බෞද්ධ ජනරජ ප්‍රවාදය – 60 වැනි (අවසාන) කොටස-බෞද්ධ විප්ලවය
Posted on February 25th, 2022
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ශ්‍රී ලංකාව බෞද්ධ ජනරජයක් බවට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය පාලනයේ, ආර්ථික ක්‍රමයේ, අධ්‍යාපනයේ සහ නීතියේ වෙනස්කම් සිදුකළ යුතු බවත් මෙම ප්‍රවාදයෙන් යෝජනා කෙරිණි. බෞද්ධ මූලධර්ම මත පදනම් වී එම අංශ සතරෙහි වෙනස්කම් සිදුවිය යුතු ආකාරය ද මෙම ප්‍රවාදයෙන් පෙන්වාදුණි.
මෙම කාර්යය වෙනුවෙන් මුලින් ම සිදුකරන ලද්දේ ශ්‍රී ලංකාව බෞද්ධ ජනරජයක් බවට පත්කිරීම සඳහා වන පදනම සහ අරමුණු පැහැදිළිකිරීම ය. ඒ අනුව, සම්පාදිත මෙම ප්‍රවාදයෙන් යෝජනා කෙරී ඇත්තේ සිංහල නොවන අනෙකුත් ජනවර්ග හෝ බෞද්ධ නොවන අනෙකුත් ආගම් අදහන ජනයා පීඩාවට පත්කරන ක්‍රමයක් නොවේ. අන්‍යයන් පීඩාවට පත්කෙරෙන ක්‍රමයක් බෞද්ධ මූලධර්මවලට පටහැනි ය. බුදුදහම යනු එ ලෙසින් අනුන් නො ඉවසන අදහස් ඇති ඉගැන්වීමක් නොවේ.
ජනතාවගේ උපදේශන සහ පාලන බලතලවලින්, ජනතාවගේ සාමූහික හිමිකම් සහ මානව හිමිකම්වලින්, ජනතාවගේ ඡන්ද බලයෙන් බෞද්ධ ජනරජයේ පරමාධිපත්‍යය බලය සමන්විත වන බැව් මෙයින් කියැවිණි. ජනතාවගේ උපදේශන බලය උත්තරීතර උපදේශක සභාවෙන් ද; අනෙකුත් පාලන බලතල ජාතික ව්‍යවස්ථාදායක සභාවෙන්, ජාතික අධිකරණ සභාවෙන් සහ විධායක ජනාධිපති ප්‍රමුඛ ජාතික විධායක සභාවෙන් ද නියෝජනය වන බැව් මෙහි දැක්විණි. බිම් මට්ටමේ ගම් සහ නාගරික සභා ක්‍රමයක් ද ප්‍රාදේශීය මට්ටමේ කෝරළ සභා ක්‍රමයක් ද මෙයින් යෝජනා කෙරිණි.
බුද්ධ ශාසනය, සිංහල භාෂාව, දේශීය දැනුම ඇතුළත් ජනරජයේ අනන්‍යතාව තහවුරු කෙරෙන ජනතාවගේ සාමූහික අයිතිවාසිකම් සඳහා ප්‍රමුඛත්වයක් පිරිනැමිය යුතු බව ද, එම ප්‍රමුඛතාව තහවුරු කෙරෙන ආකාරයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති, අධ්‍යාපන ක්‍රම සහ නීතිය සම්පාදනය විය යුතු බව ද මෙම ප්‍රවාදයෙන් පෙන්වාදුණි. ජනරජය වෙනුවෙන් නව ආර්ථික මාදිලියක් යෝජනා කෙරුණේ ජනතාව වෙත ප්‍රාග්ධනයේ හිමිකම පැවැරෙන අයුරිනි. එම ආර්ථික මාදිලියට උපකාරී වන අයුරින් සහ ජනරජයේ ශක්තිය තහවුරු වන අයුරින් අධ්‍යාපන ක්‍රමය යෝජනා කෙරිණි. නීතියේ සිදුවිය යුතු වෙනස්කම් ගණනාවක් ද අවසාන වශයෙන් පෙන්වාදුණි.
මෙම යෝජනාවලින් කියැවෙන අරමුණු සාක්‍ෂාත් කරගැනීම පහසු කාර්යයක් නොවේ. ප්‍රශ්න හඳුනාගැනීමට, ඒවාට පදනම් වී ඇති හේතු තේරුම්ගැනීමට සහ අවැසි විසඳුම් යෝජනාකිරීමට වඩා එම විසඳුම් කරා යන මාර්ගය නිර්මාණය කරගැනීම අපහසු කටයුත්තකි. එවැනි මාර්ගයක් නිර්මාණය කරගත්ත ද ඒ ඔස්සේ ගමන්කිරීම එයටත් වඩා අපහසු කටයුත්තකි. දුකත්, එයට හේතුවත්, එයින් මිදීමේ නිවනත් ගැන දන්නා අපි තවමත් සසරෙහි දුක්විඳින්නේ ද මෙම හේතුවෙනි. එ ලෙසින් ම, බෞද්ධ ජනරජය පිහිටුවීමේ මග හඳුනාගැනීම ද එහි ගමන්කිරීම ද අපහසු එකක් වන්නේ ය.
බෞද්ධ ජනරජය පිහිටුවාගැනීම සඳහා වන ගමනට මූලිකවන යහපත් දැක්ම සහ සංකල්ප ගණනාවක් මෙම ප්‍රවාදයෙන් පෙන්වා දී තිබේ. මෙයින් යෝජිත චතුර්විධ ප්‍රතිපදාව සහ ගිනි පුපුරු න්‍යාය වැනි අදහස් ඒ සඳහා ඇසුරු කළ හැකි ය. කෙසේ වුව ද, මෙම කාර්යයන්ගේ නිරතවිය විය යුත්තේ ඒ අරභයා කැපවන තනි පුද්ගලයන්, සංවිධාන, ආයතන පමණක් නොවේ. සමස්ත ජනතාව ම මේ සඳහා පෙළගැස්විය යුතු වෙයි.
අප පෙළන මේ දුකට පදනම් වී ඇති අවිද්‍යාව” දුරු නොකොට මේ ගමන යා නො හැකි ය. එහෙයින්, මෙම ගමන ආරම්භ කළ යුත්තේ ඒ සඳහා වන අධ්‍යාපනික වැඩපිළිවෙළකිනි. ඒ අරභයා කළ යුතු මූලික ම කාර්යයක් වනුයේ අවැසි දැනුමින් සහ ආකල්පවලින් පිරිපුන් ගුරුවරුන් පිරිසක් බිහිකරගැනීම ය. මේ අරභයා භික්‍ෂූන්වහන්සේලාට ද ශාසනයට ලැදි ගිහි පින්වතුන්ට ද දායකවිය හැක්කේ ය. දැනුමින් පිරුණු, විවිධ වූ හැකියාවන්ගෙන් අනූන මෙවැනි පිරිස් බිහිකරගැනීමට සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනයෙන් ලබාගත හැකි මෙහෙය ද මෙහි දී වැදගත් වෙයි. එහෙයින් සුළු මට්ටමින් හෝ එවැනි ආයතන නැවතත් පිහිටුවීම සිදුකළ යුත්තේ ය. ඉක්බිතිව කළ යුත්තේ එලෙසින් බිහිකරගත් ගුරුවරුන් බහුජනයාගේ හිතසුව පිණිස, සුවය පිණිස පිටත්කර හැරීම ය.
මෙම අධ්‍යාපන කාර්යයට සමාන්තරව විවිධ ක්‍ෂේත්‍ර වූ තුළ යෝධයින් බිහිකරන කාවන්තිස්ස වැඩපිළිවෙළක්” ද ආරම්භ කළ යුතු වෙයි. නිදසුන් වශයෙන් ශාසනික, අධ්‍යාපන, ආර්ථික, කලා යනාදී ක්‍ෂේත්‍ර තුළ යෝධයින් බිහිකිරීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කළ හැක්කේ ය. ඒ ඒ ක්‍ෂේත්‍රය තුළින් යෝධයින් දස දෙනකුවත් බිහි කරගත නොහැකි නම් බෞද්ධ ජනරජයක් බිහිකිරීමේ මෙම කාර්යය සිදුකිරීම ඉතා අපහසු එකක් බවට පත්වනු ඇත්තේ ය.
ජාතික අරමුණු සඳහා යොදාගත නොහැකි අයුරින් පිහිටුවා ඇති පාර්ලිමේන්තුව වැනි ආයතන ඔස්සේ මෙම කාර්යය සිදුකිරීම ද අපහසු ය. බෞද්ධ ජනරජය පිහිටුවන දිශාවට ගමන්කිරීමට උපකාරී වන යම් යම් අතරමැදි කාර්යයන් කරවාගැනීමට එවැනි ආයතන යොදාගත හැක්කේ ය. එසේ වුව ද, බෞද්ධ විප්ලවය සිදුවිය යුත්තේ ජනතාව අතරින් ම ය.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති