පන් කර්මාන්තකරුවන් නගා සිටුවීමට ආධාර උපකාර
Posted on January 10th, 2022

තිසර සමල් – අනුරාධපුර 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන් හා තල් කොළ ආශ්‍රයෙන් නිර්මාණයන් සිදු කරන කුණුරාගම ගම්මානයේ කර්මාන්තකරුවන් නගා සිටුවීම වෙනුවෙන්  රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් ආධාර උපකාර රැසක් ලබා දීම සිදු කෙරිණි.

එහිදී අදාළ කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම මත  පන් හා තල් කොළ ආශ්‍රිත නිර්මාණ සිදු කිරීමට අවශ්‍යය වැඩ මඩුවක් සකස් කර ගැනීම සඳහා සිමෙන්ති, ගල්,වැලි හා ඇස්බැස්ටෝ ෂීට් මෙන්ම මූල්‍ය ආධාරයන්ද, පන් ආශ්‍රිත නිෂ්පාදනය සිදු කිරීම සඳහා අවශ්‍යය වන පන් බෑග් අච්චු ලබා දීම, පන් වර්ග ගැන්වීම සඳහා අවශ්‍යය උපකරණ කට්ටල හා  පන් තැලීමට යොදා ගන්නා යන්ත්‍ර කීපයක්ද කර්මාන්තකරුවන් වෙත ප්‍රදානය කෙරිණි.

 ගම සමඟ පිළිසඳරක්- වැඩ සමඟ යළි ගමට” නම් වත්මන් රජයේ වැඩසටහනකදී මිහින්තලය කුනුරාගම ගම්මානයේ පන් කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස එම ගම්වාසීන්ගෙන් ලැබුණු ඉල්ලීමක් අනුව කුණුරාගම ගම්මානය මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

අමාත්‍යයතුමන් එම ගම්මානයේ පන් ආශ්‍රිත නිර්මාණයන්ගේ නියැළෙන්නන් හමුවට ගොස් ඔවුන්ට පවතින ගැටලු  එම අවස්ථාවේදී විමසා සිටියහ.එහිදී ඔවුන් කියා සිටියේ තම නිර්මාණයන් සඳහා නිසි වෙළඳපලක් නොමැති බවයි.ඒ හේතුවෙන් තම දුවා දරුවන්ද පන් කර්මාන්තයේ නියැළීමට මැලිකමක් දක්වන බව කර්මාන්තකරුවන් පැවසීය.පන් කර්මාන්තයේ නියැළෙන කාන්තාවන්ගේ නිර්මාණයන්ද නිරීක්ෂණය කළ අමාත්‍යයතුමන්, අදාළ නිර්මාණයන්ගේ නිමාව තව තවත් වැඩි දියුණු කිරීම සහ නව නිර්මාණයන් කිරිමට නිර්මාණකරුවන් යොමු කිරීම සඳහා පුහුණුවක් ලබා දීමට මෙන්ම අදාළ නිර්මාණ සඳහා වෙළඳපලක් නිර්මාණය කර දීමටද පොරොන්දු විය.ඒ අනුව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා  වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව කුණුරාගම ගම්මානයේ කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා අවශ්‍යය කටයුතු මෙලෙස මාස කීපයක් තුළ සිදු කෙරිණි.

පන් ගසින් පැදුරු, මාගල්,කළාල, බිත්ති සැරසිලි, කූඩ,පාපිසි,මුදල් පසුමිබි,වට්ටි, පෙට්ටි,අතුල්පත්, ගමන්බෑග්, හැදි දින ආනල, කුණු කූඩ, වතුර බෝතල් සඳහා බෑග්, තල් කොළ ආශයෙන් කුළු හා බෑග් වර්ග හා ප්ලාස්ටික් පටි යොදා ගෙන බෑග් වර්ග ආදී නිර්මාණ රැසක් මෙම ගම්මානයේ කර්මාන්තකරුවන් නිෂ්පාදනය කරති.එම නිෂ්පාදන සාර්ථකව කර ගෙන යාම සඳහා මෙන්ම, ඒවායේ ගුණාත්මක බව වැඩි කරමින්, වෙළඳපල අවශ්‍යතාව සපුරාලීම සඳහා වැඩි වැඩියෙන් නිෂ්පාදන සිදු කිරීම සඳහා මෙන්ම නිසි වෙළඳපලක් සකස් කිරීම වෙනුවෙන් හා කර්මාන්තකරුවන් නගා සිටුවීම වෙනුවෙන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ලබා දුන් පොරොන්දුව සඵල කරමින් කර්මාන්තකරුවන් වෙත මෙලෙස ආධාර උපකාර ලබා දීම සිදු විය.

එහිදී අදහස් දැක්වූ  ශ්‍රී.ල.නි.ප අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක, අනුරාධපුර හිටපු නියෝජ්‍යය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා,

දුමින්ද දිසානායක ඇමතිතුමා මේ ගමට ඇවිත් මේ නිෂ්පාදන දැක්කා, දැකලා මොනවද අවශ්‍යතාව කියලා තොරතුරු බලලා, එතුමා ගිහින් ප්‍රසන්න රණවීර ඇමතිතුමා හරහා මේ සාම්ප්‍රදායික නිෂ්පාදනයේ යෙදෙන ගම්මානය පිළිබඳ දැනුම්වත් කරලා මේ ගම්මානයට අවශ්‍යය පහසුකම් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා.ඒ අනුව මේ ගම්මානයට අවශ්‍යය පහසුකම් ලබා දීම සිදු වෙලා තියෙනවා. යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

ගම්මානයක් හැටියට කොහොමද මේ කර්මාන්තය දියුණු කර ගන්නේ,ගම්මානයේ ඉන්න සියලුම පවුල් ටිකකට මේ ආදායම බෙදිලා යන විදිහට කණ්ඩායම් හැගීමක් තිබුණොත් හොඳ ගමනක්, දුර ගමනක් යන්න පුලුවන්කම තියෙනවා.අද මේ ලබා දෙන සහයෝගයත් එක්ක නව නිර්මාණ බිහි කරන්න, වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න,ඒක තමයි රජයේ බලාපොරොත්තුව වෙන්නේ යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ කර්මාන්තකරුවන් කියා සිටියේ,

දුමින්ද දිසානායක මැතිතුමන්ගේ සහයෝගය මත ගම්මානයේ කර්මාන්තකරුවන් නගා සිටුවීම වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා.වැඩ මඩු නිර්මාණය කර ගැනීම වෙනුවෙන් අවශ්‍යය ද්‍රව්‍ය ලබා දී තිබෙනවා, නිර්මාණයන් සිදු කර ගැනීම සඳහා අවශ්‍යය ද්‍රව්‍යත් ලබා දී තිබෙනවා,ඒ ලබා දුන් සහය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා යනුවෙනි.

මෙම අවස්ථාවට මිහින්තලය ප්‍රාදේශීය සභා සභාපති ලාල් සෙනවිරත්න, ශ්‍රී.ල.නි.ප අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක, අනුරාධපුර හිටපු නියෝජ්‍යය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන්, රාජ්‍යය නිළධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress