කැමිලාට මහ රැජන වෙන්නජනතාව ඉඩ දෙයිද?
Posted on February 13th, 2022

බ්‍රතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි උපුටා ගැන්ම  අරුණ පුවත්

ලෝකයේ ඉතා ප්‍රසිද්ධ හා ජනප්‍රියතම රජු හෝ රැජන වන්නේ අන් කිසිවකු නොව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජනයි. පසුගිය වසරේ මහා බ්‍රිතාන්‍ය පුරාම ජනතා ආදර කැමැත්ත පිළිබඳ පැවැති ඡන්ද සමීක්ෂණයේදී ජනතාවගෙන් 75%ක්මතමන් ඉතාම කැමැති රජ පවුලේ සාමාජිකයා මහා රැජන බවට ප්‍රකාශ කර තිබේ. විලියම් කුමාරයා ජනප්‍රියත්වයේ දෙවැනි තැනට කේම්බ්‍රිජ් ආදිපාදවරිය වශයෙන් හැඳින්වෙන කේට් කුමරිය තුන්වෙනි තැනටද තේරී තිබුණි. මෙහි පුදුම කරුණ නම් මීළඟට බ්‍රිතාන්‍යයේ රජකම හිමි 77 හැවිරිදි චාල්ස් කුමාරයාට කැමැත්ත ප්‍රකාශකොට ඇත්තේ 17%ක් පමණක් වීමය. ජනප්‍රියත්වය හිණිමගේ පාමුලට වැටී ඇත්තේ චාල්ස් කුමරුගේ බිරිඳ කැමිලා බෝල්ස් පාකර් ය. ඇයට කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ රටේ ජනගහනයෙන් 7%ක් වීම ගැන අපි කාටවත් පුදුම නොසිතෙන්නේ චාල්ස් සහ ඩයනාගේ කසාදය කඩාකප්පල් කළ විවාහක ගැහැනිය වශයෙන් බ්‍රිතාන්‍ය ජනතාවගෙන් වැඩි පිරිසක් තවමත් ඇයට වෛර කරන නිසාය.

1947 ජූලි 17 දා ඉපදුණු කැමිලා චාල්ස් කුමරුට වඩා මාස 17 කින් වැඩිමහල්ය. 1970 දී බ්‍රිතාන්‍යයේ ඉහළ පැළැන්තියේ අය විනෝදයට සෙල්ලම් කරන පෝලෝ ක්‍රීඩාවකදී චාල්ස් කුමරුට කැමිලා මුල්වරට හමුවිය. චාල්ස් කුමරු සමග උකුළු මුකුළු කරමින් සතුටු සාමීචියේ යෙදුණු ඇය කුමාරයාණෙනි ඔයාගේ සීයාගේ තාත්තගේ අනියම් පෙම්වතිය වෙලා හිටියෙ මගේ අත්තම්මගේ අම්මා බව දන්නවාද? හින්දා අපි දෙන්නටත් අනියම් නෑකමක් තියෙනවනේයැයි විහිළුවට මෙන් කියා ඇත. මෙය අසා කොක් හඬලා සිනාසුණු චාල්ස් එහෙම නම් මමත් ඔයාව මගේ අනියම් ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්නම් කියා විහිළුවෙන්මඋත්තර දී ඇත. ඉන්පසු චාල්ස් හා කැමිලා දෙතුන් වරක්ම හමුවී එකිනෙකාට ප්‍රේම කරන්න පටන් ගති.

නමුත් එම ප්‍රේමය ලියලන්නට දෛවය ඉඩ දුන්නේ නැත. මහ රැජන හා පිලිප් කුමාරයා බලාපොරොත්තු වූ පරිදි චාල්ස් කුමාරයා නාවික හමුදාවට බැඳුණි. ඈත පළාත්වල නාවික කඳවුරුවලට වරින්වර මාරුවෙමින් පුහුණු වූ චාල්ස් කුමාරයාට තම ප්‍රේමය අමතක කරන්නට වූයේ ඔවුන් දෙදෙනාට හමුවීමට අවස්ථාවක් නොතිබුණ නිසාය.

1973 දී නාවික හමුදා නිලධාරියකු ලෙස පිට වූ චාල්ස් කුමාරයාට දැනගන්නට ලැබුණේ තමාගේ පරණ පෙම්වතිය කැමිලා, ඇන්ඩෲ පාකර් ඇයට වඩා අවුරුදු 7 ක් වැඩිමල් හමුදා නිලධාරියකු සමග විවාහ වී ඇති බවයි. මෙහි පුදුමය වූයේ ඔහු එයට කලකට පෙර චාල්ස්ගේ වැඩිමල් සොයුරිය වූ ඇනා කුමරියගේ පෙම්වතා වීමයි. ඇන්ඩෘෘ හා කැමිලාට දරුවන් දෙදෙනකු ලැබුණි. මේ පවුල් දෙක කොතරම් සමීප වූවා දැයි කියනවා නම් කැමිලාගේ දෙවැනි පුතුගේ කැපකරු පියා වූයේ චාල්ස් කුමාරයා ය.

ඉන් කලකට පසු චාල්ස් සේරා ස්පෙන්සර් නමැති තරුණ ආර්යාවක් සමග පෙමින් බැඳුණි.

නමුත් චාල්ස්ට රාජකාරිය සඳහා ඈත මුහුදේ යුද නෞකාවල මාස ගණන් එක දිගට සේවය කරන්නට සිදුවීම නිසා චාල්ස් හා සේරා ස්පෙන්සර්ගේ ප්‍රේම සම්බන්ධතාවටද කොකා හැඬෙව්වේය. 1980 වසරේ සේරා ස්පෙන්සර් ආර්යාවද වංශවත් තරුණයකු සමග විවාහ වීය. එතකුදු වුවත් චාල්ස් සේරාගේ මිත්‍රත්වයට එයින් හානි වූයේ නැත.

දෛවයේ හැටි. විවාහක සේරා තම 18 හැවිරිදි නංගී චාල්ස් කුමාරයාට සෙට් කළේය. සේරාගේ නංගී ඉතාමත් රූමත් තරුණ ආර්යාවක් නිසා චාල්ස් කුමරු සේරාගේ ආශිර්වාදය මැද්දේ ඇයගේ නංගිට පෙම් බැන්දේ 1980 අග භාගයේදීය.

1981 ජූලි 29 දා ලෝකය පුරා මිලියන 750 ක් සජීවීව නරඹද්දී 33න් හැවිරිදි චාල්ස් කුමරු 19 හැවිරිදි සේරාගේ නංගී හෙවත් ඩයනා ස්පෙන්සර් කුමරිය සමග ශාන්ත පෝල් දේවස්ථානයේ දී විවාහ වීය. මුළු ලොවම එදා මේ යුවළට හද පතුලෙන්ම ආසිරි පැතුවේය. ඩයනා කුමරිය 1982 දී විලියම් කුමරුද 1984 දී හැරී කුමාරයාද මෙලොවට බිහි කළාය.

ඩයනා කුමරියට මුළු ලෝකයම එක හිතින් ආදරය කළේය. 1984 වර්ෂයේ පමණක් ලෝකයේ සඟරා ලක්ෂ එකහමාරකම පිට කවරය සැරසී තිබුණේ ඩයනාගේ පින්තූරයෙනි. ඩයනා හා චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ හෝ විදේශ රටවල් නිල සංචාරය කළ හැම විටම ලක්ෂ ගණන් ජනතාව ඩයනාව දකින්නට පැමිණියෝය.

මුළු ලෝකයම ඩයනාට වශීව සිටියත් ඩයනාට ආදරය නොකළ එකම එක පුද්ගලයකු ඇයගේ ජීවිතයේ සිටියේය. ඒ අන් කවුරුවත් නොව ඇයගේ සැමියා වූ චාල්ස් කුමාරයාය. කිසිම පිරිමියකුට තමන්ගේ ප්‍රථම ආදරය කිසිසේත් අමතක කළ නොහැකි යැයි කතාවක් තිබේ. ^wfka ug;a tfyuh’ kuq;a පින් සිද්ද වෙයි uf.a ìß| රුවිනීට නම් tA nj lshkak tmd.&

චාල්ස් කුමාරයාට වූයේද එයමය. ඔහු 1986 දී විවාහක කැමිලා සමග නැවත වරක් පරණ පෙම් සම්බන්ධතාව පටන්ගත්තේය. තම සැමියාට හොරෙන් කැමිලාද, ඩයනාට හොරෙන් චාල්ස් කුමාරයාද ඉහළ පෙළේ යහළුවන්ගේ ගෙවල්වල දී එකට හමුවීය. ඔවුන්ගේ රහසිගත ප්‍රේමය දිගින් දිගටම දලු ලෑවේය. අන්තිමේ දී ඔවුන්ගේ ප්‍රේමය යහන්ගත වීම දක්වාම දික් වීය.

මේ රහස් සම්බන්ධය ආරංචි වී ඩයනා අතිශයින් දුකට පත්විය. තම දරුවන් දෙදෙනාගේ පියා මෙවැනි අනියම් ප්‍රේමයක පැටලෙයි යැයි ඇය කිසි විටෙකත් සිතුවේ නැත. කෑම අරුචිය හැමදේම එපා වීම යන රෝගවලින් පෙළෙන්නට පටන් ගත් ඇය අන්තිමේදී මානසික් ආතතියට ලක්විය. රජ පවුලේ අනික් සාමාජිකයනුත් තමන් කොන් කරන බවත් චාල්ස්ගේ අනියම් පෙමට ඔවුන් පවා යටින් උදව් කරන බවත් ඇයට වැටහුණාය.

වරෙක වංශවත් මිතුරකුගේ ප්‍රිය සම්භාෂණයකදී ඇයට හදිසියේ කැමිලා පාකර් හමුවිය. ඉතා වේදනාවෙන් හා කෝපයෙන් ඇය ළඟට ගිය ඩයනා මෙසේ කීවායහිතන්න එපා ඔයැයි චාල්සුයි නටන නැටිලි මම දන්නේ නැහැයි කියා. ඔක්කොම මට ආරංචියිකීය.

එයට පිළිතුරු වශයෙන් කැමිලා මෙසේ කීය. ඔබට ජීවිතයේ අවශ්‍ය ඕනම දේ ලැබිලා තියෙනවා. මුළු ලෝකයම ඔබට ආදරේ කරනවා. ඔබට ලස්සන පුතුන් දෙදෙනෙක් ඉන්නවා. තව මොනවද ඔබට අවශ්‍ය”. ඩයනා ඇයට මෙසේ පිළිතුරු දුන්නාය. ඔබ දෙදෙනාට මාව ලොකු බාධාවක් වීම ගැන මට කනගාටුයි. මම මෝඩයකුට ගණන් ගන්න එපා. මගේ සැමියා මට ආපසු අවශ්‍යයි.” ඩයනා කුමරිය අඩි හප්පා ප්‍රිය සම්භාෂණයෙන් පිටව ගියාය.

චාල්ස්ගේ මේ හොර ප්‍රේම සම්බන්ධය ලොවට හෙළි වූයේ ඔහු තම පෙම්වතිය සමග පෙම්බස් දොඩන හා ලිංගික කරුණු බොහොමයක් අඩංගු හඬපටයක් ඔස්ට්‍රියා හා ජර්මන් පුවත්පත් දෙකක පළ වූ පසුය. මුළු බ්‍රිතාන්‍යම කැමිලාව පිළිකුල් කරන්නට පටන් ගත්තේ එදා සිට ය.

1992 දෙසැම්බර් 9 දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් එවකට අගමැති ජෝන් මේජර් කියා හිටියේ ඩයනා කුමරිය හා චාල්ස් කුමාරයා වෙන් වීමට තීරණය කළ බවය. නමුත් ඔවුන් තම පුතුන් දෙදෙනා එකමුතුව ඇති දැඩි කිරීමට තීරණය කොට තිබේ. දික්කසාද වීමට දෙදෙනාගේ කිසිම අදහසක් නැති නිසා චාල්ස් කුමරු රජවනදාට ඩයනා කුමරියට රැජන වීමට නීතියෙන් කිසිම බාධාවක් නැතැ ”යි අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අර්බුදයේ දී ඩයනාට රජ පවුලෙන් උපදෙසක් ගැනීමට සිටියේ රැජනගේ සැමියා පිලිප් කුමාරයා පමණි. ඒ දිනවල රටේ පැවැති කතාව වූයේ චාර්ල්ස් ඩයනා අර්බුදයේ දී මහරැජන පවා චාල්ස්ගේ පැත්ත ගත් බවයි.

මුළු ලොවම ආදරය කළ ඩයනා තම දරුවන් දෙදෙනා සමග කෙන්සින්ටන් මාලිගාවේ තනිව ජීවත් වූවාය. පාළුව හා තනිකම ඉවසා ගැනීමට බැරුව ඇයත් පෙම්වතුන් ඇසුරු කරන්නට පටන් ගති. එවකට ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයකු,හමුදා නිලධාරියකු, ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු වරින් වර ඇයගේ පෙම්වතුන් වූහ. චාල්ස් දිගින් දිගටම තම විවාහක පෙම්වතිය වූ කැමිලාගේ පහස පැතුවේය.

1995 දී Andrew Parker Bowels හමුදා නිලධාරියා හා කැමිලා දික්කසාද වූහ. එම වසරේ නොවැම්බර් මාසයේ ලක්ෂ සංඛ්‍යාත රූපවාහිනී ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඩයනා කුමරිය Martin Bashir නමැති නිවේදකයා සමග තමාගේ විවාහය දෙදරා යාම ගැන දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වීය. ඩයනාගේ දික්කසාදයට එක හේතුවක් වූයේ කැමිලා දැයි යන පැනයට ඇය දුන් පිළිතුර ලෝක ප්‍රචලිත විය.

Well there was three of us in this marriage, so it was bit crowded.”අපේ විවාහයේ තුන්දෙනෙක් හිටියා. නිසා එතන පොඩි තදබදයක් තිබුණායැයි ඇය වචන දහසකින් කිවයුතු දේ ඉතා කෙටියෙන් පැවැසුවාය.

ඉන්පසු පුවත්පත් හා මාධ්‍ය තුළින් චාල්ස් කුමාරයා හා ඩයනා කුමරිය අමිහිරි යුද්ධයක එළඹී සිටියෝය.

මෙහෙම එකිනෙකාට දොස් පවරමින් ප්‍රසිද්ධියේ සටන් කරනවට වඩා නීත්‍යනුකූලව දික්කසාද වීම හොඳ නැද්දැයි මහරැජන ඔවුන් දෙදෙනා කැඳවා විමසීය. එතුමියගේ ඉල්ලීමට අවනත වෙමින් 1996 අගෝස්තු මාසයේ ඩයනා කුමරිය විශාල වන්දියක් ලබාගෙන චාල්ස් කුමාරයාගෙන් දික්කසාද විය. කෙන්සින්ටන් මාලිගාවේ පරාණ බුක්තියද ඇයට හිමි විය. එයට හුවමාරුවක් වශයෙන් තමාට හිමිව තිබූ Her Royal Highness රාජකීය උත්තමාවිය යන නම්බුනාමය හා බ්‍රිතාන්‍යයේ රැජන වීමට ඇති අයිතිය ඇය ආපසු භාර දුන්නාය. ඩයනා කුමරියට ඉතිරිවූයේ Princess of Wales වේල්ස් කුමරිය යන පදවිය පමණි.

පැරීසියේ දී පැපරාසියන්ගෙන් බේරීමට තම අරාබි පෙම්වතා සමග මෝටර් රථයකින් පලා යද්දී ඩයනා කුමරිය බරපතළ රිය අනතුරකට ලක් වී එතැනම මිය ගියේ 1997 දීය. මුළු බ්‍රිතාන්‍යම මහා මළ ගෙයක් විය. 1997 සැප්තැම්බර් 6 වනදා ඩයනා තම අවසන් ගමන යන අන්දම ලොව පුරා මිලියන 2500 ක් පමණ ජනතාවක් කඳුළු සලමින් බලා සිටියහ.

විවාහක චාල්ස් සමග හොර සම්බන්ධයක් ඇතිකර ගැනීම නිසා කැමිලාද ඩයනාගේ මරණයට අනියම් ලෙස වගකිව යුතුයැයි බ්‍රිතාන්‍ය ජනතාව ඇයට චෝදනා එල්ල කරන්නට විය. ඩයනාගේ විවාහය කඩාකප්පල් කරමින් ඇය මරණය කරා ගෙන ගියා කියමින් The Sun පත්‍රය කැමිලාව හැඳින්වූයේ ජාතියේ අංක එකේ හැතිරියලෙසය.

ඩයනාගේ අවමඟුලෙන් මාස හයක් යන තුරුම පොලිසිය කැමිලාගේ නිවසට දිවා රෑ ආරක්ෂාව සැපයීය.

ජනතාව කොතරම් විරුද්ධ වුවත් චාල්ස්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ තම පළමු පෙම්වතිය තමාගේ බිරිඳ කරගැනීමටය. නමුත් මහ රැජන එයට කැමැත්ත දෙන තුරු ඔහුට බොහෝ කලක් බලා සිටින්නට සිදුවිය. අන්තිමේදී ඔවුන් දෙදෙනා මුල් වරට හමු වී වසර 35කට පසු 2005 අප්‍රේල් 8 දා චාල්ස් සහ කැමිලා සාමාන්‍ය උත්සවයකින් (Civil Ceremony) විවාහ විය. ඇයට රාජකීය උත්තම කොන්වල් ආදිපාදවරිය (Her Royal Highness The Dutchess fo Cornwall) නම්බු නාමය රැජන විසින් පිරිනමන ලදී.

වන විටත් චාර්ල්ස් ඔය ගෑනි බැන්දට අපිට කමක් නැහැ. නමුත් අපි නම් ඕකිට කවදාක්වත් රැජන කියන්නේ නැතැයි ඩයනා අනුගාමිකයෝ දිගින් දිගටම පත්තරවලට ප්‍රකාශ කරන්නට වූහ.

අන්තිමේදී ඔවුන් සැනසීම සඳහා බකිම්හැම් මාලිගාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චාර්ල්ස් කුමාරයා රජ වූ විට කැමිලාව හැඳින්වෙන්නේ Princess Consort හෙවත් සහකාර කුමරිය යනුවෙන් බවත් කිසිවිටක ඇයට රැජින පදවිය නොලැබෙන බවත්ය. මෙම ප්‍රකාශය බොහෝ කැමිලා විරෝධීන්ගේ කනට මී පැණි වක් කරන්නාක් මෙන් වීය.

කැමිලා පාකර් යනු වටිනා රජ විවාහයක් කඩාකප්පල් කළ දුෂ්ට ගැහැනියක් බවත් ඇය රටේ රැජන වන්නේ නැතිනම් තමන්ට සැනසිල්ලේ නිදාගත හැකි බවත් ඔවුන් ප්‍රීතියෙන් ප්‍රකාශ කළහ.

විවාහයෙන් පසු කැමිලා චාර්ල්ස් කුමාරයාගේ High Grove මාලිගාවේ වාසයට ගියාය. තමා රජ වූ පසු කැමිලාට ලැබෙන්නේ Princess Consort පරිවාර කුමරිය යන පදවිය පමණක්වීම ගැන චාර්ල්ස් සතුටු වූයේ නැත. එනිසා කැමිලා කවදා හරි තම රාජ්‍ය මහේෂිකාව (Queen Consort) කර ගැනීමට චාර්ල්ස් යටි කූට්ටු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළේය.

ඩයනා කුමරිය වියෝ වූ දා සිට බ්‍රිතාන්‍යයේ වැඩි පිරිසක් තම බිරිඳට වෛර කරන බව හොඳටම දැන සිටි චාර්ල්ස් කුමරු ඇය ජනතාව අතර ජනප්‍රිය නිලධාරී මණ්ඩලයක් පත්කළේය. ඔවුන්ගේ මෙහෙයුම වූයේ කෙමෙන් කෙමෙන් කැමිලාටත් ඩයනා කුමරියට ලැබී තිබුණ ජනප්‍රියතාව ලබා දීමය. ගොඩනැගිලි විවෘත කිරීම, තෑගි ප්‍රදානෝත්සව උත්සවවල ප්‍රධාන අමුත්තා වීම, පැළ සිටුවීම, රෝහල් පාසල් හා ළමා නිවාසවල සංචාරය කිරීම, විවිධ පුණ්‍ය ආයතනවල අනුශාසක ධුරය දැරීම වැනි කාරණා සඳහා දිවයිනේ දස අතින් ඇයට ආරාධනා ලැබුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මේ අන්දමට විවාහයෙන් පසු අවුරුදු 16ක් තිස්සේ කැමිලා තමා ජනතාව හිතන තරමේ නපුරු ගැහැනියක් නොව ඉතා කරුණාවන්ත හා දයාබර මවක් බව රටට අඟවන්නට දැඩි උත්සාහයක යෙදුණි.

චාර්ල්ස් කුමාරයා රජ වෙනදා තමාට රාජ්‍ය මහේෂිකාව හෝ රැජන විය හැක්කේ එළිසබෙත් මහ රැජනගේ හිත දිනාගත්තොත් බව කැමිලා හොඳින් වටහා ගෙන සිටියේය.

එයට අමතරව කැමිලා හොඳ ලේලියක් මෙන් එළිසබත් මහ රැජනට හා පිලිප් කුමරුට නිතර නිතර සත්කාර කරමින් ඇයගේ තනිවට සිටිමින් ඇයගේ හිත දිනාගන්නට වෑයම් කළාය.

රැජනට හා පිලිප් කුමරුට අන්තිමේදී කැමිලා තරම් හොඳ ලේලියක් ලොව නැතැයි කියා හිතෙන තරමටම ඇය ඔවුනට නැතුවම බැරි හිතවතියක් හා උපස්ථායිකාවක් බවට පත්ව සිටියාය.

බ්‍රිතාන්‍යයේ මහ රැජන වශයෙන් අභිෂේක ලබා අවුරුදු හැත්තෑවක් පිරුණු පසුගිය පෙබරවාරි 6 ඵෙතිහාසික දිනයේ මහ රැජන ජනතාවට නිකුත් කළ පණිවුඩයේ මෙසේද සඳහන් වීය. මගේ පුතා චාර්ල්ස් කුමාරයා බ්‍රිතාන්‍යයේ රජකම භාර ගන්නා දිනයේ දී ඔහුගේ බිරිඳ කැමිලා රාජ්‍ය මහේෂිකාව වශයෙන් හඳුන්වනවා දැකීම මගේ ලොකුම අභිප්‍රායයි.

රාජ්‍ය මහේෂිකාව යන පදවියේ සැඟවුණු අරුත රැජන යන්නයි.

එළිසබෙත් රැජන මේ හදන්නේ චාල්ස් කුමරු රජවන දවසේ පරිවාර කුමරිය නමැති ගෞරව නම් පමණක් ලැබෙන්නට සිටින Camilla Parker කොන්වල් ආදිපාදවරිය පස්සා දොරින් රැජන කිරීමටයි ” කියමින් ඩයනා කුමරියගේ අනුගාමිකයෝ දැනටමත් තම බලවත් විරෝධය පාමින් සිටිති.

අපේ ඩයනාට ඔය හැතිරිය කරපු දේවල් අමතක වෙන්න මොකද අපි මැරිලා ඉපදුණාද. කැමිලා මහ රැජන කරොත් අපි ඒකට විරුද්ධව මහ පාරට බහිනවා.” යි ඔවුන් දැනටමත් තර්ජනය කරති. නමුත් කැමිලාට දැන් හරි ජොලිය. මහ රැජන ඇයට විශාල තල්ලුවක් දී ඇත. මතු දවසක තම සැමියා චාර්ල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජ වන දවසේ තමාට මහ රැජනගේ මව පැලඳි කැරට් 105හේ ඉන්දියානු කොහිනුර් දියමන්තිය ඇතුළු දියමන්ති දහසකින් සැදුණු රන් ඔටුන්න හිස පලඳා ගැනීමට හැකිවනු ඇතැයි හිත යටින් හිතමින් ඇය බලවත් උද්දාමයට පත්ව සිටිනවා ඇත.

බ්‍රිතාන්‍යයේ කිරුළ අත්හැරීමට දෙවැනි එළිසබෙත් රැජන තවම ලැහැස්ති නැත. ලෝක ඉතිහාසයේ දීර්ඝ කාලයක් කිරුළ දැරූ රජතුමා වශයෙන් වාර්තා ලබා සිටින්නේ 1643 සිට වසර හැත්තෑ දෙකක් එක දිගට රජ කළ ප්‍රංශයේ දාහතරවැනි ලුවී රජතුමාය. එම වාර්තාව බිඳ හෙළීමට නම් එළිසබෙත් මහ රැජන තව අවුරුදු දෙකහමාරක් රජ කළ යුතුය.

දැනට අනූපස් වන වියේ සිටින මහ රැජන චාර්ල්ස් කුමාරයාට රජකම භාරදී කැමිලා නිසා රටේ අනවශ්‍ය අර්බුදයක් මතු කරනවා වෙනුවට තව අවුරුදු දෙකක්වත් එතුමිය බ්‍රිතාන්‍ය කිරුළ දරනු ඇතැයි ජනතාව ඉතා ආදරයෙන් බලාපොරොත්තු වෙති.

මතු දවසක තම සැමියා චාර්ල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජ වන දවසේ තමාට මහ රැජනගේ මව පැලඳි කැරට් 105හේ ඉන්දියානු කොහිනුර් දියමන්තිය ඇතුළු දියමන්ති දහසකින් සැදුණු රන් ඔටුන්න හිස පලඳා ගැනීමට හැකිවනු ඇතැයි හිත යටින් හිතමින් ඇය බලවත් උද්දාමයට පත්ව සිටිනවා ඇත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress