ආතල්ගමයි අනාගතයයි
Posted on May 5th, 2022

ප්‍ර සමරසිංහ

ආතල්ගමේ ප්‍රධාන අපේක්ෂාව වුනේ රටේ සියලුම හොරු එළවා රට පාරිශුද්ධ කිරීම. මේ අපේක්ෂාව මහ ඉහලින් සම්පුර්ණ වෙන්නේ 1977 න් පස්සේ රට හූර ගෙන කාපු හොරු රංචුවට අයත්, මේ දක්වා පැවති ආණ්ඩුවල මැති ඇමතිවරුන්ගේ ඉඳන් පරිපාලන සේවයේ නියතු නිලධාරින් සහ වෛද්‍යවරු,නීතිඥවරු, ඉංජිනේරුවරු, බැංකුකරුවෝ, ගුරුවරු, මාධ්‍යකරුවෝ, පූජකවරු කුදලා ගෙන ඇවිත්, කොළඹ ආතල්භුමියේ දි ප්‍රසිද්ධියේ පව් සමා කරවගෙන, හුරකාපු වස්තු ෆයිල් පෙන්නලා, ඒ වස්තු වලින් විශාල ප්‍රමාණයක් නැවත මහ බැංකුවට බැර කර ගත්තට පස්සෙ.

මෙතැන් පටන් සිරිලංකාද්වීපයම හොරුන් ගෙන් තොර ලෝකයක් වෙලා මුරකාවල් නැති, වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක් වෙනවා. නිර්පාක්‍ෂික, නිර්ලෝභි, නිර්මල හා විනිවිද බව මුදුන් මල්කඩ කරගත්, වැටුප්-නොලබන, බල ලෝභත්වයක් ගෑවිලාවත් නැති ජනතා සේවයටම ඇප කැපවුණ උත්තරීතර ‘නායකත්ව-විරහිත-මඬුල්ලක්’ ආතල්ගම හෙඩ් ක්වාටර්ස් කරගෙන ලංකාද්වීපයම සුඛිත මුදිත කරනව.  

මේ දේශයේ එතැන් පටන් ;

හැම සේවාස්ථානයකම වැඩ කටයුතු ඉතාමත් කාර්-යක්‍ෂම වෙනවා. කිසිම හොරබොරුවක් නොකරන අවංක නිලධාරීන්, ඇරිස්-ට්‍රෝ-කැට් ලොකුබණ්ඩට වගේම නිකන්ම-නිකං-කැට් පුංචිබණ්ඩටත් එක විදියට ගරුසරු ඇතිව කථාබහ කරනව, අර හොරු හිටිය කාලේ සති පහ හයකින් කරලා දීපු කාර්‍යන් පැය භාගයක් යන්නට මත්තෙන් කරලා දෙනවා. පගා, වංගු කියන වචන පවා කන්තෝරු ශබ්ධකෝෂයෙන් අතුරුදහන් වෙනවා. පැය අටක රාජකාරි වෙලාව හරියටම රාජකාරි වැඩ වලට කැප කරනවා. බොරු අතිකාල වැඩ කරල, අතිකාල දීමනා හොයන සුත්තරෙත් අයින් වෙලා යනව. 

ඉඩකඩම් නඩු හබ වලට පැටළුනොත් සියවස් භාගයක් ගියත් නීතිමය තීන්දුවක් ලැබෙන්නේ නෑ, අර හොරු ඉන්න කාලේ නං. දැන් සතියෙන් හමාරෙන් ඒ හැම ඉඩම් නඩුවක්ම නිරවුල් කර ගන්න ලැබෙනවා. ඉස්සර හිතුමතේ අය කර ගත්තු නීතිඥ ගාස්තු බලා ඉද්දි බොහොම සාධාරණ ගාස්තු බවට හැරෙනවා, නීතිඥවරු ආදායම් බදු නිසි ලෙස ගෙවන අතරේ, අපෙන් අය කර ගන්න ගාස්තු වලට නිසියාකාර රිසිට් පතක් ද ලබා දෙනවා. 

ඉස්කෝලවල ගුරුභවතුන් උද්යෝගිමත්ව සිසුන්ට උගන්වනවා, හොරු හිටපු කාලේ නං දරුවෝ ඉස්කෝල ඇරුණු ගමන් දිව්වේ ටියුශන් කඩ වලට. දැන් ඒ කඩ වහල දාල, ටියුෂන් කඩ ගුරුවරුත් පාසල් පද්ධතියට මුහුන් වෙලා. දැන් නං දෙයියනේ කියල දරුවන්ට ඉහලට ගත්තු හුස්ම ටික නිවාඩු පාඩුවේ බිමට හෙලන්න පුළුවන්. දැන් තියෙන්නේ ඉස්කෝලෙන් ඉගෙන ගත්තු පාඩම් ටික, ප්‍රශ්න පත්තර ටික ගෙදර ඉඳන් රිවිෂන් කරන්න. 

උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙන ගන්න දරුවෝ දැන් ඉඳල සාමකාමිව ඒ අවුරුදු 3-4 තනිකර ඉගෙනීම වෙනුවෙන් යොමු වෙනව. අන්තරේ කියන්නේ ජන්මාන්තර කෝන්තරයක් කියල තේරුම් අරගෙන ඒවා මුළුමනින් අත් හරිනවා. දෙමව්පියන්ගෙන් නිකන් කකා බිබී නොඉන්නටත්, නිකං හම්බ වෙන අධ්‍යාපනයට යම් ගාස්තුවක් ගෙවන්නටත් දරුවෝ පෙළඹෙනවා. හැම සම්පතකම අගය තේරිලා ඒවා රැක ගන්න පටන් ගන්නවා.

වෛද්‍යවරු පුද්ගලික චැනලින් සෙන්ටර්ස් වහල දාල, ෆුල් ටයිම් ඉස්පිරිතාලේ. ලෙඩ්ඩුන්ට ගොරවන්නෙ නැතිව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාරුණික වෙච්චි දොස්තරලා වෙලාව අර ගෙන ලෙඩ්ඩු බලනව, බෙහෙත් දෙනවා. අර රිපෝට් මේ රිපෝට් ගන්න කියල අතේ තියෙන සන්තකේම වියදම් කරවන්නෙත් නෑ, නිස්කාරනේ සැත්කම් කරන්නෙත් නෑ. 

බැංකු පද්ධතියම නීතිප්‍රකාරව සේවය කරන්න පටන් ගෙන. හොර නෝට්ටු ඇඳින ගන්න, කළු සල්ලි හඳුනා ගෙන ප්‍රතික්ශේප කරන්න තරම් බැංකුකරුවෝ නිර්භීත වෙනවා. උණ්ඩියල් ක්‍රමය නැති බංගස්ඨාන වෙනවා. හොරු හිටිය කාලේ කිළුටු වෙලා තිබ්බ මේ බැංකු භුමිය පාරිශුද්ධ බැංකු භූමියක් වෙනවා.

බිල් 104 හෙවත් TGEWA 2021 ඉල්ලා අස් කර ගත්තු ත්‍රස්තවාදින් අංශක 180 ක් හැරිලා අවිහිංසාවාදීන් බවට පත් වෙලා මින් මත්තට මොනම ත්‍රස්ත ක්‍රියාවක්වත්  නොකරන බවට, අසත්‍ය පුවත් ලොව පුරා ප්‍රචාරය නොකරන බවට, බෙදුම් වාදයෙන් ඉවත් වන බවට දිවුරා පොරොන්දු වෙනවා. පළාත්- පබා+13 කුනුකුඩ ගත වෙනවා. දෙමල, මුස්ලිම්, සිංහල මිනිස්සු අයියා මල්ලි වාගේ කරට අත දා ගෙන සිරිලංකාව පාරාදීසයක් කරන්න වැඩ කරන්න තීරණය කරනවා. එකමුතුව බෝං- එගෙන් වෙලා ඉන්දියාව, චීනය,රුසියාව, කැනඩාව, ඇමෙරිකාව, එන්ගේ ලන්තේ වාගේ එකා සැමට සැම එකාට කියමින් වැඩ කරනවා.

හිඟන්නෝ, රජවරු, අර පංතිකයා, මේ පංතිකයා කියල එක එකා අතර වෙනසක් නැතුව යනවා. සියළු රටවැස්සෝ එක මවකගේ දරු කැල බැවිනා කියමින් තෝමස් මෝ ගේ යූතෝපියාව සැබෑවටම සිරිලංකාවෙ උප්පත්තිය ලබනවා.

සුන්දර යුතෝපියා රටවැස්සෝ අතිශයින් නීති ගරුකවීමත් හා හොර බොරු වංචා මිනීමැරුම් මංකොල්ලකෑම් මුලිනුපුටා දැමු නිසත් පොලෝසි, උසාවි,පත්තර කන්තෝරු, ඇඩ්වටයිසින් කොම්පැනි, මත් ද්‍රව්‍ය වෙළඳාම තොග පිටින් වැහිලා යනව. 

යූතෝපියා-සිරිලංකාවේ ඉතාමත් සුළු කලක් තුල සිදුකරපු මේ ධනාත්මක විපර්යාසය දැකල, අක්‍රමිකතා බහුල, හොරුන් ගෙන් ගහණ වෙනත් රටවලත් මේ වැඩපිළිවෙල යොදා ගන්නට, ඒ සඳහා උපදෙස් ගන්නට හා තව දුරටත් පර්යේෂණ කිරීමට මුළු මහත් ජාත්‍යන්තරයම වැල නොකැඩි එන්න පටන් ගන්නවා. ඒ එක්කම ඩොලර් සංචිතය ප්ලස් වෙලා ගිහින් අධි-අතිරික්තයක් වෙනව. මේ ජයග්‍රහණය දැකල, සන්තෝසේ වැඩිකමට “ජයවේවා ජයවේවා” කියල අත්පුඩි ගහන මං උඩ පනිනව.

අපොයි කොන්ද!..ඇඳෙන් බිමට වැටුණු සද්දෙටයි, කෑගැහිල්ලටයි මිදුලේ මුර කරමින් උන්නු බූලා උඩු බුරලන ගමන් දොරත් පහුරු ගානවා නැවතීමක් නැතුව.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress