ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ සපායා දිනය (Sapphire Day) ගැන අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරයි
Posted on February 23rd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ලබන 26 වැනිදා පැවැත්වෙන සපායා දිනය (Sapphire Day) පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (22) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

ශ්‍රී ලංකාවේ නිල් මැණික් (Blue Sapphires) සඳහා ලොව පුරා පවතින ඉල්ලුම සැළකිල්ලට ගනිමින් නිල් මැණික්වලට සමඟාමීව සංචාරක ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන ඉලක්කයකි.

ඒ අනුව පෙබරවාරි 26 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සපායා දිනය වෙනුවෙන් වෙන්වන අතර එහි දී මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ 11 දෙනෙක් මෙරට ඉතා වටිනා මැණික් ගල් 25ක් එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනය අතරතුර දී සපායා ශ්‍රී ලංකා (Sapphire Sri Lanka) නමින් ශ්‍රී ලංකාවේ මැණික් හා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් නිර්මාණය කළ සුවිශේෂී වීඩියෝවක් එළි දැක්වීමට නියමිත බව මෙහිදී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථාන හා සංස්කෘතික අංග ඇතුළත් කරමින් සකස් කළ මෙම වීඩියෝ නිර්මාණය  සංචාරකයන්ට මෙරටට පැමිණීමට උනන්දුවක් ඇති කරන අතර ඔවුන්ට රටින් පිටව යාමේදී සිහිවටනයක් ලෙස මැණිකක් මිලදී ගැනීමට ආරාධනා කරයි.

මැණික් ප්‍රදර්ශනයට පෙර දින (පෙබරවාරි 25) මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳව ලොව විශේෂඥ දැනුමකින් හෙබි හෙලන් මොල්ස්වොත්( Helen Molesworth) මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ නිල් මැණික් ඇතුළු වටිනා මැණික් සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සියලු ජාත්‍යන්තර මාධ්‍ය සඳහා ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාඩ් ඩීන්, උප සභාපති අල්තාෆ් ඉක්බාල්, ව්‍යාපෘති ප්‍රධානී රොෂේන් වීරරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress