අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කරයි
Posted on February 25th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම ඊයේ (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලයේ දිගුවක් ලෙසින් පත් කළ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය වසර කිහිපයක සිට මෙම ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන කාර්යය මූලික බුද්ධ භාෂිතයට හානියක් හෝ අර්ථ විපරීතයක් සිදු නොවන අයුරින් පුනරුක්ති රහිතව සිදුකර ඇත.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ  මාලා අංක 20 සිට 27 දක්වා සිංහල මහානිද්දේස පාළි, සිංහල චූල්ලනිද්දේස පාළි, සිංහල පටිසම්භිදාමග්ගප්පකරණ පාළි – 1, සිංහල පටිසම්භිදාමග්ගප්පකරණ පාළි – 2, සිංහල ථේර අපදාන  පාළි – 2, සිංහල ථේරී අපදාන පාළි – 2, සිංහල බුද්ධවංස පාළි හා චරියා පිටක පාළි ග්‍රන්ථ 07 මෙලෙස එළිදක්වමින් ජනගත කෙරිණි.

අග්‍රාමාත්‍යතුමා විසින් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩල සාමාජික රාජකීය පණ්ඩිත – අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු වැඩම කළ මහා සංඝරත්නයට මෙම ග්‍රන්ථ පිළිගැන්නුවේය.

මෙසේ නිකුත් කළ පරිවර්තන ග්‍රන්ථ 07න් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ග්‍රන්ථ 33 කින් සංගෘහිත සූත්‍රපිටකයේ නිමාව සනිටුහන් වේ.

බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලාවේ සිංහල පරිවර්තනය ඉතා නිවැරදි වුවද සාමාන්‍ය පාඨකයාට එහි බස් වහර ඉතා ගැඹුරු වූ හෙයින් ඉතා සරල සුමග බසින් එම ග්‍රන්ථ නැවත සම්පාදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සංෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව එළිදැක්විණි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් ද සංකේතාත්මකව මහා සංඝරත්නය වෙත ග්‍රන්ථ පිළිගැන්නුවේය.

ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සභාපති රාජකීය පණ්ඩිත ආචාර්ය කොළඹ 10 මාලිගාකන්ද විද්‍යෝදය පරිවේනාධිපති අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නායක මහා ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජික ස්වාමීන් වහන්සේලාවන රාජකීය පණ්ඩිත පූජ්‍ය මැදඋයන්ගොඩ විජයකිත්ති නායක ස්වාමීන් වහන්සේ, මහාචාර්ය අතිපූජ්‍ය කිවුලේගෙදර නාරද අනුනායක ස්වාමීන් වහන්සේ,මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (අතිරේක) කේ.පී සිරිබද්දන,බෞද්ධ කටයුතු කොමසාරිස් වසන්ත ලියනගේ, ත්‍රිපිටක මණ්ඩලයේ ලේකම් කේ.කේ සුගතපාල මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress