බෞද්ධ ජනරජ ප්‍රවාදය – 56 වැනි කොටස – ‍උරුමයට නීතිය
Posted on February 5th, 2022

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ජනරජයේ පරමාධිපත්‍යය බලය මේ ප්‍රවාදය තුළ අර්ථදැක්වෙන්නේ ජනතාවගේ සාමූහික අයිතිවාසිකම් ද ඇතුළත් වන පරිදි ය. ජනරජයේ අනන්‍යතාව ප්‍රකාශ කෙරෙන සාමූහික අයිතිවාසිකම් සහ පොදු සාමූහික අයිතිවාසිකම් ලෙසින් ඒවා බෙදා දැක්වුණි. බුද්ධ ශාසනය, සිංහල භාෂාව සහ දේශීය දැනුම අයත්වන්නේ ජනරජයේ අනන්‍යතාව ප්‍රකාශ කෙරෙන සාමූහික අයිතිවාසිකම් තුළට ය. එයට අමතරව, වර්ධනය වන දේශීය දැනුම් පද්ධතියක් ලෙසින් ජනරජයේ නීතිය ද එම ගොන්නට ඇතුළත් කළ හැකි බැව් මෙයින් කියැවිණි.

ජනරජයේ අනන්‍යතාව ප්‍රකාශ කෙරෙන සාමූහික අයිතිවාසිකම් ආරක්‍ෂාකිරීමෙන් ද, ඒ අරභයා නීති සම්පාදනයෙන් සහ ආරවුල් පසිඳලීමෙන් ද ස්වදේශීය නීතියේ වගකීම් ඉටුකළ හැකි අතර ඒ තුළින් එහි වර්ධනය ද සළසාගත හැක්කේ ය. දීර්ඝ කාලයක් පැවැතුණු යටත්විජිත පාලනය නිසා බිඳවැටුණු දේශීය නීතියට කාලීන වර්ධනයක් අත්පත් කරගැනීමට නො හැකි විය. එවැනි වර්ධනයක් සඳහා අවැසි මූලධර්ම භාවිතාවෙන් බාහිරව හඳුන්වාදිය හැකි වුව ද ඒවා පූර්ණත්වයට පත්වනු ඇත්තේ භාවිතාව තුළිනි. ජනරජයේ අනන්‍යතාව ප්‍රකාශ කෙරෙන සාමූහික අයිතිවාසිකම් ආරක්‍ෂා කරදීම උදෙසා මැදිහත්වීම ඒ සඳහා වන එක් ප්‍රවේශයකි.

දැනට පුරාවිද්‍යා අණපනත් සහ නීතිවලින් ආවරණය වෙන ක්‍ෂේත්‍රයේ කාර්යයන් විශාල ප්‍රමාණයක් බුද්ධ ශාසනයට අදාළ ඒවා වෙයි. නටබුන් බවට පත් වී ඇති ඒ ශාසනික උරුමය පිළිබඳ ඇතිවන ආරවුල් විසඳිය යුත්තේ ජනරජය විසින් බුද්ධ ශාසනයට පිරිනමන ප්‍රමුඛතාව සැළකිල්ලට ගැනීමෙනි.

මෙම ඓතිහාසික ස්ථානවල උරුමය සතුවන්නේ ශාසනයේ භාරකාරත්වය උසුළන භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා සිව්වනක් පිරිස වෙත ය. ශාසනික භාරකාරත්වයක් නැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනයකට එම ස්ථාන පිළිබඳ උරුමයක් නොමැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි ආයතන වෙත පැවැරෙන්නේ අදාළ ස්ථාන කැණීම, සංරක්‍ෂණයකිරීම වැනි කාර්යයන්ට අදාළ තාක්‍ෂණික සහාය ලබාදීමේ වගකීම පමණකි.

ඓතිහාසික වටිනාකමක් තිබෙන ශාසනික උරුමය ආරක්‍ෂාකිරීමේ ශක්තිය (ඒ සඳහා අවශ්‍ය අධ්‍යාත්මික බැඳීම, පිරිස් බලය සහ මූල්‍යමය හැකියාව) ඇත්තේ ද සිව්වනක් පිරිස වෙත ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට එවැනි ශක්තියක් නොමැත. එහෙයින් මෙම කාර්යයට අදාළ නීති සම්පාදනය විය යුත්තේ ද ඒවා ආශ්‍රිතව ඇතිවිය හැකි ආරවුල් නිරාකරණය කළ යුත්තේ ද ශාසනික උරුමය සුරක්‍ෂිත වන පරිදි ය. එම නීතිවලට අවනතව පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් සහ මගපෙන්වීම් ද ලබාගනිමින් අදාළ ස්ථාන ප්‍රතිසංස්කරණය සහ මැනැවින් පවත්වාගෙන යෑම ශාසනික භාරකරුවන්ගේ වගකීමකි.

මේ හා සමාන කාර්යයක් වන සංරක්‍ෂණ නීතිවලට ද අදාළ වෙයි. රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් වන සම්පත ආරක්‍ෂාකිරීමේ වගකීම ජනරජයේ සෑම රටවැසියකු වෙත ම පැවැරෙයි. විධිමත් සහ අවිධිමත් ආකාරවලින් එයට අදාළ දැනුම ජනගතකිරීම ජනරජයේ සියලු මට්ටමේ ආයතනවලින් සිදුවිය යුත්තේ ය. එ සේ ම, ජනතාවගෙන් ඈත්කර එම සම්පත ආරක්‍ෂා කරගත නො හැකි බව ද අදාළ නීති සම්පාදකයින් විසින් වටහාගත යුත්තේ ය. රාජ්‍යයේ පැවැත්මට සහ අභිවෘද්ධියට උපකාරී වන සම්පතක් ආරක්‍ෂා කළ යුත්තේ ජනතාව විසින් ම ය.

මෙම වගකීම ජනතාව විසින් ඉටුකරනු ඇත්තේ ඒ පිළිබඳ අධ්‍යාත්මික සහ ජීවන බැඳීමක් වන සම්පත කෙරෙහි ඇත්තේ නම් පමණකි. මෙම කාර්යය සඳහා අපේක්‍ෂිත අධ්‍යාත්මික බැඳීම ශාසනික මැදිහත්වීම් තුළින් ද ඇති කළ හැක්කේ ය. මෙ රට පවත්නා ආරණ්‍ය සේනාසන සම්ප්‍රදාය මැදිහත් කරගැනීම මේ සඳහා යොදාගත හැකි ඉතා යෝග්‍ය ක්‍රමවේදයකි. එවැනි සේනාසනයක පැවැත්ම සහ අභිවෘද්ධිය තහවුරුවන්නේ අදාළ වනාන්තර භූමි ආරක්‍ෂා වන තරමට ය.

මෙවැනි සේනාසනවල පැවැත්ම ජනරජයේ අනන්‍යතාව ප්‍රකාශ කෙරෙන සාමූහික හිමිකම් තුළට ද අයත්වෙයි. එහෙයින් ජනරජයේ වන සංරක්‍ෂණ තීති සම්පාදනය කිරීමේ දී මෙම උරුමයට ප්‍රමුඛතාව දිය යුතු බව ද පැහැදිළි ය. එ මෙන් ම, මෙම කාර්යය ආශ්‍රිතව උද්ගත විය හැකි ආරවුල් නිරාකරණයේ දී ද අදාළ ශාසනික ප්‍රමුඛතාව සැළැකිය යුතු වෙයි.

මෙයින් කියැවෙන්නේ සියලු වනාන්තර ආරණ්‍ය සේනාසන බවට පත්කළ යුතු බවක් නොවේ. මෙම අදහස අදාළවනුයේ දැනට පවත්නා සහ ඉදිරියේ දී පිහිටුවනු ලබන ආරණ්‍ය සේනාසන සම්බන්ධයෙන් පමණකි. දැනට පවත්නා සේනාසනයක් ආරක්‍ෂාකිරීමේ දී සහ ඉදිරියේ පිහිටුවනු ලබන සේනාසනයක් සඳහා අනුමැතිය ලබාදීමේ දී මෙම ප්‍රමුඛතාව නො සළකා ක්‍රියා කළ නොහැකි බව නීති සම්පාදකයින් සහ නීතිය පසිඳලන්නන් විසින් වටහාගත යුත්තේ ය.

මේ අනුව ජනතා පරාමාධිපත්‍යයට අයත් ශාසනික උරුමය පරිපාලන නීතිවලට යටපත්කිරීම වැළැකෙයි. අදාළ නීති පැවැතිය යුත්තේ සහ ක්‍රියාත්මක කළ යුත්තේ ජනරජයේ අනන්‍යතාව ප්‍රකාශ කෙරෙන සාමූහික අයිතිවාසිකම් (උරුමය) ආරක්‍ෂා කරගැනීමේ ප්‍රමුඛ වගකීම සැළැකිල්ලට ගැනීමෙනි. සිංහල භාෂාව සහ දේශීය දැනුම භාවිතය සහ පෝෂණයට අදාළ ජනරජයේ වගකීම් ද මෙම ආකාරයෙන් ම තහවුරු කළ හැක්කේ ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress