෙන්ම දැන් තහනම් කරලා තියෙන්නෙ.

ඒ විතරක් නෙමෙයි පාසල් නොයන දරුවන් හඳුනාගෙන ඔවුන් පාසල් වෙත යොමු කරන්නත් අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

ඔබට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන සැබෑ දක්ෂයන් ලෙස ඉදිරියට එන්න. අභියෝග හමුවේ වුවත් අද අප මේ කැපවන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කිරීමට බව සිහි තබාගන්නා ලෙස ඉල්ලමින් ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

මේ පාසල තමයි ගරු අගමැතිතුමනි වයඹ පළාතේ තියෙන ප්‍රධානතම බාලිකා විද්‍යාලය. මේ විද්‍යාලය තුළින්  ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ දරුවෝ  බිහිකරල තියෙනවා.  කුරුණෑගල කියනකොට මලියදේව පිරිමි විද්‍යාලය සහ බාලිකා විද්‍යාලය ගැන තමයි කතා කරන්නේ.

ජනාධිපතිතුමාගේ ලේකම්තුමා වගේම ඔබතුමාගේ කාලේ හිටපු මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා වන ආචාර්ය පී.බී. ජයසුන්දරත් ඔහුගේ උසස් අධ්‍යාපනය ලැබුවේ මලියදේවි පිරිමි විද්‍යාලයෙන්. ඒ වගේම මේ විද්‍යාලයෙන් බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ අය ඉන්නවා.

අපේ රජය බොහොම අමාරු කාලයකට මුහුණ දුන්න රජයක්. අපේ රජය විතරක් නෙ‍මෙයි මේ රටේ ජනතාව, මේ මුළු ලෝකෙම  ජනතාව ස්වභාවධර්මයෙන් අභියෝගයට ලක්කරපු වෙලාවක්. ඒකට ඉතාමත්ම විශිෂ්ට ලෙස අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඔබතුමාගේ නායකත්වයෙන් අපේ ජනතාවට එන්නත පළමු එක විතරක් නෙමෙයි දෙවැනි එක විතරක් නෙමෙයි බූස්ටර් එකත් ලබාදීල , දරුවන්ටත් ලබාදීල  අපේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරල දුන්නා කියන එක ඉතිහාසගත වෙනවා.

දැන් අපිට තියෙන්නේ අලුත් අවුරුද්දක්. අලුත් විදිහට හිතල. ධනාත්මකව හිතල. අපි ඉදිරියට යන්න ඕනේ. ඒක තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ. අපිට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි දන්නවා අපිට විදේශ විනිමයේ අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒ නිසා භාණ්ඩ හිඟකම් තියෙනවා. ගෑස්වල ප්‍රශ්නයක් තියෙනවා. මගෙන් ඊයේ ඇහුවා ගෑස් පිපිරීම් ගැන. මම නම් කිව්වේ මට නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා, කොළඹ හතෙත් ගෑස් පිපිරෙන්නේ නැහැ. උතුරෙත් පිපිරෙන්නේ නැහැ. කුරුණෑගල නගරයේත් පිපිරෙන්නෙත් නැහැ. නුවර නගරයේ පිපිරෙන්නෙත් නැහැ. විවිධ තැන්වල විතරයි පිපිරෙන්නේ. ඉතින් මේ ගැන ගරු අගමැතිතුමනි අනිවාර්යෙන්ම හොයන්න ඕනේ.  ජනාධිපතිතුමා කිව්වා මේ ගැන ඉතා රහසිගතව සොයනව කියල. මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ජනතාව බයෙන් ඉන්නේ. ඒ නිසා අපිට මේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ  විසදුම් ලැබෙයි.  අපේ ජනතාව ධනාත්මකව හිතන වෙලාවක්.  රටක් හැටියට අපි ඔක්‍කොම එකතුවෙලා ඉදිරියට යන්න ඕනේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන් අතරට ඉතාම විචිත්‍ර ක්ෂේත්‍රයන් නියෝජනය කරන්න හැකිවුණු ආදි ශිෂ්‍යයාවන් රාශියක් ඉන්නවා. ඒ වගේම ආදි ශිෂ්‍ය පරම්පරාවේ ඒ ආදි ශිෂ්‍යයන්ගේ පෝෂණයත් මේ පාසලට ලැබෙනවා.ඒ නිසා අලුත් දොරටු විවෘත කරන අවස්ථාවක මේ ගොඩනැගිල්ල  පාසලට සුවිශේෂ සම්පතක්.

මෙහි තවත් කොටසක් ඇති කිරීම සඳහා වූ  ක්‍රියාමාර්ගයට ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේදීත් උපදෙස් දුන්නා. එම ක්‍රියාව මේ වසරේ අපි මුදල් වෙන්කොට ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවයි කියන එක අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ප්‍රකාශ කරන්න කැමතියි.

අගමැතිතුමනි  විශ්වවිද්‍යාලවලට මෙවර පිවිසුණු  දරුවන් අතර බහුතරය කාන්තා පාර්ශවය.  ඒ නිසා එවන් ඉහළ ප්‍රතිඵලවලට හිමිකම් කියන අපේ බාලිකා විද්‍යාල හා කාන්තා ක්ෂේත්‍රයේ උරුමයන් වෙනුවෙන් කටයුතු කිරීමේ අභියෝගය අඛණ්ඩව ගෙනයන්නට පුළුවන්.

මෙම විද්‍යාලයට වයි.එම්.බී.ඒ. ආයතනය මුල් කාලය නායකත්වය දුන්න වගේම විශාලතම පරිත්‍යාගය කළා.  ඒ වගේම එතැන් පටන් ගොඩනැගුණු ඒ ගමන ඉතා සාර්ථකව ගෙනියන්නට විදුහල්පතිනියන්ගේ නායකත්වය විෂය දැනුම පමණක් නොව අනෙක් ක්ෂේත්‍රවලද ජයගන්නා බාලිකා විද්‍යාලයක් බවට පරිවර්තනය වුණා.

අධ්‍යාපනය දියුණුවට දරුවන් පමණක් නොව,  ගුරුවරුන් හා ගුරුවරියන් පමණක් නොව,  දෙමව්පියන් ද සහභාගි කරගත් සහයෝගය ඇතිව ඒ කර්තව්‍ය නිමා කිරීමේ වගකීම්  ජාතික වශයෙන් පුරවැසියන් හැටියට අපිට තිබෙනවා. ‍

අග්‍රාමාත්‍යතුමනි, කුමන ප්‍රචාරණයන් සිදුවුවත් ඔබතුමාගේ ආශිර්වාදය සහ  අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන්  අධ්‍යාපනයට විශාලතම මුදලක්  අයවැය ලේඛනයකින් වෙන් කරන ලද්දේ 2022 ට බව ඉතිහාසයට එක්කරල තියෙනවා. 225,000ක්  වන  ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි වෙනවා ජනවාරි මාසයේ වැටුපෙන් කියන එක මම අද අධ්‍යාපන ඇමතිතුමා වශයෙන් ප්‍රකාශ කරන්න කැමතියි.

දැනුම පමණයි ජීවිතයේ වටිනාම දේ අපිට එකතු වන භෞතික දේ කොයි අවස්ථාවෙත් නැති වෙන්න පුළුවන්. කුණාටුවක් ආවහම, ඉඩෝරයක් ආවහම, ගංවතුරක් ආවහම ගරු අග්‍රාමාත්‍යතුමා ට මතකයි,  සුනාමියක් ආවහම එකතු කරගත්ත සල්ලි දේපල ඔක්කොම ජනතාවට අහිමි වෙනවා. නමුත්  ඉතුරුවෙන එකම එක දේ තමයි ඉගෙන ගත්ත දේ යළි හිස ඔසවන්න දෙන ධෛර්යය බවට පත්වෙනවා. ඒ නිසා හැම දැරියකගේ ම ආදර ගෞරවයෙන් මෙම අවස්ථාවේදී ඉල්ලන්නේ ඔබ මේ ගතකරන කාලය යළි ලැබෙන්නේ නෑ.  ඔබ යළිත් යන්නේ නෑ  කළින් වසරේ හිටපු පන්තියට.  ඔබ යළිත් යන්නේ ඊළඟ වසරේ පන්තියට. ඒ නිසා පන්තියේ විද්‍යාලයේ ගත කරන කාලය  දැනුම නැමති මහා සම්පත ඔබේ ජිවිතයට එකතු කරගෙන උදාර පුරවැසියන් බවට අපේ රටට වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරනවා යැයි හෙතම පැවසීය.

අමාත්‍යවරුන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, දිනේෂ් ගුණවර්ධන, වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, රාජ්‍ය අමාත්‍යවරුන්වන ඩී.බී හේරත්, සීතා අරඹේපොළ, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජයරත්න හේරත්, ගුණපාල රත්නසේකර, ශාන්ත බණ්ඩාර,සමන්ප්‍රිය හේරත්, අසංක නවරත්න, යූ.කේ සුමිත්,මහාචාර්ය චරිත හේරත්, මංජුලා දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ,කුරුණෑගල ප්‍ර‍ාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත, වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන, විදුහල්පතිනි පී.එන්.එස්.ඩී අබේවික්‍රම මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය,දෙමාපියන් සහ සිසු දියණිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress