පුද්ගල චරිත මතුවේ, නිර්පාක්ෂික හැව ගැලැවේ, අරගලය ඉදිරියටම….
Posted on May 12th, 2022

MALINDA SENEVIRATN​E

අදේශපාලනික අරගලකරුවන් සිටිය නොහැක. නිශ්චිත නොවුනත්, දේශපාලනික පක්ෂ සහ ඒවායේ අරමුණු සමග අනන්‍ය නොවුනත්, අරගලකරුවා දේශපාලනිකයි. අදේශපාලනික අරගලකරුවන් සිටිය නොහැකි නමුත් නිර්පාක්ෂික අරගලකරුවන් සිටිය හැක. 


නිර්පාක්ෂික අරගලකරුවන් අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික නොවූ අරගලකරුවන්ට වඩා උසස් වන්නේ ද පහත් වන්නේ ද නැත. එහෙත් යම් දේශපාලන සංවිධානයක් සමග අනන්‍ය වී ඇති අතරම තමුන් ‘නිර්පාක්ෂික’ යැයි කියන, ‘නිර්පාක්ෂිකයෙකු’ ලෙස හැසිරෙන අරගලකරුවන්ට වඩා සැබැවින්ම නිර්පාක්ෂික වූ අරගලකරුවන් සදාචාරාත්මක වේ.   

‘ගෝටාගෝහෝම්’ ලෙස නම් කර ඇති අරගලය තුළ නිර්පාක්ෂික සහ නිර්පාක්ෂික නොවූ අරගලකරුවන් සිටිති. අරගලයට වත් සමස්ත අරගලකරුවන්ට වත් මෙය ප්‍රශ්නයක් වුයේ නැත. ඒ, ගෝටා පන්නා දැමීම හෝ/සහ ඒ හා බැඳී සිස්ටම්-චේන්ජ් එකකට මේ දෙපිරිසම අප්‍රකාශිතව එකඟ වූ බැවිනි.  

#ගෝටාගෝහෝම් තුළ #සිස්ටම්චේන්ජ් ලෙස හැඳින්විය හැකි යටිපෙළක් ඇති බව ඉතා පැහැදිළිය. එහෙත් දැන් දැන් ඇතැම් අරගලකරුවන් සිස්ටම් එකෙන්ම නිර්මාණය වූ, සිස්ටම් එක නිසා ගොඩ ගිය, සිස්ටම් එක තුළම සිස්ටම් එක නඩත්තු කරන සහ එයට න්‍යාය සපයන දේශපාලන සංවිධාන සහ චරිත යෝජනා කරන්නට  පටන් ගෙන ඇත. එසේ නැතිනම් සිස්ටම් එකෙන්ම නිර්මාණය වූ, සිස්ටම් එක නිසා ගොඩ ගිය, සිස්ටම් එක තුළම සිස්ටම් එක නඩත්තු කරන සහ එයට න්‍යාය සපයන දේශපාලන සංවිධාන සහ චරිත යෝජනා වනවිට ඒවාට දැඩිව එරෙහි වන්නෝය.

උදාහරණයකින් පැහැදිලි කරගමු. රනිල්, මීළඟ අගමැති වීමට ඉඩක් තියෙනවා යැයි රාවය මාධ්‍යයේ සටහන් වූ වහාම ඔහුට ඇති ජනවරම ප්‍රශ්න කරන්නට බොහෝ දෙනා ඉදිරිපත් වුහ. ඇත්ත. ජාතික ලැයිස්තුවෙන් අමාරුවෙන් පාර්ලිමේන්තුවට ආපු රනිල්ට වඩා ඉතිරි 224න් අති බහුතරයකරට ‘ජනවරමක්’ ඇත. ඒත් එසේ තර්ක කරනවා නම්, එක ඡන්දයක් වත් ලබා නොගත් අරගලකරුවන් ගෝ හෝම් කිව්ව පළියට ඡන්දෙන් පත් වුන කිසිම කෙනෙක් ගෙදර යා යුතුද?

කෙසේ වෙතත් රනිල්ට විරුද්ධ වන අය අතරේ ‘අනේ ඇයි සජිත්ට නොදෙන්නේ,’ ‘රාජපක්ෂලා එක්ක ඩීල් ගහලා සජිත්ව අන්තිම මොහොතේ පැත්තකට තල්ලු කෙරුවා’ වගේ දුක හිතුන කතා දොඩවන ‘අරගලකරුවන්’ ඇති බව සමාජ මාධ්‍යයේ සටහන් වලින් පෙනේ. ඒ වගේම ‘අනුරට දුන්න නම් හරිනේ’ කියන අයත් දැකිය හැක.

තමන්ගේ දේශපාලන හැව ගැන වඩා සැලකිලිමත් වන අය ‘මේකෙන් විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා වෙනවා, කළ යුත්තේ ‘ගෝටා අස් වෙලා පොහොට්ටුවේ නොවන කෙනෙක් අගමැති කරන එක’ වගේ තියරි ඉදිරිපත් කරති. ව්‍යවස්ථාව ගැන සහ පවතින ව්‍යවස්ථාව තුළ කළ හැකි නොහැකි දේ ගැන එයාලා දන්නා තරම ඉන් පැහැදිලි වේ. අරයට-මෙයාට කතා මෙන්ම මෙයා හොඳයි එයා නරකයි කතා වලින් ද ගැළවෙන්නේ කාගේ කාගේත් අදේශපාලනික හැවමයි.

‘රනිල් ඊස් ද මෑන්’ කියලා දැන් කියන අය එවැනි දෙයක් කලින් යෝජනා නොකළේ මන්ද? ‘රනිල් ඊස් නොට් කේපබල්, සජිත් හැස් ද නම්බ(ර්)ස් ඇන්ඩ ලේජිටිමසි’ කියන අය අරගල භූමියේ වගේම සමාජ මාධ්‍ය වලද ‘අපි නිර්පාක්ෂිකයි’ කිව්වේ මන්ද? බොරුවටද?

අරගලයේ මෙන්ම ඉන් පිටත ද ගොටාගෝහෝම් සටන් පාඨය යටතේ ක්‍රියාත්මක වූ සියලු දෙනා ෆේක් කියනවා නොවේ. ෆේක් වුනත් කමක් නැහැ පසුව හෝ රියල් වෙනවා නම්. එහෙත් දුෂිතයින්, වංචනිකයින් පළවා හැරීමේ ව්‍යාපෘතියක බොරු කාරයෝ ඉන්න එක ප්‍රශ්නයක්.  ඒක ප්‍රශ්නයක් වන බව හොඳටම පැහැදිලි වී ඇති නිසාදෝ දැන් දැන් එක එක පක්ෂ අරගලයට අයිතිවාසිකම් කියන්න උත්සාහ කරති. වෙස් මුහුණු, හැව, මේක්-අප් ගැළවෙන එක හොඳයි. සැබෑ දේශපාලන සංවාදයක් ඇතිවන්නට නම් ඒ විවෘතභාවය අවශ්‍යයි. අරගලකරුවන්, විශේෂයෙන්ම, අව්‍යාජ ව අරගලයේ යෙදෙන නිර්පාක්ෂික අරගලකරුවන් සහ තමන්ගේ දේශපාලන අනන්‍යතාවයන් විවෘතව ප්‍රකාශ කරමින් අරගලයට ශක්තිය දුන් අරගලකරුවන් මෙය තේරුම් ගෙන ඇති බව විශ්වාසයි. 

 ඔවුන් අතර එවන් සංවාදයක් මුල සිටම තියෙන්නට ඇතැයි විශ්වාස කරමි. සිදුවන්නේ කොළේ වහගෙන දේශපාලන සෙල්ලමේ යෙදුනු අයට ‘මචං ලා මේකයි ඇත්ත…මම අහවලා, මගේ සැබෑ දේශපාලන වුවමනාව මෙයයි, මම උත්සාහ කරන්නේ අහවලා නැතිනම් අහවල් පක්ෂයේ වුවමනාවන් ඉදිරියට ගෙන යෑමටයි’ වගේ දෙයක් කියලා එම සංවාදයට එක් වන්න අවසර සැබෑ, නිර්පාක්ෂික සහ විවෘතව තම දේශපාලනය වෙනුවෙන් ක්‍රියාකරන අරගලකරුවන් ඉඩ දෙනු ඇත. අරගලයේ ඉතාම සුන්දර ස්වභාවය එයමැයි.

මෙවැනි විරෝධතාවල ස්වභාවය මෙයයි. සංවාදය ද විසංවාදය ද ඒවා තුළ ජීවමානයි. නිශ්චිත අයිතිකරුවන් නොමැති බැවින් තමන්ගේ මතවාදයට දේශපාලන සංවිධානයට අරගලය නතු කර ගැනීමට උත්සාහ කරන අය ද අරගල භූමියේ සරති. මේ සියලු දේ සිදුවන අතර අරගලය ගමක ස්වරූපයක් ගෙන ඇත. ඒ ගම තුළ, ඒ සමස්ත ක්‍රියාවලිය හරහා වෙනම රටක සිතියමක් ඇඳෙමින් පවතී. පැයකින් දෙකකින්, දවසකින් සතියකින් නිමා කළ හැකි සිතියමක් නොවේ එය. ඒ කෙසේ වෙතත් මේ නොනිමි සිතියම රෆ් ස්කෙච් එකක් ලෙස හෝ ඉදිරිපත් කළ හැකිනම් වටී. විශේෂයෙන් නිර්පාක්ෂික නොවූ එහෙත් නිර්පාක්ෂික වෙස් ගත් අයගෙන් අරගලය ආරක්ෂා කිරීමටත්, ඉතා ලස්සනට සිත්තම් වන අලුත් රට පටු දේශපාලන වර්ණ වලින් දුර්වර්ණ කිරීම වළකාලන්නටත් එවන් ඉදිරිපත් කිරීමක් වැදගත් වනු ඇත.

හෙට අප දන්නා අඳුණන, අහලා තියෙන, අඩු වැඩි වශයෙන් දේශපාලනිකව කිලිටි වූ කෙනෙක් අගමැති වෙනු ඇත. අරගලයේ අවසානය එය නොවනු ඇත. අරගලයට එවන් පත්වීමක් නැවැත්විය නොහැක, එහෙත් පත්වන අගමැති සහ ආණ්ඩුව මූලික කොන්දේසි සපුරාගත හැකි යම් නිශ්චිත වැඩපිළිවෙළකට අවනත කිරීමේ හැකියාව පවතී. එය අරගලය තුළ වෙසෙන නිර්පාක්ෂික-පාක්ෂික අරගලකරුවන්ට, රට ප්‍රතිනිර්මාණය කිරීමේ මුල් පියවරක් වනු ඇත. පොත්තක් නොව එය පෙත්තක් ම වනු ඇත. ෆේක් නොව රියල් වනු ඇත. අදේශපාලනික නොව දේශපාලනික වනු ඇත. නිර්පාක්ෂික නොවන, ෆේක්, අරගලය ගසා කෑමට උත්සාහ කරන අයගෙන් අරගලය ආරක්ෂා වනු ඇත. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress