රටවල් අතර මිත්‍රත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය නිසා අද සමස්ත ආසියාවම වෙනසකට ලක්වෙලා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on February 17th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රටවල් අතර තිබෙන මිත්‍රත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය නිසා අද සමස්ත ආසියාවම වෙනසකට ලක්වෙලා තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

චීන-ශ්‍රී ලංකා තානාපති සබඳතා සඳහා වසර 65ක් පිරීම  සහ රබර්-සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් නෙළුම් පොකුණ රඟහලේ දී අද (17) පස්වරුවේ පැවැති සමරු උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පෙන්වා දුන්නේය.

වසර 65 සපිරෙන චීන-ශ්‍රී ලංකා තානාපති සබඳතා වෙනුවෙන් නිකුත් කළ සමරු සාර සංග්‍රහය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩ බලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පක්ෂ නායකයන්ට පිළිගන්වන ලදි. 

චීන-ශ්‍රී ලංකා තානාපති සබඳතා සඳහා වසර 65ක් පිරීම  සහ රබර්-සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවති සමරු උත්සවයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මම මගේ දේශනය කිරීමට පෙර, සියලු කාරුණික වචන සහ ඒ වචන පිටුපස ඇති ක්‍රියාවට චීනයේ අතිගරු ජනාධිපති ෂී ජින් පින්ග් මහතාට ස්තුතිවන්ත වෙනවා. අපගේ ජාතීන් අතර ඇති ශක්තිමත් බැඳීම් අපගේ ජනතාව අතර බෙදාහදා ගන්නා ගැඹුරින් මුල් බැසගත් මිත්‍රත්වය මගින් තවදුරටත් ස්ථිරව තහවුරු වී ඇති බව මට විශ්වාසයි. 

චීනය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. ඒ වගේම ඒක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්. එම ශ්‍රේෂ්ඨ ඉතිහාසය පෝෂණය වන්නට කොන්ෆියුසියස් දර්ශනයත් ඉවහල් වන්න ඇතියි කියලා මම හිතනවා.

චීන ඉතිහාසයට තවත් වැදගත් තැනක් හිමි වන්නේ චීනය විශාල රටක් වුවත් කවදාවත් කිසිම රටක් ආක්‍රමණය නොකිරීමයි.ඒ වගේම තමන්ගේ මාතෘ භූමිය මොනම විදෙස් බලවේගයකටවත් යටත් කරන්න ඉඩ දීලත් නැහැ.

අතීතයේ ලෝක බලවතුන් චීනය අල්ලන්නට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වුණා. චීනය අඛණ්ඩව එක්සත් රාජ්‍යයක් හැටියට පවත්වාගෙන ඒමට අද වෙනකල් හැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවත් චීනයත් අතර සබඳතා ආරම්භ වන්නේ වසර 2000 කට පෙර ඉඳන් බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. බෞද්ධාගම, ජාත්‍යන්තර වෙළඳාම, සංස්කෘතික සබඳතා, හරහා දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය වී තිබෙනවා.

විවිධ ආක්‍රමණවලට මුහුණ දෙමින් නව චීනය බිහි වන්නේ 1949 දී.

දේශපාලන වශයෙන් චීන නායකයින් සමඟ සබඳතා පැවැත්වීමට දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා . ඔහු 1945 දී ලෝක කම්කරු සමිති සම්මේලනය පිහිටුවීමේ ආරම්භක උත්සවයට සහභාගී වුණා. එය පැවැත්වුනේ පැරිස් නුවර. චීන නායකයින්ද එයට සහභාගී වුණා. එහිදී ශ්‍රී ලංකාව හා චීනය අතර දේශපාලන සබඳතා ගොඩනැඟීම ආරම්භ වෙනවා.

චීනයට ගිය පළමු දේශපාලන නියෝජිත පිරිසට පිලිප් ගුණවර්ධන, එස්.ඩී. බණ්ඩාරනායක, එඩ්මන් සමරක්කොඩි සහ එස්.ජී.එස්.රත්නවීර ඇතුලත් වී තිබෙනවා.

ඊට පසු ශ්‍රී ලංකා – චීන මිත්‍ර සංගමය පිහිටුවනු ලැබුවා. එහි මූලිකත්වය ගත්තේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි, කුසුමා ගුණවර්ධන, තේජා ගුණවර්ධන, පීටර් කෙන්මන්, එස්.ඩී. බණ්ඩාරනායක ඇතුළු කණ්ඩායමක්.

රබර් සහල් ගිවිසුම (1952) මිත්‍රත්වයේ තවත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මිත්‍රත්වයට හොඳ පදනමක් දැම්මේ 1‍956 මහජන එක්සත් පෙරමුණ රජය කාලයේදී යි. දිවංගත බණ්ඩාරනායක මහතා විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනසක් ඇති කළා.සමාජවාදී රාජ්‍යයන් සමඟ සබඳතා ගොඩනැඟුවා.

චීනය පිළිගැනීමට සහ චීනය සමඟ රාජතාන්ත්‍රික සබඳතා ගොඩ නැඟීම වෙනුවෙන් වමේ ව්‍යාපාරය, වෘත්තීය සමිති ව්‍යාපාරය, තරුණ ශිෂ්‍ය ව්‍යාපාරය  දැවැන්ත අරගල කරගෙන ගියා. මා තර්ස්ටන් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් සිටියදී එම පෙළපාලිවලට සහභාගී වුණා.

මට මතකයි චීනයේ පළමු තානාපති වුනේ විල්මට් ඒ පෙරේරා මහතායි. ඔහු සූරිය මල් ව්‍යාපාරයේ පුරෝගාමියෙක්. ඉන් පසු ඒ.බී. පෙරේරා, රොබට් ගුණවර්ධන, විලියම් ගොපල්ලව දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කළා.මෙහිදී විශේෂ කාර්යභාරයක් ඉටු කළේ ටී.බී. සුබසිංහයන්.

1978 න් පස්සේ චීනය නව ආර්ථික උපාය මාර්ගවලට පිවිසුනා. 1978 හා 2010 අතර ඉතා වේගවත් සංවර්ධනයක් ඇති කළා. ගත වූ දශකය තුළ චීනය නව ආර්ථික වැඩ සටහන් දෙකක් ක්‍රියාත්මක කළා. පළමුව ක්‍රියාත්මක කළේ නව සේද මාවත ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවත් එහි ආරම්භක සාමාජිකයෙක්. දෙවන ව්‍යාපෘතිය වුනේ අන්ත දරිද්‍රතාවය අහෝසි කිරීමයි. මිලියන 800 ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට එහිදී හැකි වුණා. ලෝක ඉතිහාසයේ මෙතෙක් නොඇසූ ජයග්‍රහණයක් ඒක.

චීනය අද ලොව විශාලතම වෙළඳපොළක්. ඒ නිසාම විදේශ විනිමය ගලා එනවා. ලෝකයේ දෙවන ආර්ථික  බලවතා බවට චීනය මේ වන විටත් පත්වෙලා අවසන්. චීනය නිසාම සමස්ත ආසියාවම වෙනසකට ලක් වෙලා තිබෙනවා. චීනය නැඟී සිටියේ ස්ව ශක්තියෙන්. ඒ වගේම රටවල් අතර තිබෙන මිත්‍රත්වයෙන්. චීනය අපගේ ඓතිහාසික මිත්‍රයෙක්. ඒ වගේම අව්‍යාජ  මිත්‍රයෙක් බවත් කියන්න ඕනෙ. ඒ බව මා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ.

චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින් පින්ග් මැතිතුමා අපගේ පෞද්ගලික මිතුරෙක් වගේම ශ්‍රී ලංකාවෙත් හොඳ මිතුරෙක්.  ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට එතුමා අපට උදව් කරනවා.

ෂී ජින් පින්ග් ජනාධිපතිතුමාගේ ශක්තිමත් නායකත්වය යටතේ 2012 වසරෙන් පසුව චීනය නව යුගයකට පා තැබූ බව සඳහන් කරන්න ඕනෙ.

චීනයේ දෛවය වෙනස් කරමින් අද අත්දකින චීන සාර්ථකත්වය ලබා දීමට එතුමාගේ නායකත්වය ප්‍රධාන සාධකයක් වූ බව සඳහන් කරන්න කැමතියි. එසේ නොවුනානම් අද අපි දකින චීනය බිහි වන්නේ නැහැ.

චීන කොමියුනිස්ට් පක්ෂයට වසර 100 ක් සම්පූර්ණ වන අවස්ථාවේ එම සංවත්සරය සඳහා මම ද අන්තර්ජාලය ඔස්සේ සහභාගී වුණා. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොන්ග්‍රස් සමුළුව 2022 වසරේදී පැවැත්වීමට නියමිත අතර එම සමුළුව සාර්ථක වේවායි සුභ පැතීමටත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 65 ක් පිරීම නිමිත්තෙන් අපි සමරු කාසියකුත් නිකුත් කළා. එය අපි කළේ අපගේ මිත්‍රත්වයේ සංකේතයක් ලෙසයි.

චීනය, තීරණාත්මක  සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් සිටියා. චීනයත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන මිත්‍රත්වය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම අපගේ අපේක්ෂාව  හා වගකීමයි. ඔබ සැමට                            තෙරුවන් සරණයි! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමය නායක අමාත්‍ය උදය ගම්මන්පිල, , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොංග්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩ බලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ,  ලංකා සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ, සංවත්සර කමිටුවේ ලේකම් මහාචාර්ය කේ.ඩී.එන්. වීරසිංහ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress