නයිටිංගේල් ප්‍රතිඥාව දුන් හෙද හෙදියන් 153 දෙනෙක් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සේවයට කැපවෙති
Posted on February 25th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ හෙද විදුහලේ හෙද හෙදියන් 153 දෙනෙක්  නයිටිංගේල් ප්‍රතිඥාව දී සේවයට කැපවීම හා හිස් වැසුම් පැළදීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිනිය සිහිපත් කරමින් ඇයගේ පිළිරුවට උපහාර පුද කරමින් ඇරඹි මෙම උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා අතින් 2018 සිසු හෙද කණ්ඩායමේ පළමු වසර විභාගයෙන් පළමු දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගත් සිසුවියන් තිදෙනා වන එස්.ඒ.ඩී.එම් සුභසිංහ, ඒ.එස්.වීරසිංහ, කේ.ඩී.සී පියුමිකා විශේෂ තිලිණ ලබා ගත්හ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් ද විශේෂ දක්ෂතා දැක්වූ හෙද සිසුන්ට මෙහි දී තිලිණ ප්‍රදානය කෙරිණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ

හෙද සේවය පිළිබඳව මේ කාටවත් අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ රටේ මේ සමාජයේ තිබෙන මිල කරන්න බැරි සේවාවක් තමයි හෙද සේවාව කියන්නෙ. හෙද සේවාව ගත්තහම මේක රැකියාවක් නෙමෙයි, මේක වෘත්තියක්. සමහර විටෙක ඔබ කරන සේවාවට රජයෙන් දීමනාවක් වැටුපක් ලබාදීම වෙනම දෙයක්. නමුත් අපි බැඳෙන්නෙ හොඳ සේවාවක් ඉෂ්ට කරන්න.

අද හෙද සේවාව දිහා බලපුවහම අපේ අගමැතිතුමනි, 1966 ඉඳලා කියන්න මම දන්නවා. එදා ඉඳලා බලපුවහම මම හිතනවා මේ හැම දෙනාම ජීවත් වුණේ මහ වහල් විදිහට කියලා. අපිට නෑ කියන්න බෑ. අද ඒ වහල් යුගය මුළුමනින්ම තුරන් කරලා නිවහල්  යුගයකට පත්වෙලා. මේ රටේ අභිමානවත් විදියට ඔබට ජීවත් වීමේ ශක්තියක් අද ඇතිවෙලා තියෙනවා.

අපේ අග්‍රාමාත්‍යතුමාට වර්තමාන ජනාධිපතිතුමාට ඇවිල්ලා අවශ්‍ය දෙයක් මතක් කළොත් කවදාවත් බෑ කියන්නේ නැහැ. අපේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාත් අපට ගොඩක් දුරට ඇහුම්කන් දෙනවා. මෙතුමා හොඳට හොයලා බලලා වැඩ කරනවා.

මේ පහන් සිළු දැල්වුවා වගේම අපට හොඳ දැක්මක් හොඳ නුවණක් හොඳ බුද්ධියක් හොඳ ඔලුවක් තිබෙන්න ඕන. ඒ ඔලුව නිකං ඔලුවක් නෙවෙයි. ඉතාම පරිණත විදියේ දැක්මක් තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ.

පහන් සිළු වලින් අනෙක් පැත්තෙන් ගත්තාම ඔබට හොඳ හදවතක් තිබෙන්නත් ඕන. අපට ලැබෙන යම් යම් ලිපි පණිවුඩ දැක්කම හදවත නැති අයත් අද මේ සේවයේ සිටින බව කණගාටුවෙන් මතක් කරන්න කැමතියි.

කොවිඩ් සමයේ දී, වසංගත රෝග වල දී, ඒ  වගේම යුද්ධ කාලයේ දී, එහෙම නැත්නම් බස් එකක් පෙරළිලා රෝහලට තුවාලකරුවන් ගෙනා වෙලාවකදී, ඔබේ දෑතේ කඩිසරකම ඉතාම මැනවින් පැහැදිලි වෙනවා. බුදුන් හැමදාම අගය කළ සේවාවක් තමයි හෙද සේවය.

අපේ අගමැතිතුමාට අපි කිව්වා එතුමා ජනාධිපතිව සිටි ඒ කාලයේ දී මේ ඩිප්ලෝමා එක ලබා දෙන්න කියලා. එතුමා එ්ක ලබා දුන්නා. සහතික ලබා දුන්නේ එතුමා. අපි කිව්වා අපට උපාධියක් විශ්වවිද්‍යාලයක් අවශ්‍යයි කියලා. අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවක් දීලා එතුමා ඒක අනුමත කළා. නමුත් රටේ සමාජයේ පැවතිච්ච සෞඛ්‍ය වෘත්තිකයන්ගේ පැවතිච්ච යම් යම් දුර්වලතාවයන් නිසා අපට ඒවා හරියට කරගන්න බැරි වුණා. දැන් මම හිතනවා අපි හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් අපි විශ්වාස කරනවා මැයි 12 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර හෙද දිනයේ දී මෙතැනදීම විශ්වවිද්‍යාලයක් බවට දිවුරුම් දෙන කටයුත්ත ඉටුකරගන්න.

ඔබ ඔබගේ වෘත්තිය ගැන අභිමානයක් තියාගන්න. අපට අවශ්‍ය කරලා තියෙන්නේ අභිමානවත් හෙද පිරිසක් ශ්‍රී ලංකා දෙරණට දායාද කරන්නයි. එහි දී ‘‘යුතුකම් ඉටුකරමින් අයිතීන් ජයග්‍රහණය කරමු’’ යන සංකල්පය අමතක කරන්න එපා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා

මේ ඔබේ ජීවිතයේ අභිමානවත් අවස්ථාවක්. හෙදකම යනු ජිවිතයට ජිවිතයක් දීමයි. බොහෝ විට මියදෙමින් තිබෙන ජිවිත වලට ආලෝකය දෙනුයේ හෙදකම මෙන්ම වෙදකමයි. මෙය වෘත්තීයට එහා ගිය මනුෂ්‍යත්වයක් හැටියටයි සළකන්නෙ. ඒ සේවාව ලෝකය සුවපත් කරන්නක්.

මෙරට හෙද සේවා වෙනුවෙන් රට පුරා හෙද විදුහල්වලින් කෙරෙන කාර්යභාරය ඉතා වැදගත් හා කාලෝචිත බව අප දන්නවා. දුෂ්කරතා මධ්‍යයේ වුවද රටට අවශ්‍ය පරිපූර්ණ හෙද හෙදියන් නිර්මාණය කිරීම වෙනුවෙන් රජයේ හෙද විදුහල් ඉටු කරන කාර්යය අපි පැසසුමට ලක් කළ යුතුයි.

ජීවිතයේ අසරණ මෙන් අසීරුම අවස්ථාවන්ට පත් වූ මොහොතකයි බොහෝ දෙනෙකු ඔබ වෙත පැමිණෙන්නේ. එම නිසා ඔබගේ මෙම සේවාවට ඔබගේ දයානුකම්පාව ළෙන්ගතුකම මනුෂ්‍යත්වය ඔවුන්ගේ ජීවිත සුවපත් කරනවා.

කොවිඩ් ව්‍යවසනය හමුවේ මුල් අවස්ථාවේ සෞඛ්‍ය සේවාවේ සියලු සෞඛ්‍ය සේවා සමාජිකයින් බොහෝ දුෂ්කරතා මැද කටයුතු කළ උදවියයි. කොවිඩ් වසංගතය පළමුවෙන්ම ආපු වෙලාවේ මම එවිට සෞඛ්‍ය ඇමතිවරයා නෙමෙයි. එහෙත් ප්‍රධාන රෝහල්වල මාස්ක් එක තිබ්බෙ නැහැ. ආරක්ෂක ඇඳුම් තිබ්බෙ නැහැ. ඒ සියලු දේ පැත්තක තියලා ඇතැම් වේලාවට පැය 72ක් නැතිනම් දින 3 – 4 එක දිගට වැඩකරමින් ඒ අවදානම ගත්ත කණ්ඩායමක් හැටියට හෙද හෙදියන් වගේම මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳන් පහළට යනකම්  ක්‍රියා කළ ආකාරය ඇගයීමට ලක්වුණා ඇතිදෝ කියලා මට හිතෙනවා.

තමන්ගෙ ජීවිතය පමණක් නෙමෙයි තමන් නිවසට යනකොට තමන්ගෙ දෙමාපියන් දූ දරුවන්ට ඇති අවදානම නොතකා ඉතාම දුෂ්කර ක්‍රියාවකට කටයුතු කරපු සහෝදර සහෝදරියන් පිරිසකටයි ඔබ අද එක්වන්නෙ. මේක රැකියාවකට එහා ගිය මනුෂ්‍යත්වයේ සේවාවක්.

මෙතැන ඉන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ රටේ මනුෂ්‍යන්ට ජීවත්වීමේ වරම ලබාදුන් නායකයා. නිදහස කියන වචනය හුරු පුරුදු කළ, මායිම් ගම්මාන කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කළ නායකයා. අපේ යුගයේ එවැනි නායකයකු සමඟ කටයුතු කරන්න ලැබීම ගැන අපි වාසනාවන්තයි.

කොවිඩ් වසංගතය මේ රටට ආපු වෙලාවේ අපේ ජනාධිපතිතුමා ජනතාවට එන්නත ලබා දිය යුතුයි කියන විශ්වාසයේ සිටියා.

රාජ්‍ය නායකයන්ට පෞද්ගලිකව කතා කරලා අපේ රටේ ජනතාවට ඒ යුතුකම වගකීම ඉටුකරන්න එන්නත ගෙන්නගන්න ජනාධිපතිතුමා කටයුතු කළා. බොහෝ රටවල්වල එන්නත ලබා ගන්න ජනතාව රජය පසුපස යනවා. මම හිතන විධියට අපි තමයි ලෝකයේ එකම රට එන්නත ගන්න කියලා රජය ජනතාව පසුපස යන.

සෞඛ්‍ය සේවාවේ නිරත පිරිස ඉටු කරන සේවාවට ඇගයීමේ සීමාවක් නොමැත” කියලා හදවතේ ලියවෙන බව කියන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එච්.ඩී.බී හේරත්, කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනි පී.ජේ මාරියම්පිල්ලෙ, හෙද සභාවේ රෙජිස්ටාර් එම්.එම්.ඩබ්ලිව් හේරත් මහත්ම මහත්මීහු ඇතුළු කොළඹ හෙද විදුහලේ ආචාර්ය මණ්ඩලය සහ හෙද හෙදියන්, සිසු සිසුවියන් සහ දෙමාපියෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress