ක්‍රීඩාව තුළින් සියලු ජාතීන් අතර සමගිය ගොඩනැඟිය හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. – අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –
Posted on January 6th, 2022

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍යාංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සමග එක්ව එළඹෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භයට දින ගණනය ආරම්භ කිරීම හා ඒ සඳහා ක්‍රීඩකයින් දිරිමත් කිරීම සඳහා ඊයේ (05) දින කොළඹ පෝර්ට් සිටි හිදී පැවති වැඩසටහනට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ලොවම වඩාත් අවධානයෙන් බලා සිටින ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක් වන එළඹෙන XXIV ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය 2022 වසරේ පෙබරවාරි 4 වන දින බීජිං හිදී ආරම්භවීමට නියමිතය. ශීත ඍතු ඔලිම්පික් උළෙල උත්කර්ෂවත් අන්දමින් සහ විශිෂ්ට ආකාරයෙන් පැවැත්වීම සඳහා චීනය මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කරමින් සිටියි. මේ සඳහා ඔවුන් වසර හතරක් පුරාවට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබේ.

2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය උත්සවාකාරයෙන් දිගහැරෙන අයුරු නැරඹීම සඳහා ජනතා සහභාගීත්වයෙන් යුත් සජීවී විකාශන වැඩසටහනක් පෙබරවාරි 4 වැනිදා කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවැත්වීමට නියමිතය. මෙම සමාරම්භක උළෙල, ශ්‍රී ලංකාව සහ චීන සමූහාණ්ඩුව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා  වූ  සන්ධිස්ථානයක් වන අතර එය ඉදිරියේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය වීම සඳහා හේතු වනු ඇත.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ ද කීය‍

2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල සාර්ථකව සංවිධානය කිරීම පිළිබඳව චීන රජයට සුබපැතුම් පිරිනමනවා. ඒ වගේම  බීජිං හා ශ්‍රී ලංකාව දක්වා මෙම ශීත ඔලිම්පික් උළෙල සඳහා දින ගණනය කිරීම පිළිබඳව මෙවර ඉතා උනන්දුවෙන් කටයුතු කිරිම සම්බන්ධයෙන් ද මා ස්තූතිවන්තවෙනවා.

ශ්‍රී ලංකාව ශීත ඍතුව හෝ හිම නොමැති උෂ්ණ කලාපීය රටක් වුවද, සෑම ක්‍රීඩාවක්ම සැමරීම හරහා සියලු ජාතීන් අතර සමගිය ගොඩනැගිය හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. ක්‍රීඩාවේ සැමරුම් සඳහා ගිම්හාන ඔලිම්පික් හෝ ශීත ඔලිම්පික් ද යන්න වැදගත් වෙන්නෙ නැහැ. ඒ වගේම පැරාලිම්පික් ද යන වගත් මෙහිදී විශේෂ නැහැ.ඒ සඳහා කැපවීමයි වැදගත්.

අපි හැමෝටම ක්‍රීඩාව තුළින් ඇතිවන සබඳතාවයන් ඉතා වැදගත්. ජාතියක් වශයෙන් අපි, දීර්ඝ ඉතිහාසයක් ඇති ක්‍රීඩා සංස්කෘතියක් තිබෙන රටක්. චීනය හා ශ්‍රී ලංකාව වඩාත් මිත්‍රශීලිව දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරනවා.

මෙම ඔලිම්පික් දින ගණනය කිරීම තුළින්  ජාතීන් අතර වඩාත් හොඳ ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟීමට හැකි බව අපි විස්වාශ කරනවා.

ක්‍රීඩාවේ දක්ෂතාවයන් සඳහා කිසිම බාධාවක් නොමැති බව අපි විශ්වාස කරනවා. අපි පැරාලිම්පික් පදක්කම් 02ක් මෙවර දිනුවා. එකක් ඔලිම්පික් ඉතිහාසයේ අපි ලබාගත් ප්‍රථම රන් පදක්කම.

භාෂාව, කුලය, ආගම මේ කිසිවක් ක්‍රීඩාවට අදාළ නැහැ. හැකියාව, නොහැකියාව මේ හැම එකම ක්‍රීඩාව තුළින් එක්තැන් වෙනවා. ක්‍රීඩාව කිසිවිටක දේශපාලනික වශයෙන් වෙනස් වෙන්නෙ නැහැ.

ගෝලීය වසංගත තත්ත්වයට අභියෝග කරමින් මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව චීන රජයට සුබ පතනවා. එහි සාර්ථකත්වය ගැන හැමෝම බලාසිටිනවා. මෙහිදී ක්‍රීඩාව තුළින් හොඳ පණිවුඩයක් ලබාදෙනවා.

දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙවර බීජිං නුවර පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ලෙස ආරාධනා කරනවා’’ යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු කියු සෙන්හොංග් මහතා පැමිණ සිටි පිරිස අමතමින් මෙසේ අදහස් දැක්වීය.

2022 පැවැත්විමට නියමිත බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගයට මම ස්තූතිවන්ත වෙනවා.

2022 වසරේ පෙබරවාරි මස 4 වන දින සිට 20 දක්වා පැවැත්වීමට නියමිත මෙම උළෙල ඇරඹීමත් සමඟ, ශීත ඍතු ඔලිම්පික් වාර්තා අලුත්වීම්, උද්වේගකර තරඟකාරිත්වයන් සහ පෙර නොවූ විරූ ක්‍රීඩා දක්ෂතා වලින් මෙම ක්‍රීඩා උළෙල පිරී යනු ඇතැයි අපේක්ෂා කරනවා’’යැයි ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු තේනුක විදානගමගේ මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා පහසුකම් ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්  රවීන්ද්‍ර සමරවික්‍රම යන මහත්වරුන්, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයෙහි ප්‍රධාන දේශපාලන නිලධාරී Luochong මහතා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් විජේසූරිය, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ජාතික ක්‍රීඩා සභාවේ සභික යස්වන්ත් මුත්තෙට්ටුවේගම යන මහත්වරුන්,  2020 ටෝකියෝ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් , 2020 ටෝකියෝ පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී දුලාන් කොඩිතුවක්කු යන ක්‍රීඩකයන් දෙපළ ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍යාංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress