ඉඩම් බෙදිල්ල
Posted on March 6th, 2022

ප්‍ර සමරසිංහ

ජයදේව සුරවීර නොවිසිරිනු මනසින් ලොව දකින රාජ්‍ය පරිපාලන සේවයේ නියැළුන අව්‍යාජ විශ්‍රාමික පියෙකි. සුරනි සුරවීර ඔහුගේ ප්‍රිය බිරිඳය. ඇය ඉතාමත් ගුණගරුක විශ්‍රාමලත් ගුරුමාතාවකි. “පුංචි පවුල රත්තරං” කියමින් හොරණෑ පිඹු යුගය එන්නට මත්තෙන් පවුල් පන්සල් වූ මේ දෙපලට දුසිම් බාගයක් ඉක්මවූ දූ දරුවන් සිටියහ. දෙමහල්ලන්ගේ අරමුණ වූයේ තම දූ දරුවන් යහපත් නැණවත් පිරිසක් වනවා දකින්නටය. ඔවුනගේ දහසක් කැපකිරීම් හා නොසැලෙන සෙනෙහස ඒ අරමුණ ඉෂ්ඨ සිද්ධ කර දුන්නේය, කුඩා කල සිටම තම වගකීම් හා යුතුකම් අඳුනා ගත දරුවන් තම තමන්ගේ ඇස් පාදා ගත්හ. ඉගෙනීම නිම කර උසස් යයි සම්මත නිලතල දැරීමටත් සමාජ සේවයටත් ඔවුන් යොමු විය. නිසි කල අවාහ විවාහ ව ඔවුනොවුන් තෝරා ගත් මංමාවත් දිග ගියහ.

කාලයේ ඇවෑමෙන් දරුවන්ටත් දරුවෝ ලැබිණ, පොඩිත්තන්ගේ සුරතල් විඳිමින් දවසින් දවස වියපත් වන සුරවීර යුවල, අසල්වැසියනට උදව් උපකාර කරමින් සන්සුන් හා තැන්පත් මනසින් බණ භාවනාවක යෙදෙමින් සුළු සුළු අසනීප මැද වුවත් සතුටින් වාසය කලෝය. තමන් වියපත් වන වේගය කිසිසේත්ම සුළුපටු නොවන හෙයින් තමන් පෙර සාධාරණව සවි කරගත් ආදායමෙන් මිලට ගත් හා පරම්පරාගත දේපල තම දුවාදරුවන්ට පවරා නිදහස් විය යුතු කාලය මේ බව තේරුම් ගත්හ.

දූ දරුවන් එක්කාසු කොට ඒ අවසන් යුතුකම, යුක්ති යුක්තව පිළිවෙලක් කරන්නට ඉටා ගත් සුරවීර යුවල ඊට අවශ්‍ය විධිවිධාන සැලසීය. ඉඩකඩම් වතුපිටි මැනින, බෙදින, මායිම් ගල් සිටුවින. ඒ ඒ ඉඩම් කොටස් සඳහා මාර්ග ද සැලසුම් කෙරින. ඉන්පසු ඉතිරිව තිබුනේ දූ දරුවනට ඒ දේපල පැවරීම පමණි. සිය දරු පිරිවර, ඒ ඒ පවුල් පන්සල් සමඟින් එකම දිනෙක මහගෙදරට කැඳවා ගත් මේ මාපිය දෙපල උතුරා ගිය සතුටින් දරුමුණුපුරන් සිප වැළඳ නෙක රස බොජුනෙන් ආදර සත්කාර කලේ පොඩිත්තන්ගේ හිනා හඬින් මුළු මහා ගෙදරම ඒකාලෝක වන අතරේය.

මිදුලේ මහ අඹ ගසේ මල් පොකුරු පොකුරු ලෙල දුන්නේ ගැට අඹයන්ගේ කලඑළියත් සමඟය, ඒ සුන්දරත්වය විඳින්නට සැවොම මිදුලට බැස්සෝය. සුරවීර මහතා කල්තියා පිළියෙළ කර ගත් කරදහි සුරුට්ටු හත අටක් බන්දේසියක ලා ඒ අඹ ගස යට බංකුවක සුරක්ෂිතව තබා තිබිණ. ඔහු හැම පවුලකින්ම එක මුණුපුරෙක් හෝ මිණිපිරියක් තමන් අසලට කැඳවා ගත්තේ ඒ මාපියන් පසෙකට කරය. ඉන්පසු බන්දේසියේ වූ කරදහි සුරුට්ටුවක් තෝරා ගන්නට පොඩිත්තන්ට ඇරයුම් කලේය. තමන් තෝරා ගත් ඒ කරදහි සුරුට්ටුව පොඩිත්තෝ ඉන්පසුව බාරකල යුත්තේ තම පියාට හෝ මවටය. එසේ සිදු වූ පසුව සුරවීර මහතා දරුවන් ඇමතීය. තමන් අතැති කරදහි සුරුට්ටුවේ ලියා දක්වා ඇති අංකය, ඒ අංකය සිටුවා ඇති ඉඩම් කට්ටියේ බැවින් ඒ අංකයට අනුව ඒ ඉඩම් කොටසේ හිමිකරුවා ඔවුන් වන බවය. තුෂ්නිම්භූත වූ දරුවෝ ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලන්නට වන්හ. අඩි හප්පන, ගොරවන, පුප්පන මැසිවිලි නඟන දරුවෙක් එහි සිටියේ නැත. යුක්ති යුක්තව සාධාරණව ලොව යමක්  කෙරෙන්නේ නම් එය කෙරෙන්නේ බොහොමත්ම කලාතුරකින. ඔවුන් හද පිරි ආඩම්බරයකින් හා බැතියෙන් යුතුව තම මාපිය දෙපල දෙස ඇස් දල්වා සිටියහ.

තම ඉඩම් කොටස ලැබුනේ කන්දෙන්ද ලන්දෙන්ද, ගොඩින්ද මඩින්ද, සාර ඉඩම් කොටසක්ද, නාටු බිම් කොටසක්ද, කොස් ගස් කීයද, පොල් ගස් වල පලදාව කොහොමද යනාදී වශයෙන් කුටුකුටු ගෑමක් නෑසින. වැඩිපුර ඉගෙනුමට වැඩියෙන් වියදම් කලේ කාටද, නම අගට අකුරු කීයක්ද, කියක්වත් නැතිද යන එකම පුස් මිනුම්දණ්ඩක්වත් මේ ඉඩම් බෙදිල්ලට පාදක වූයේ නැත. මහගෙදර එන විට එන්නේ අත් දෙක හොල්ල හොල්ලාද, ගෙන ආවේ පලතුරුද, එහෙමත් නැත්නම් මිල අධික ආනයනික පිටි කිරිද, අරන් දුන්නේ ඉස්තරම්ම සාරිද, කමිසද කියාවත් පයිසයකට මායිම් නොකළ ඉඩම් බෙදිල්ලකි. අහලගම් හතකට අඬ ගසා හත් වරුවක් මඟුල් කෑ  එකාද නැති එකාද, හඳපානේ ගිය එකාද නොගිය එකාද, ලේලිවරුන්ගේ දැන උගත්කම්ද, බෑණාවරුන්ගේ බලපුලුවන්කාරකම්ද, සල්ලි වෑහෙන එකාද නොවෑහෙන එකාද කියා තඹදොයිත්තකටවත් මායිම් නොකල ඉඩම් බෙදිල්ලකි. තමන්ට ඊනියා දියුණු යයි සම්මත රටවල කඩ සාප්පු සවාරි යන්නට සැලැස්සු එකාද නැති එකාද, අර කොන්ක්‍රීට් කන්ද මේ ගිනිකන්ද, හෙල්ලෙන ඒ කුළුන, නොහෙල්ලෙන මේ කුළුන දකින්නට සැලැස්සු එකාද නැති එකාද, අර ගොන්කෙළිය මේ ගිනිකෙළිය පෙන්නුවද නැද්ද යන්න මේ දේපල බෙදිල්ලට අබමල් රේණුවක සම්මාදමක් නොවීය. වැඩිමලාද, මැදමලාද, අඩුමලාද, නාහෙට අහන්නේ නැති එකාද, එකට එක කියන එකාද, දුවද පුතාද කියා වෙනසක් නැතුව සිදු කල සාධාරණ ඉඩම් බෙදිල්ලකි.

තම දරුවන්ගේ උස් මිටිකම් අනුව එක එක හැන්දෙන් වෙන වෙනම බෙදිල්ලක් මේ සත්ක්‍රියාව තුල කොහෙත්ම තිබුනේ නැත.ඉනූ හැම කිරිකඳුලකම තියෙන්නට ඇත්තේ සෙනෙහස හා මුසුවුන සමානාත්මතාවය විතරක් වෙන්න ඇති. හෙලූ හැම දහදිය බිඳකම හා දැනුන දුක වේදනාවකම තියෙන්නට ඇත්තේ හදවත පත්ලෙන්  පැන ආ දයාවත් කරුණාවත් ලතෙත් ගුණයත් විතරක් වෙන්න ඇති. සසර පුරා පුරුදු පුහුණු කර ගත් පුරුදු කර පින්නා ගෙන අපි එගොඩ මෙගොඩ යමින් සිටිමු. මෙවන් ආදර්ශමත් මාපිය රත්න අතිශයින් විරල වුනත් මේ ආදරණිය මිනිසුන් හැමදාම සැනසුනේ ලොව සනසාය.

(මෙහි එන නම් මනඃකල්පිතය.)

ප්‍ර සමරසිංහ 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress