බෞද්ධ ජනරජ ප්‍රවාදය – 58 වැනි කොටස-‍මහෞෂධ පිළිවෙත
Posted on February 15th, 2022

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

හේතු නො විමසා ගැටලු විසඳීම බෞද්ධ පිළිවෙත නොවේ. එහෙයින් බෞද්ධ අධිකරණ ක්‍රියාදාමය තුළ විනිශ්චයට පාත්‍රවන ආරවුල්, වියවුල් සහ වැරැදිවලට අදාළ පසුබිම් හේතු විමසීමට ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු බැව් මෙයට පෙර ලිපියෙන් අපි අවධාරණය කළෙමු. මෙම කාර්යයෙහි අරමුණ වන්නේ නැවත නැවතත් එවැනි ආරවුල්, වියවුල් සහ වැරැදි ඇතිවීම වැළැක්වීම ය. එයට අමතරව, විනිශ්චය තුළින් සාධනීය තීන්දු ලබාදීමක් ද අධිකරණ ක්‍රියාදාමය තුළින් සිදුවිය යුත්තේ ය.

රාජ්‍යයේ ස්ථාවරභාවය සහ අනන්‍යතාව ආරක්‍ෂාකිරීම, ජනතාව සුඛිත මුදිතකිරීම, යහපත් සමාජයක් ගොඩනැගීම යන ජාතික අවශ්‍යතා වෙනුවෙන් සහායවීම බෞද්ධ අධිකරණ ක්‍රියාදාමයේ අරමුණු වෙයි.  අධිකරණය විසින් ලබාදෙන තීන්දු සාධනීය ඒවා ලෙසින් සැළැකිය හැක්කේ එමගින් උක්ත අරමුණු සාක්‍ෂාත් කරගැනීමට ලැබෙන පිටුවහල ඇගැයීමෙනි.

තනි තනිව ගත්කල සමාන වශයෙන් පෙනී යා හැකි සිදුවීම් උක්ත අරමුණු සමඟ සසඳන කල්හි එකිනෙකට හාත්පසින් ම වෙනස්වීමේ ඉඩක් ද වෙයි. එහෙයින් විනිශ්චයට ලක්කරනු ලබන කාරණයට පසුබිම් වූ හේතු විමසීම මෙන් ම සාක්‍ෂි විභාගයෙන් අනතුරුව ලබාදෙන තීන්දුවලින් උක්ත ජාතික අරමුණු සාක්‍ෂාත් කරගැනීමට උපස්ථම්භක වන ආකාරය විමසා බැලීම ද ඉතා වැදගත් වෙයි.

දරුවකුගේ හිමිකම පිළිබඳ නඩු තීන්දුවක් ලබාදීමේ දී එම දරුවාගේ අනාගත යහපැවැත්ම පිළිබඳව සළකා බැලීම වර්තමාන අධිකරණ ක්‍රමය තුළ ද සිදුවෙයි. එහෙත් වෙනත් නඩු තීන්දුවල දී මෙවැනි කරුණු සළකා බැලීමක් සිදුවන්නේ නැත. නිදසුනක් වශයෙන් දේපළ නඩුවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ හැකි ය. යම් දේපළකට උරුමකරුවන් කිහිප දෙනකු සිටින බව තහවුරු වූ විට අධිකරණය තීන්දුකරන්නේ ඒවා ඒ ඒ පාර්ශ්වකරුවන්ගේ උරුමයට ගැලැපෙන පරිදි බෙදාදීම ය. මෙවැනි බෙදීමකින් එම දේපළෙහි අනාගත පැවැත්මට අත්වන ඉරණම ගැන අධිකරණය නොතකයි.

බෙදා වෙන්කළ දේපළක් ආර්ථික වශයෙන් කිසිදු වටිනාකමක් නැති වස්තුවක් බවට පත්විය හැකි ය. මෙවැනි නඩු තීන්දුවක් නිසා කෘෂිකාර්මික ඉඩමක භාවිත වටිනාකම නැතිවන්නේ නම් ජනතාව සුඛිත මුදිතකිරීමේ ජාතික අරමුණට එයින් බාධාවක් එල්ලවෙයි. එවැනි නඩු තීන්දුවක් නිසා රාජ්‍යය සතු වගාකළ හැකි බිම් ප්‍රමාණය අඩු වී යා හැකි ය. ඉඩමක් බෙදීමේ දී ප්‍රවේශ මාර්ග සඳහා කරනු ලබන වෙන්කිරීම්, ජලය ලබාගැනීමට ඇතිවන බාධා වැනි හේතු නිසා බෙදුණු කොටස්වල ඵලදායිතාව හීනවිය හැකි ය.

එහෙයින් උරුමය පමණක් සළකා එවැනි දේපළක් බෙදාදීම සාධනීය කාර්යයක් නොවේ. දරුවකුගේ අනාගතය බලා හිමිකම තීරණය කරනු ලබන අයුරින් ම, අදාළ දේපළෙහි අනාගත භාවිතය සළකමින් තීන්දු ලබාදීම අධිකරණයේ වගකීම වෙයි. අදාළ දේපළ සම්බන්ධයෙන් ගම් සභාව වැනි බිම් මට්ටමේ පාලන ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන නිරීක්‍ෂණ වාර්තා, ක්‍ෂේත්‍ර නිරීක්‍ෂකයන්ගේ නිර්දේශ, කෝරළ බුද්ධි මණ්ඩලයේ නීති අංශයේ අදහස් සහ අනෙකුත් ඇගැයීම් මේ සඳහා පාදක කරගත හැකි ය.

දේපළක් හවුලේ භුක්තිවිඳීම සඳහා අනුගමනය කළ හැකි ආර්ථික මාදිලියක් මෙම ප්‍රවාදය තුළින් යෝජනා කර තිබේ. එ මෙන් ම, ජනරජයේ ඉඩම් සහ නිවාස ප්‍රතිපත්තිය සැකැසිය යුතු ආකාරය පිළිබඳ මූලික අදහස් කිහිපයක් ද මෙයින් ඉදිරිපත් කර තිබේ. එවැනි ක්‍රම මත පදනම් වී තීන්දු ලබාදීමෙන් සියලු හිමිකරුවන්ගේ දේපළ අයිතිය තහවුරු කෙරෙන අතර ජනරජයේ ජාතික අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ අවශ්‍යතාව ද සපිරෙයි.

ජනතාවගේ සාමූහික හිමිකම් තහවුරු වන පරිදි නඩු තීන්දු ලබාදීමේ වගකීම ද අධිකරණයට වෙයි. තව ද, ජනරජයේ අනන්‍යතාව තහවුරු කෙරෙන සාමූහික හිමිකම්වලට (බුදුදහම, සිංහල භාෂාව සහ දේශීය දැනුම සඳහා) ප්‍රමුඛතාව පිරිනමා තිබෙන බැවින් එම කරුණු සළකා බලමින් නඩු තීන්දු ලබාදීම අධිකරණය විසින් කළ යුතු වෙයි. බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණයකිරීම ජනරජයේ ප්‍රමුඛ වගකීමක් වන බැවින් එයට අදාළ සංඝාධිකරණ වැනි විනිශ්චය සභා පිහිටුවීම ජාතික ව්‍යවස්ථාදායක සභාව විසින් කළ යුතු වෙයි. ඒ සඳහා අවැසි නිර්දේශ ලබාදීම උත්තරීතර උපදේශක සභාවේ වගකීමකි. ශාසනික ගැටලු සම්බන්ධයෙන් පොදු සමාජ අධිකරණ මැදිහත්විය යුත්තේ සංඝාධිකරණ වැනි අභ්‍යන්තර විනිශ්චය ආයතනවල තීන්දු ලබාගැනීමෙන් අනතුරුව ය.

රාජ්‍ය ආරක්‍ෂාව අරභයා මැදිහත් වන අයට ඒ සඳහා කැපැ වී ක්‍රියාකිරීමේ නිදහස නීතියෙන් තහවුරු කළ යුතු වේ. ඒ වෙනුවෙන් කැපවන අයට මුක්තියක් හිමිවිය යුතු ය. මෙම කාර්යයට අදාළ යම් ක්‍රියාවකට පදනම් වූ හේතු සහ එම ක්‍රියාවෙහි අරමුණු සළකා බලා තීන්දු ලබාදීම අධිකරණයේ වගකීම වෙයි. තම ජීවිත පරදුවට තබමින් සටන්කිරීමට යොමුවන අය දිරිගැන්වීම, එ් සඳහා අනාගත පරපුර සූදානම් කරවීම යන සාධනීය අරමුණු මෙයට අදාළ වෙයි. මුක්තියට ආවරණය වී වැරැදි සිදුකිරීම වැළැක්වීම අනිවාර්යයෙන් ම සිදුවිය යුත්තකි.

බෞද්ධ විනිසුරන් විසින් අනුගමනය කළයුත්තේ මෙම මහෞෂධ පිළිවෙතයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress