හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් 626කට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නව නිවාස ආධාර චෙක්පත් පිරිනමයි
Posted on March 7th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 576ක් නියෝජනය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් 626ක් සඳහා නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ තංගල්ල නගර සභා ශාලාවේ දී පැවැත්විණි.

ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් සමාරම්භය සනිටුහන් කළ මෙම උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සංකේතාත්මකව ප්‍රතිලාභීන් දස දෙනෙකුට නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කෙරිණි.

අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක සහ ඉන්දික අනුරුද්ධ මහත්වරු ද නිවාස ආධාර චෙක්පත් ප්‍රදානයට එක්වූහ.

ඔබට ගෙයක් රටට- හෙටක්” නිවාස ආධාර වැඩසටහන යටතේ නව නිවාස 588ක්, තම දරුවකු සසුනට පූජා කළ අඩු ආදායම්ලාභී දෙමාපියන්ට උපහාර ලෙස මිහිඳු නිවහන” නිවාස වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් 14ක් සහ ආබාධිත හෝ ඉතා දිළිඳු පවුල් සඳහා නිවාස ලබා දෙන සෙවණ” ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 24 දෙනෙකු සඳහාත් මෙහි දී නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය සිදුවිය.

ඔබට ගෙයක් රටට- හෙටක්” නිවාස ආධාර වැඩසටහන යටතේ එක් නිවසක් සඳහා රු. 650,000 ක්, මිහිඳු නිවහන” නිවාස වැඩ සටහන යටතේ එක් නිවසක් සඳහා රු. 650,000 ක් සහ සෙවණ ආධාර” වැඩසටහන යටතේ එක් නිවසක් සඳහා රු. 750,000 ක් ප්‍රදානය කෙරෙන අතර ඒ සඳහා වැයවන ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 402කි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම නිවාස ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා

ඉතාමත් අපහසු කාලයක වුවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමුන්නාන්සේලාගේ දුක සැප බලමින් තමුන්නාන්සේලාගේ අවශ්‍යතාවය පිරිමහන්න ගරු අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට හා දැක්මකට අනුව මුදල් ලබාදීලා තමුන්නාන්සේලාට ගෙවල් හදාගෙන සතුටින් ඉන්න අවස්ථාව උදාකර තිබෙනවා.ඒ වගේම ලංකාව පුරා මේ වන විට අති විශාල ගෙවල් ප්‍රමාණයක් හැම ගමකම හැදිලා තියෙනවා.

අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ පහුගිය දවස් වල බලනකොට ග්‍රාමසේවක වසම් තිබුණා ගරු අගමැතිතුමනි නිවාසයක් දෙන්න කෙනෙක් නෑ.කටුමැටි ගෙවල් නෑ , පොල් අතු සෙවිලි කළ ගෙවල් නෑ ඒ වුණත් අපි නිර්නායකයන් තව ටිකක් තුනී කරලා ටකරං වහල වල් එහෙම නැත්නම් ඒ වගේ දේවල් තිබිච්ච රෙපෙයාර් කරගන්න තිබිච්ච ගෙවල්වලටත් මුදල් දුන්නා.

පහුගිය මහ මැතිවරණයේදී විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා පිළිබඳව තිබිච්ච ඒ විශ්වාසය තහවුරු කරමින් අපිට ජනාධිපතිවරයෙක් පත් කරගන්න ආණ්ඩුවක් පත් කර ගන්න තමුන්නාන්සේලා ඡන්දය දුන්නා. කොවිඩ් වසංගතය හමුවේ එන්නත් ලබාදීම පිළිබඳව ලෝකය අද ලංකාව ආදර්ශයට ගන්න කියලා කියනවා. ඒ වගේ ජනතාව ජීවත් කරවීමේ ඉතිහාසයට ගියාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා යුද්ධය සහමුලින්ම නතර කරලා රට තුළ සාමකාමී තත්ත්වයක් ඇති කරමින් ජීවිත ආරක්ෂා කරනු ලැබුවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල පානීය ජල අවශ්‍යතාවයක් පවතිනවා. එදා  වීරකැටිය ඇතුළු මේ ප්‍රදේශවල පවතින එම ගැටලුව හඳුනාගත් දැවැන්ත යෝජනා ක්‍රමයක් විදියට නිල්වලා යෝජනා ක්‍රමයට අපි 2015ට පෙර මුදල් වෙන්කරලා ආරම්භ කරන්න සැළසුම් කළා. එහෙත් අවාසනාවකට 2015න් පස්සේ මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අඩපණ වුණා.දැන් නැවත වරක් අපි එය ක්‍රියාත්මක කරන්න කටයුතු කරගෙන යනවා.

අපි බලාපොරොත්තු වෙනවා තව අවුරුදු 3ක කාලයක් ඇතුළත තමුන්නාන්සේලාට නිල්වලා ගඟේ නැත්නම් ගිං ගඟේ  දෙකේම ජලය මේ ප්‍රදේශයට දීලා චන්ද්‍රිකා වැවට ජලය අරන් ගිහිල්ලා තමුන්නාන්සේලාට අවශ්‍ය ඒ පානීය ජලය ගොවිතැනට අවශ්‍ය ජලය වගේම හම්බන්තොට ඉදිවන මහා කර්මාන්ත ශාලාවලට අවශ්‍ය ජලය ලබා දෙන්න. එය සැලැස්මකට කෙරෙනවා.

අපි කිසි කෙනෙක් පහුගිය ආණ්ඩුව හොඳ දෙයක් කරානම් අපි ඒක නතර කරන්නේ නැහැ.ඒකට තවත් එකතු කරලා, අපි ඒක දිගටම කරගෙන යනවා. පහුගිය ආණ්ඩුව මොකක්ද කරේ? 2015 ආවා විතරයි සියල්ල නතර කරා. මේ වගේ දේවල්වල තිබූ අදූරදර්ශී වැඩ නිසා තමයි අපි මේ මුහුණ පාලා තියෙන ආර්ථික අර්බුදයට හේතුව. එක පැත්තකින් මේවා ක්‍රියාත්මක වුණානම් ඩොලර් එනවා.

ඒ නිසා තමුන්නාන්සේලාට පේනවා අද මේවා කෙරෙනවා නමුත් අමාරුකමුත් තියනවා. මුළු ලෝකයම මුහුණපාලා තියෙන ප්‍රශ්නත් එක්ක  අපි ඒවටත් මුහුණ දෙමින් ඉවසීමෙන් කටයුතු කළොත් මේ සියල්ල අපට ජය ගන්න පුළුවන් යැයි අමාත්‍යතුමා පැවසීය.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා

මේ ව්‍යාපෘතියට සම්පුර්ණ උපදේශකත්වය අනුශාසකත්වය මගපෙන්වීම ලබා දුන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා. මේ වසරේ අපේ ඉලක්කය නිවාස 30000න් දැනට නිවාස 24000ක වැඩ කටයුතු අවසන්ව වීගෙන එනවා.

සැබෑ ප්‍රශ්ණය හඳුනාගෙන සැබෑ ප්‍රශ්නයට උත්තර දෙන දේශපාලන චරිත මේ රටේ ඉන්නේ බොහොම ටිකයි. ඒ දේශපාලන චරිතවලින් දෙයක් ඉගෙන ගත්තනම් ඒ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගෙන් විතරයි.

මේ රටේ ජනතාවට අපි වගකීමෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් යට‍තේ ජනතා සාධාරණයක් ඉෂ්ට කරන්නෙ වර්තමාන අග්‍රාමාත්‍යතුමා ඇතුලු මේ රාජපක්ෂවරු මිසක් වෙන කවුරුත් නෙමෙයි. ඒ වගේම ජනතාවගේ ඉල්ලීම් හරියාකාරව ලබා දෙන්නේ මේ රාජපක්ෂවරු පමණයි කියන එක මම වගකීමෙන් කියනවා.

‍මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන්වන ඩී.වී චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහත්වරුන් ඇතුළු නිවාස අධාර ලබන ප්‍රතිලාභීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress