ගෝල්පේස් වනාන්තරය, ගෝඨාභයගේ දෙවන යුද්ධය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා විසඳුම –  (5 කොටස)
Posted on May 14th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

ඩබල් ගේම්

මෙහි ඉහතින් ඇති රූප සටහනේ පිට රවුම තුල තිබෙන ලෝභ-ද්වේෂ-මෝහ යන ක්ලේශ තුන ලොව සෑම පංචස්කන්ධයකටම පොදුවේ අදාලය. පන්සිල් පද පහෙන් අවම වශයෙන්වත් බලාපොරොත්තු වන්නේ මෙම ක්ලේශ හැකිතාක්  දුරට පාලනය කර ගැනීමය. මෙත්තා-කරුණා-මුදිතා-උපෙක්ඛා යන ගතිගුණ ප්‍රගුණ කර ගැනීම මෙන්ම, ලාභෝ-අලාභෝ, අයසෝ-යසෝච, නින්දා-ප්‍රශංසා, සුඛන්ච-දුක්ඛං යන අෂ්ට ලෝක ධර්මතා භාර ගැනීමද මෙම අධ්‍යාත්මික ගමනට ඇතුලත්වේ. කරණීය මෙත්ත සූත්‍රය යම් පෘතග්ජනයෙකුට ලඟාවිය හැකි එක් ඉහල තලයක් පෙන්වා දේ.  

කාලයත් සමඟ <අරගලය> ජේ.වී.පී හා පෙරටුගාමි අන්තරේ කැලයක් වීමට පෙර, ආරම්භයේදී එහි සිටි ගෝල්පේස් තරුණයින්ගෙන් කෙතරම් කොටසකට මෙම රූප සටහන වැන්නක් නිකම්ම කඩදාසියක් නොවිය හැකිව තිබුණාද යන ප්‍රශ්ණය ඇසීම අසාධාරණ යයි මම සිතමි. ඊට හේතුව දැන් දැන් අරගලයේ නායාචාරීන් ලෙස හොට දමන සේපාල්, සන්නස්ගල, නාගානන්ද යන අය පවා හීතල හොරුන්සේ  (ඩබල්ගේම් කාරයින්)   රඟපාන බව ඔප්පු වන නිසාය. යම්තම් හෝ මීට වෙනස් චරිතයක් සේ පෙනෙන්නේ පැතුම් කර්නර් නම් අරගලයේ එක් නායකයෙක්සේ පෙනී සිටින පංචස්කන්ධය පමණය.

අබ්දුල් කලාම්

හැකි හැම ගලක්ම රටේ සංඝ සංස්ථාවට එල්ලකරණ මේ නායාචාරීන්, ‘ලෝකයේ ප්‍රශ්ණ වලට විසඳුම් බුදු දහම අනුසාරයෙන් සොයාගත හැකියයි’ කී ඉන්දියාවට පරමාණු බෝම්බය හදා ගැනීමට උපකාරීවූ, එහෙත් අනිත් අතට, සූට්කේස් දෙකක් සමඟ ජනාධිපති මැදුරට පැමිණ ඒ සූට්කේස් දෙක පමණක් රැගෙන ඉන් පිටවූ උපතින් බෞද්ධයෙකු නොවන ඉන්දියාවේ අබ්දුල් කලාම් කල ප්‍රකාශය නොදන්නවා යයි සිතිය නොහැකිය. ඔහුට පසුව ජනාධිපතිනියවූ  ප්‍රතීභා පටිල් මෙන්ම අගමැති මෝඩි පවා මේ අදහසම ප්‍රකාශ කලේය. හිපියෙකුව සිට දලයි ලාමාගේ ඇසුරෙන් පසු  බෞද්ධ දර්ශණය පිළිඹද මහාචාර්යවරයෙකුවූ රොබට් තර්මන්  ඇමෙරිකන් සමාජ-දේශපාලන-ආර්ථිකයට බුදු දහමෙන් ලබාගත හැකි  සහනය පෙන්වා දුන්නේය (Inner Revolution: Life, Liberty, and the Pursuit of Real Happiness, Robert A.F. Thurman, 1998).

කොසොල් රජතුමා දුටු හීන දාසැය

අවුරුදු 74 ක් පුරා මුන් රටකෑවා, මුන් 225 දෙනාම හොරු, යන කියමන්වල තේරුම වන්නේ, රට පාලනය කල පක්ෂ දේශපාලක කළු සුද්දන් මෙම ක්ලේශ වලින් පිරි පංචස්කන්ධ වුණ බවත්, ශීල-සමාධි-ප්‍රඥාවෙන් තොරවූවන් බවත්ය. ජේ.ආර්ගේ ධර්මිෂ්ට සමාජයක් යන කතාවේත්, චන්ද්‍රිකාගේ භීෂණයෙන් හා දූෂණයෙන් තොර රටක් යන හෑල්ලේත්, සිරිසේනගේ යහපාලන මගඩියේ හා රනිල්ගේ ලිච්චවි බොරුවේත් අරමුණවූයේ සිංහල බෞද්ධ චන්දදායකයා රවටා, කොසොල් රජතුමා දුටු හීන දාසැය තව තවත් සැබෑ කරවීම පමණමය. 2019 දී 69 ලක්ෂයක් පක්ෂ දේශපාලකයෙකු නොවූ ගෝඨාභයට චන්දය දුන්නේ මෙම රැවටිල්ල වෙනුවට පවතින සිස්ටම් එක උඩුයටිකුරු කිරීමය. එසේ නොකිරීම නිසා හටගත් තරුණ අසහනය ගෝල්පේස් වලින් මතුවූ අතර, එම බලවේගය හොරා කෑමට ආරම්භයේ සිටම ජේ.වී.පී/පෙරටුගාමි පිරිස්  ක්‍රියාකරමින් සිටින ආකාරය මෝටිවේෂන් අප්පච්චි විසින් මේ වන විට රටට එලිදරව් කර ඇත.

ගෝටාගේ මස් රාත්තලම ඉල්ලීමේ රහස

බල්ලන්ට, කුණුබෑග් වලට, කුරහන් සාටක දමා විනෝදවන අරගලභූමියේ, කොසොල් රජතුමාගේ සීන දැක්වෙන ප්ලැකාඩ්ද තිබුණා නම් කෙතරම් අගේද? කැඩිච්ච සිංහල කතාකරණ කොළඹ නෝනලාට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය, යුදෙව්, චීන හා අයිරිස් ශිෂ්ටාචාර වලටත් වඩා දිගටම පැවති ලෝක උරුමයක් බව කියා දෙන්නට සන්නස්ගල, සේපාල් හෝ බ්‍රදර් චාල්ස්ට සද්භාවයක් නැත්තේ මොවුන්ගේ මාක්ස්වාදී සම්භවය නිසාය. ගෝටාගේ මස් රාත්තලම ඉල්ලන මොවුන්ගේ යටි අරමුණ රට දෙකට කඩා, 1551 දී දොන් ජුවන් ධර්මපාල, සිංහලේ ප්‍රථම හා එකම ක්‍රිස්තියානි රජුවූවාට පසු, 2017 දී පමණ මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින් ප්‍රකාශකල පරිදි, රටේ සිංහල බෞද්ධ වෘක්ෂය විනාශ කිරීම බව මේ වනවිට ඉතාමත් පැහැදිලිය.

රූප සටහනේ මැද තිබෙන, තිරසර සංවර්ධනය යන ත්‍රිකෝණය, තෙල්, ගෑස්, විදුලිය, ආහාර, බෙහෙත් සපයා ගැනීම යයි සැළකුවොත්, ඒවා නැත්තේ පාලක පංචස්කන්ධවලට ශීල-සමාධි-ප්‍රඥා  නොමැතිවීමට වඩා මොවුන් ආත්මාර්ථකාමි, වංක, අශීලාචාර නායකයින් වීමය. මෙම රූප සටහන හා මෙම ලිපිය ගෝල්පේස් කලබලකාරීන් අතරට හෙලිකොප්ටරයකින් ගොස් බෙදා හැරියොත්, එම ක්‍රියාව, එය තේරුම් ගත හැකි පිරිසට කරණ සේවයකි.

තරුණයින්ගේ සාමකාමී, සාධාරණ අරගලයක් වශයෙන් ආරම්භවුණා යයි පිළිගත්තත් මේ වනවිට එය, මේ යුද්ධය නම් කවදාවත් දිනණ්න බෑ, යයි කියූ පරණ සෙට් එකේ ව්‍යාපාරය යළි මතුවීමක් හා ජේවීපීකාරයින්, පෙරටුගාමීන්, කොළඹ කළු සුද්දන් හා දෙස්-විදෙස් ngo නඩ රිංගාගත් කැඳ හැලියක් බව පෙනේ. රසික ජයකොඩි, චින්තන ධර්මදාසලා අන්තරේ ශිෂ්‍යයින්ද?

බොරු වෙස්සන්තර-සිරි සංඝබෝධිලා

මෙම කුහක, ප්‍රොඩාකාරී මිනිස් චර්යාව ගැන බලන්න. (1) කලකට පෙර ඥානසාර හිමියන්ට විත්තිකූඩුව වෙනුවට වෙනම පුටුවක ඉඳගන්නට දීම ගැන මහෙස්ත්‍රාත්ට විරුද්ධව චෝදනාවක් ගෙනා මෛත්‍රී ගුනරත්න, රනිල් නම් ජේ.වී.පී දොස්තර විසින් රණතුංග ඇමතිට ප්‍රතිකාර නොදීම මනුෂ්‍යත්වය කෙළසීමක් යයි දැන් කියයි. (2) එයට පිළිතුරක් සපයා දොස්තර බේරාගන්නට වැදිබණ කියන, කලකට පෙර ඥානසාර මචං කියා රහස් පොලිසියේ රස්තියාදුවූ සේපාල් අමරසිංහ,  Hippocrates  oath එක, එහි පේලි මැදින් කියවීමට සදන්නේ රනිල්, ප්‍රසන්නට කිසි හානියක් කලේ නැත යනුවෙන් කඩේ යමින්ය. ග්‍රීක් වෙනුවට සිංහලෙන් මෙම දිවුරුම ගැන ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රසිද්ධකල අත්පොත බැලුවොත් ලෙඩාගේ දේශපාලන අදහස් උඩවත් ලෙඩෙකුට වෙනසක් කල නොහැකිය. අනික නම් කලින් දෙපාරක් බැලු ලෙඩාව තුන්වන වර බැලීම ප්‍රතික්ෂේප කිරීම බලු වැඩක් බවය. රටේ දේශපාලනය නිසා තමන් මානසික ආතතියට පත්වූ බව දොස්තරම ප්‍රකාශ කලේය (The Greek physician Hippocrates (460–370 BC), to whom the oath is traditionally attributed…. I swear by Apollo Healer, by Asclepius, by Hygieia, by Panacea, and by all the gods and goddesses, making them my witnesses, that I will carry out, according to my ability and judgment..).

(3) කලම්බු ටෙලිග්‍රාෆ් වෙබඩවියේ අයිතිකාර, සිංහල බෞද්ධ විරෝධී උවිඳු කුරුකුලසූරිය. සාලිය පීරිස් නමැති බාර් ඇසොසියේසන් ලොක්කාගෙන් අසණ ප්‍රශ්ණය නම්, ඔහු අරගලයෙදී හිරේට ගන්නා අය වෙනුවෙන් නොමිලයේ පෙනී සිටින ගමන්, තිරු නඩේෂන්ගේ හොර/වංචා නඩුවලට පෙනීසිටින්නේ කෙසේද යන්නය. ලෝකයේ මෙන්ම ලංකාවේ නීතිඥයින් හා දොස්තරලාද  රටේ පවතින දූෂිත මහ සිස්ටම් එක තුල තම වෘත්තීන් සඳහා දූෂිත කුඩා අනු සිස්ටම් හදාගෙන අයුතුලෙස සල්ලි හම්බකර ගනිමින් සිටී. වික්ටර් අයිවන්ගේ උසාවිය නිහඬයි වාර්තා චිත්‍රපටිය වගේම දොස්තරලා පිළිකා රෝගීන්ගේ ඥාතීන්ගෙන් සල්ලි හොරාකන අවස්ථා පවා වාර්තාවී ඇත. දැන් මෙසේ තොග පිටින් නොමිලේ පෙනී සිට වීරයින්වී සිටිනා ලෝයර්ලා ඉදිරියේදී තමන් දැනට කරණ සේවාදායකයින් සූරාගෙනකෑම අඩුකරන උපාසකයින් වේවිද? නාගානන්දව කරට ගනීද?

(4) අවංක මිනිසෙකු ලෙස රට ඉදිරියට පැමිණි නාගානන්දද දැන් අවස්ථාවාදී කටුස්සෙක් සේ හැසිරෙයි. සුගන්ධිකා ප්‍රනාන්දු නම් නිර්භීත තරුණියද ගාවාගෙන නීතිඥ වෘත්තිය ශුද්ධ කරන්නට, බාර් ඇසෝසියේසන් එකට විරුද්ධව වෙනම සංගමයක් පවා සදාගන්නට කතාකල ඔහු දැන් බාර් ඇසෝසියන්කාරයින් කරේ තියාගෙන යමින් සිටී. බාර් සංගමය රටේ සිංහල බෞද්ධ පදනම විනාශකර රට කැඩීමේ ප්ලෑනට අනුව යන බව රට බේරා ගැනීමට යයි එය ඉදිරිපත්කල අහිංසකසේ පෙනෙන යෝජනා වල යටින් සැඟවී ඇත. ශ්‍රී සද්ධර්මය ගැන කතාකරමින්, තවත් සන්නස්ගල, සේපාල්, චාල්ස් කෙනෙක්සේ පොදුවේ සංඝ සමාජයට ගරහන නාගානන්ද එය නොපෙනෙන තරමටම අන්ධවී සිටී.

(5) සන්නස්ගල උපාසක මහතාගේ ගෝලයින්, ගෝල්පේස් බණ්ඩාරනායක ස්මාරකය අසල හට් එකක් අටවාගෙන සිටි හාමුදුරුවන්ට ගැසුවා යයි එලිවිය. අඩුතරමින් අරගලයට එන සිවුරුවලට වත් අනුකම්පාවක් ඔහුට නැද්ද? පස් පාරක්ම සිය දිවි නසාගන්නට යෑමේ ඔහුගේ වාර්තාව, පස් පාරක්ම අගමැතිවී සිටි රනිල් දැන් හයේ පාරක් ගැසීමට සමානය. එසේ නැත්නම් හාමුදුරුවන්ගේ අට්ටාලය අස්සේ බජව්වක් දාන්න රණ්ඩුවෙන්නේ කුමකටද? මෙම හැසිරීම් සමුදාය සඳහන් කලේ මෙම පෘතග්ජනයින්ගේ ලෝභ-ද්වේෂ-මෝහයේ තරම පෙන්වන්නටය. මොවුන් නමින් කපුරුහාමිලා නොවේද?

නමින් කපුරු හාමි, නමුත් කට ගඳයි

මෙවැනි පංචස්කන්ධවල හැසිරීමට වඩා වැඩි වගකීමක් රටේ පක්ෂ දේශපාලක කළු සුද්දන්ට පැවරේ. රූප සටහනේ මෙවැනි පංචස්කන්ධවල හැසිරීමට වඩා වැඩි වගකීමක් රටේ පක්ෂ දේශපාලක කළු සුද්දන්ට පැවරේ. රූප සටහනේ ඇතුලින් ඇති ත්‍රිකෝණ දෙකෙන් එය අවධාරණය කෙරේ. බුදු දහමේ මධ්‍යම ප්‍රතිපදාව, නීති විද්‍යාවේ රීසනබල්නස් සංකල්පය/ රීතිය හා ප්‍රජාතන්ත්‍රවාදයේ කොම්ප්‍රොමයිස් (යම් දෙයක් ගැන විරුද්ධ අදහස් දරන්නන් සාධාරණ ලෙස යම් එකඟතාවයකට ඒම) යන මේවා එකිනෙකට සමාන, එකම කාසිවල අනිත් පැත්ත වැනිය. නීතියේ මෙන්ස් රියා යනු බුදු දහමේ චේතනාවය. මැකෝලි සාමි  විසින් ඉතා කෙටිකාලයකින් ඉන්දියාවට සැදූ, පසුව ලංකාවට කොපිකල දණ්ඩනීති සංග්‍රහය පන්සිල් පද පහ කඩකිරීමට දෙන දඬුවම්  වැනිය!

1930 ස් ගණන්වල පොන්නම්බලම්ගේ පනහට-පනහ ඉල්ලීම (මහජාතිය-සුළු ජනවර්ග තකට තක), 45-55 ට වත් අඩුකරන්නට ඔහු සූදානම්වූයේ නැත. ගෝල්පේස් පිට්ටනියේ දැණුමෙන් හා ජීවිත අත්දැකීම් වලින් අඩු තරුණයින් නොමඟ යවනා එයට රිංගාගෙන ඉන්නා කූට පක්ෂ දේශපාලකයින් ගෝටා ගෝ හෝම් නම් අන්තවාදයේ එල්ලී සිටින්නේ මෙම මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රායෝගික වටිනාකම වටහා නොගෙන විනාශයකරා ඔවුන් යලි 2022 දීත් යන ගමන නිසාය. උදාහරණයක් වශයෙන් සිස්ටම් චේන්ජ් එකට අයත් බොහෝ දේ ජනාධිපති ධූරය අහෝසි නොකර හා ගෝටාගෝහෝම් නොකියාම ලබාගත හැකි බව මොවුන් නොසිතන්නේ ඇයි?  ක්‍රිස්තියානි ප්‍රභාකරන්, මධ්‍යම ප්‍රතිපදාව ගැන අසා තිබුණා නම් ඔහු තාමත් ජීවතුන් අතරය (මෙම බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව, මිඩ්ල්/මීන් යනුවෙන් ග්‍රීක හා චීන සමාජවලද තිබුණි).

1948 ට පෙර සිටම රටේ නායකයින්වූ අගමැති/ජනාධිපති වූවන් ඉහත රූප සටහනේ දැක්වෙන හැම සංකල්පයක්ම කෙළෙසූ අය විය. ඔවුන් ක්‍රිස්තියානී බලපෑමෙන් ගැලවුණු අය නොවේ. ඕ මයිගෝඩ් (ඩොනමෝර්) තෙම්පරාදු බෞද්ධයින්වූ මේ අය සීංහල බෞද්ධයින්ව හා පන්සල්වල  හාමුදුරුවරුන්ව පාවිච්චිකලේ සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකනවා වගේය. සුද්දා හැදූ සිස්ටම් එක යටතේ සතුටින් කාලය ගතකල මෙම පවුල්-පිරිස් එම සිස්ටම් එක දිගටම පවත්වා ගන්නට ක්‍රියාකලේ බොරු පැලැස්තර දමමින් මහජාතිය රවටමින්ය. 2019 දී මෙම ජනයා ඉල්ලා සිටියේ මේ බොරුව බිඳ දමන ලෙසය.

ගෝටාභය යනු එය බාරගත් වින්නඹුවා මිස එහි අයිතිකාරයා නොවේ. වෙනත් වචනවලින් කියනවා නම් වින්නඹුවා ඉවත්කිරීම හරහා සිංහල බෞද්ධ ජනයාට දැනට තිබෙන කළු සුද්දන්ගේ සිස්ටම් එක යටතේ සිදුකෙරෙණ වෙනස්කම්, හිරිහැර හා අහිමිකල උරුමය, යළි ලබාගැණීම  යටගැසීම හෝ අමතක කර දැමීමට මඟක් පාදා ගත හැකියයි සිතා ක්‍රියාකිරීම ගෝල්පේස් අරගලය යටින් දුවන කුමණ්ත්‍රනයය.

ගෝල්පේස් වල ආරම්භවූයේ, 69 ලක්ෂයක ජනතාව ඉල්ලා සිටි වෙනස, <හිට්ලර් කෙනෙක්වී හෝ> ලබාදීමට ජනාධිපති ගෝඨාභය අසමත්වීම, පී. බී. ජයසුන්දරගේ හා පාත් ෆයින්ඩර් කාරයින්ගේ හිරකාරයෙක්වීම, හා දුරදිග නොබලා කරපිට පටවා ගත් පෝර අර්බුදය නිසා හටගත්  ගම්බද තරුණයින්ගේ අසහනය නිසා නම්, මේ වනවිට එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ගොඩයාමට හදන පිරිස් බොහෝය (ගිනිගත් රවුලෙන් සුරුට්ටු පත්තු කරගැනීම).

උදාහරණ වශයෙන්:

*1. සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති වීමේ සිහිනය

2 අනුර කුමාරලාගේ චන්දය මඟින් රාජ්‍ය බලය අල්ලගැනීමේ ආශාව

3. පෙරටුගාමී කුමාර් ගුණරත්නම්ලාගේ විප්ලවයක් මඟින් ජනතාව බලගැන්වීමේ අභිප්‍රාය

4. චන්ද්‍රිකා මැතිණියගේ රාජපක්ෂලා සමඟ ඇති ක්‍රෝධය පිටකිරීම

5. සජිත්ගේ නායාචාරියාව සිටි දයාන් ජයතිලකගේ රට කැඩීමේ ව්‍යාපෘතිය

6. රට අරාජික කර MCC ට්‍රෝජන් අස්පයාට රට භාරදීමට මඟ පාදාගැනීම යනාදිය සඳහන් කල හැකිය

බාර් සංගමයේ සාලිය පීරිස්ගේ සළුව

කලබලයෙන් කොළඹදී සම්මතකර බාර් ඇසෝසියේෂන් එක ගෙනා යෝජනා 13 මේ උදාහරණවල සම්මිශ්‍රණයකි. ජනාධිපති ධූරය අහෝසි කිරීම, 20 න් 19 ට ආපසුයෑම දිය යටින් ගින්දර  ගෙනයාමක් බව වැටහෙන්නේ ජාතික ජාතික සංවිධාන එකතුව (NJC) විසින් ඉදිරිපත්කර ඇති යෝජනා දෙස බලන විටය. 13 වන සංශෝධනය අහෝසි නොකර ජනාධිපතිධූරය අහෝසිකිරීම ලංකාවේ සිංහල ජාතිය සිය දිවි නසා ගැනීමක් බවත් 1978 ට පෙර තිබූ චන්ද ක්‍රමයට යායුතු බවත් එය පෙන්වා දේ. පුළුවන් ඉක්මණින්ම චන්දයකට ගොස් දැනට පවතින බලු චන්ද ක්‍රමය යටතේ මහජනයාට නියෝජිතයින් තෝරාගන්නට ඉඩදෙන්න යයි කියන බාර්කාරයින් හා අනිකුත් සිංහල බෞද්ධ විරෝධී බලවේග හා ප්‍රේමදාස විසින් අෂ්‍රොෆ්ට ලබාදුන් දිස්ත්‍රික් චන්ද/මනාප කඩඉම, සියේට 12 කඩඉම සියේට 5 දක්වා අඩුකිරීමෙන් කරණ ලද විකෘතිය අමතක කර ඇත. බතියුර්දීන්ට යහපාලන ආණ්ඩුවේ අමාත්‍යාංශ විශාල ප්‍රමාණයක් දුන්නේ මෙහි ප්‍රතිපලයක් වශයෙනි (චන්ද ප්‍රතිශතය කුඩා වුවත් වැඩි ආසන සඛ්‍යාවක් ලැබීම නිසා සිංහල දේශපාලකයින් මුස්ලිම් චන්ද පෙරේතයින් විය මැයි 14 දා අයිලන්ඩ් පත්තරේ පලවූ NJC යෝජනා මෙහි ලින්ක් කර ඇත).  NJC sets preconditions for abolition of Executive Presidency – The Island

ගෝල්පේස් ප්‍රකාශණය

පැතුම් කර්නර් විසින්  ගෝල්පේස් යෝජනා ලැයිස්තුවක් දිය යුතු යයි පලකල අදහසට අනුව යමින් සංවිධාන 60 කගේ අදහස් අනුව පසුගියදා අකලංක හෙට්ටිආරච්චි විසින් යෝජනා 8 ක් ඉදිරිපත් කරණ ලදී. රැට්ටා නමින් හඳුන්වන පංචස්කන්ධයද එය විස්තර කලේය. ගෝටාගෝහෝම්, 19 න් ඔබ්බට ගිය 21 සංශෝධනයක් හා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය මෙහිදී කැපී පෙනේ. අනිත් යෝජනා රටේ කවුරුත් බලාපොරොත්තු වන වෙනස්කම්ය.

මෙම කාරණා තුන සම්බන්ධයෙන්ද, සිස්ටම් චේන්ජ් යනු රොකට් සයන්ස් එකක් නොවන බව හා සද්භාවයෙන් සැඟවුණු න්‍යායපත්‍ර නැතිව කටයුතු කරනවා නම් රටට ඇති බෞද්ධ විසඳුම පිළිඹඳවද මීලඟ අවසාන කොටසින් සළකා බලමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress